හිරගෙයක් යනු හරක් ගාලක් හෝ එළු ගාලක් නොවේ

0
3

ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාර තිස්හයක් තිබෙන බව ද ඒවායෙහි සිරකරුවන් තිස්හයදහසකට වඩා සිටින බව ද ඊයේ (16දා) දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබිණ. එම පුවතේම සඳහන් වූ පරිදි මේ සිරගෙවල් තිස්හයේ දසදහසකට වැඩි පිරිසකට සිටීමට ද නොහැක. අපේ සිරගෙවල් පිරී ඉතිරී යෑම නිසා අලුත් සමාජ ප්‍රශ්නයක් හටගෙන තිබේ. ඒ බාහිර සමාජයේ ප්‍රශ්නයක් නොව හිරගෙදර සමාජයේ ප්‍රශ්නයකි. ඒ ගැන අපි සාකච්ඡා කරමු. ඊට පෙර හිරගෙවල්වල ඉතිහාසය පිළිබඳ පාඨකයා දැනුවත් කරමු.

මීට අවුරුදු 2500 කට පෙර පැවැති සමාජය තුළ හිරගෙවල් කතාවක් හෝ නඩු ඇසීමක් තිබුණේම නැත. ඕනෑම සුළු වරදක දී විත්තිකරු මරා දැමීමට අගතියට පත් පාර්ශ්වයට අයිතිය තිබිණ. මෙය තනිකරම බලය මත තීරණය වූවකි. අගතියට පත් පාර්ශ්වය සමාජ හෝ රාජ්‍ය බලයක් තිබුණු කෙනකු නම් විත්තිකරුට බඩු බනිස් විය. එසේම අගතියට පත් පාර්ශ්වය රාජ්‍ය බලයක් හෝ සමාජ බලයක් සහිත යහපත් මිනිසකු නම් හෙතෙම විත්තිකාරයා අත්හැර දැමීය. බුද්ධකාලීන සමාජයට සාපේක්‍ෂව එනම් ක්‍රි.පූ. 400 ගණන්වලදී ග්‍රීසියේ ජීවත් වූ ප්ලේටෝ නමැති දාර්ශනිකයා සෑම වරදකරුවකුම මරාදැමීම ශිෂ්ටාචාරයට නුසුදුසු බව කියමින් ඔවුන්ට වරදේ තරමට දඬුවම් නියම කරන ලෙස සමාජයට බලකරන්නට පටන් ගත්තේ ය. ලෝකයේ හැමතැනකම සිටින බොහෝ මිනිසුන්ට එකම කාලයේ දී සමාන අදහස් පහළවේ. බුද්ධ කාලීන සමාජය තුළ ද සංවිධානාත්මක හිරගෙවල්වල අවශ්‍යතාව මතුවී තිබිණ. එකල භාරතය ඇතුළු ආසියාතික රටවල වැරදිකරුවන් අල්ලා ඔවුහු ගල්ගුහාවල හෝ වළවල් තුළ හිරකර තැබීමේ ක්‍රමයක් තිබිණ. ඒ සිරකර තැබීම වුවද දඬුවමක් නොවූ අතර, සිරකරු මරාදමන තෙක් ඔහු රඳවා තැබීමක් විය. මේ කියන කාලයේ දී භාරතයේ සිටි ශාස්තෘවරු ද ආසියානු රටවල සිටි උගත්තු ද මරණය අවසාන දඬුවම විය යුතු බවත් මරණයට පෙර වෙනත් දඬුවම් කෙරෙහි හිරකරුවන් යොමු කිරීමෙන් ඔවුන් නිවැරදි මාර්ගයට දමාගත හැකි බවත් පෙන්වා දුන්හ. කෙසේ වුවද අවසානයේ දී ලොව පුරා සිරගෙවල් ඇති විය. ඉන් පසු මිනිසකු කරන වරදක දී ඔහු මැරිය යුතු ද නැද්ද යන්න තීරණය කරන ලද්දේ ඒ පිළිබඳ පැවැත්වුණු සොයා බැලීම්වලින් පසුව ය. විත්තිකරු කළේ සුළු වරදක් නම් ඔහුට කසයෙන් තැළීම සිදුවිය. විත්තිකරු ටිකක් වැඩිපුර දරුණු යමක් සිදුකළේ නම් ඔහුට කසයෙන් තැළීමත්, සිරදඬුවමත් යන දෙකම ලැබිණ. විත්තිකරු ඉතා දරුණු යමක් කළේ නම් ඔහුගේ බෙල්ල ළඟින්ම කපන ලදී. නැත්නම් උල තබන ලදී. නැත්නම් අලින් ලවා පාගවා මරණ ලදී. එහෙමත් නැත්නම් පුවක්ගස් දෙකක් ළං කොට විත්තිකරුගේ දෙපා එම පුවක්ගස් දෙකේ බැඳ පුවක්ගස් දෙක මුදාහැරීමෙන් දෙකට ඉරන ලදී. පුරාණ ලංකාවේ වධ තිස්දෙකක් තිබේ. ඒ වධ තිස්දෙකෙන් විසිපහක් පමණ මිනිසුන්ට මරණය ගෙන දුන්නේ ය. පුරාණ ලංකාවේ හිරගෙවල් ද තිබිණ. මේවායේ මිනිසුන් ගාල්කර ඒ මිනිසුන්ට තිරිසන් සතුන්ට සේ සැලකීම පුරුද්ද විය. අඳුරු යුගය ලෙස සැලකෙන කාලයක් ලෝක ඉතිහාසය තුළ තිබේ. මෙය මධ්‍ය කාලීන යුගය තුළ උදා වූ සමයකි. මේ කාලයේ දී මිනිසුන්ට දඬුවම් කිරීමත්, හිරගෙවල් පවත්වාගෙන යෑමත් අන්ත නීච තත්ත්වයක්ව පැවැතිණ. දැන් අපි ලංකාවේ හිරගෙවල් දෙසට හැරෙමු.

සෑම පාසලක් වැසෙන විටම අලුතින් හිරගෙයක් ඇරෙන බවට කතන්දරයක් තිබේ. මේ කතාව චාල්ස් ඩිකන්ස් නමැති ඉංග්‍රීසි ලේඛකයාගේ දාර්ශනික මතයක් වූ බව අපගේ අදහස වේ. එහෙත් ලංකාවේ එම අදහස ක්‍රියාත්මක වන්නේ නැත. මන්ද ලංකාවේ ඉස්කෝල වැසෙන තරමට අලුතෙන් හිරගෙවලුත් අරින්නට පටන්ගතහොත් මේ වර්ග සැතපුම් විසිපන්දහස් දෙසිය තිස්දෙක තුළ හිරගෙවල් හැර වෙන කිසිම ගොඩනැඟිල්ලක් ඉතිරිවන්නේ නැත. හිරගෙවල් පිරී ඉතිරී යෑම නිසා සෞඛ්‍ය සහ සාමාජික ප්‍රශ්න හටගනී. සමාජ රෝග පැතිරීම, තදබදය නිසා මිනිසුන් කෝපයෙන් පසුවීම, ඒ කෝපය හේතුකොට ගෙන හිරකරුවන් කැරලිගැසීම වැනි දේවල් සිදුවෙයි. දැනට තිබෙන තත්ත්වය අනුව හිරගෙවල්වල සිටින මිනිසුන්ට තවදුරටත් රාත්‍රී කාලයේ දී නිදාගැනීමට අවකාශයක් නොලැබෙනවා ඇත. ඔවුන්ට සිදුවන්නේ හිරගෙදර ඉඩකඩ මදි නිසා බිම දිගාවී නිදියෑමට නොව එළිවනතුරු සිටගෙන සිටීමට ය. පොල් ගෙඩි දෙකක් හොරෙන් කැඩීමෙන් අත්අඩංගුවට පත්වී ඇපය ගෙවා ගෙදර යෑමට බැරිව අවුරුදු ගණන් හිරගෙවල්වල ලගින අය අපේ හිරගෙවල්වල සිටිති. එසේම පොල් ගෙඩි දෙකක් හොරෙන් කැඩීමේ වරදට වරදකරු වී රුපියල් 200 ක දඩය ගෙවා ගැනීමට නොහැකිව අවුරුදු ගණන් හිරගෙවල්වල ලගින අසරණයෝ ද සිටිති. මෙවැනි සුළු වැරදි කරන අයගේ දඩ මුදල් ගෙවීම හෝ ඇප මුදල්වලින් ඔවුන් නිදහස් කිරීමට හෝ කිසියම් ව්‍යාපාරයක් මේ රට තුළ තිබිය යුතු ය. නැත්නම් පොල් හොරුන්ගෙන් ද කුඩු මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන රිමාන්ඩ් වී සිටින හෝ හිරේ සිටින හෝ අයගෙන් හිරගෙවල් පිරී ඉතිරී යනවා ඇත. මේ අය සම්බන්ධයෙන් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළොත් ලංකාවේ හිරගෙවල්වල සිටින හිරකරුවන්ගෙන් භාගෙට භාගයක් ගෙදර යෑමට ඉඩ ඇත. එවිට සිරගෙවල්වල ඉඩකඩ පුළුල්වී සිරකරුවන්ට ඇත්තටම හිරේ යනතුරු හෝ එල්ලුම්ගස් යනතුරු හෝ පීඩනයකින් තොරව ජීවත් වීමට අවකාශ ලැබෙනවා ඇත. තවදුරටත් හිරගෙවල් ඉදිකළ යුතු බව අපි ආණ්ඩුවට නොකියමු. තිබෙන හිරගෙවල් කළමනාකරණය කර ඒවායේ ඉඩකඩ ලබාගැනීම ආණ්ඩුව කළ යුතු වේ. අප ජීවත් වන්නේ ශිෂ්ට ලෝකයක මිස එළු ගාලක හෝ හරක් ගාලක නොවේ.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here