රටකට අවශ්‍ය වන්නේ ආනයනිකව ගෙන්වන ලද ලොකු ලූනූ ද? නැත්නම් තමන්ගේ රටේ ගොවියාගේ දහඩිය මහන්සියෙන් වගා කරන ලද ලොකු ලූනූ ද? අවාසනාවකට මෙන් අපේ රටේ ප්‍රතිපත්ති පෙන්වා දී ඇත්තේ ආනයනික ලොකු ලූනූවලට ඉහළ වටිනාකමක් ඇති බවයි. ඒ හේතුවෙන් දේශීය ලොකු ලූනූ අස්වැන්න නෙළන කාලයට සමගාමීව සැලසුම් විරහිතව වෙළඳපොළට ගලන ආනයනික ලොකු ලූනූ ඉදිරියේ අද අපේ ගොවියාට දණින් වැටීමට සිදුව ඇත. වසරක් පුරා වෙහෙස මහන්සි වී දහඩිය හෙළා වගා කළ ලොකු ලූනූ කිලෝවකට ලැබෙන මිල, නිෂ්පාදන පිරිවැයවත් පියවා ගැනීමට නොහැකි තරම් පහළ ගොස් තිබීම මේ දිනවල දේශීය ලොකු ලූනූ ගොවියාට අත්ව ඇති දැවැන්ත පීඩාවයි.
ලංකාවේ වාර්ෂික ලොකු ලූනූ පරිභෝජනය මෙටි්‍රක් ටොන් ලක්ෂ තුනක් වන අතර චීනය, ඉන්දියාව පකිස්තානය යන රටවල්වලින් ලංකාවට ලොකු ලූනූ ආනයනය කරයි. ඒ අනුව ආනයනික ලොකු ලූනූ කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහකි. එවැනි පසුබිමක දේශීය ලොකු ලූනූ ගොවීන් චෝදනා කරන්නේ නිසි මිලක් නොමැති වීම හේතුවෙන් සිය ලොකු ලූනූ අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම හේතුවෙන් නිවෙස් තුළ ලොකු ලූනූ ගොඩ ගසා ඇති බවයි. මේ දිනවල ලොකු ලූනූ ගොවීන් මුහුණදෙන මෙම අර්බුදය අනුරාධපුර හුරුළු වැව, ගලෙන්බිඳුණු වැව, පොලොන්නරුව ඇළහැර යන ප්‍රදේශවල දැකිය හැකිය. අනුරාධපුර හුරුළු වැව ගොවින් යල කන්නයේ අක්කර දහස් ගණනක ලොකු ලූනූ වගා කර ඇති අතර නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ඒවා නිවෙස්වල ගොඩ ගසා තිබෙන බවට චෝදනා කරයි. නිසි මිලක් නොමැති වීම හේතුවෙන් ගලෙන්බිඳුණු වැව ලොකු ලූනූ ගොවීන් ද අස්වනු නිවෙස් තුළ ලොකු ලූනූ ගොඩ ගසා ඇති අතර දිනකට ලොකු ලූනූ කිලෝ දහයක් පමණ අපතේ හැරීමට සිදුවන බවට මැසිවිලි නඟයි. විශේෂයෙන්ම පොලොන්නරුව ඇළහැර ගොවී ව්‍යාපාරිකයෝ ලොකු ලූනූ අක්කර 700කට අධික ප්‍රමාණයක් වගා කරන අතර අස්වැන්න නෙළා දින දහයක් පහළොවක් පමණ ගත වී ඇතත් ලොකු ලූනූවලට නිසි මිලක් ලැබී නැති බව පවසයි. එබැවින් ලොකු ලූනූවලට නිසි මිලක් නොමැති වීම හේතුවෙන් මෙම ගැටලුව විසඳීමට රජය මැදිහත්වීම ඉතා අත්‍යවශ්‍යයි.
දේශීය ගොවීන්ගේ ලොකු ලූනූ සඳහා සාධාරණ මිලක් ලබාදිය යුත්තේ ඇයි යන ප්‍රශ්නයට ලබාදිය හැකි ප්‍රධානතම කරුණ වන්නේ දේශීය ලොකු ලූනූ අස්වැන්න සඳහා නිසි මිලක් හිමි වීම හුදෙක්ම ගොවියාට ලාභයක් ලැබීම පමණක් නොව, රටේ අනාගත ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික ස්ථාවරත්වයක් පැවැතීම අත්‍යවශ්‍ය වන බැවිනි. ලොකු ලූනූ සඳහා නිසි මිලක් හිමි නොවූ විට ගොවියා ලාභ නොලබා පාඩු ලබන අතර ඊළඟ කන්නේදී ඔවුන් ලොකු ලූනූ වගාවෙන් ඉවත් වේ. දේශීය ගොවියාට ලොකු ලූනූ සඳහා සාධාරණ මිලක් හිමි වුවහොත් ඔවුනට සහනයක් ලැබෙන අතර ඊළඟ කන්නයේ දී පෙරට වඩා වැඩි අස්වැනක් ලැබෙන ලෙස ලොකු ලූනූ වගා කිරීමට ගොවියා දිරිගන්වනු ලබයි. රටේ පාරිභෝගිකයාගේ ලොකු ලූනූ පරිභෝජනය කිරීමේ අවශ්‍යතාව දේශීය ලොකු ලූනූවලින් සපුරා ගතහැකි නම් සෑම වසරකම ලොකු ලූනූ ආනයන කිරීම වෙනුවෙන් පිටරටවල්වලට ඇදී යන විශාල විදේශ විනිම ප්‍රමාණයක් රට තුළ ඉතිරි කරගැනීමට හැකි වේ. එය එසේ සිදුවීමට නම් දේශීය ලොකු ලූනූ සඳහා නිසි මිලක් හිමි වියයුතුයි. දේශීය ලොකු ලූනූ සඳහා නිසි මිලක් හිමිවීම පාරිභෝගිකයාටත් වාසි දායක තත්ත්වක් ගෙන දෙනු ලබයි. එනම්, දේශීය ලොකු ලූනූ නිෂ්පාදනය ස්ථාවර මට්ටමක පවතිනවිට ආනයනකරුවන් ලොකු ලූනූවල මිල ඉහළ දමන ඕනෑම පසුබිමක ඉහළ මිලකට ලොකු ලූනූ ආනයනය කිරීමට සිදු නොවන අතර පාරිභෝගිකයාට දේශීය ලූනූ සමබර මිලකට මිලදී ගැනීමේ හැකියාවක් ද පවතී. මෙවැනි හේතු කාරණා රැසක් හේතු කොටගෙන දේශීය ලොකු ලූනූ ගොවියාට ලොකු ලූනූවලට නිසි මිලක් ලබාදීම රජයේ වගකීමක් බව ඉතා පැහැදිලියි.
අස්වැන්න නෙළන කාලසීමාව තුළදී දේශීය ලොකු ලූනූවල මිල පහත වැටීම වැළැක්වීමට ආනයනය කරන ලද ලොකු ලූනූ සීමා කිරීම හෝ අධික බදු පැනවීම අත්‍යවශ්‍ය කරුණකි. ලොකු ලූනූ කිලෝවක් සඳහා රජය මගින් මිල තීරණය කිරීමේදී ගොවියාගේ නිෂ්පාදන පිරිවැය ආවරණය වන පරිදි ස්ථාවර ඉහළ මිලක් රජය මගින් තීරණය කිරීම වැදගත් වෙයි. වෙළෙඳපොළ මිල නිෂ්පාදන මිලට වඩා අඩු වුවහොත් අඩුවන මුදල වෙනුවෙන් සාධාරණ වන්දි මුදලක් ගොවියාට ලැබෙන ක්‍රමවේදයක් රජය මගීන් ස්ථාපිත කළ යුතුය. සෑම වසරකම ලොකු ලූනූ වගාව ආරම්භ කිරීමට පෙර මහා පරිමාණ ගැනුම්කරුවන් සමග ලොකු ලූනූ මිලදී ගැනීමේ ගිවිසුමක් ඇති කරගැනීමට රජය මැදිහත් විය යුතුය.
මෙවැනි ක්‍රියාමාර්ග හරහා දේශීය ලොකු ලූනූ ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් ලබාදිය හැකියි. එමෙන්ම ඕනෑම රජයක ප්‍රමුඛතම කාර්යභාරය විය යුත්තේ තමන්ගේ රට තුළ සිදුවන නිෂ්පාදන ආරක්ෂා කරගැනීමට කටයුතු කිරීම මිස ඒවා විනාශ වන තැනට කටයුතු කිරීම නොවේ. එබැවින් අවසාන වශයෙන් දේශීය ලොකු ලූනූ අස්වැන්න සඳහා මිලක් ලබාදිය යුත්තේ එය අවසානයේ ආර්ථික ගැටලුවක් බවට පත්වන නිසා පමණක්ම නොව, ජාතික වශයෙන් මුහුණ දියයුතු ගැටලුවක් බවට පත්වන නිසාවෙනි.
ශෂිනි නවෝද්‍යා විස්මන්
Saru FM Media