දකුණු මුහුදෙන් සොයාගත් කෝටි 1700ක මත්ද්‍රව්‍ය උණාකූරුවේ ශාන්තගේ

0
2

දකුණු මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් රුපියල් කෝටි 1700කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් තොගය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන උණාකූරුවේ ශාන්තට අයත් බව විමර්ශනවලින් හෙළි වී ඇත.

දකුණු මුහුදේ පාවෙමින තිබියදී සොයාගත් පාර්සල් 51 ක මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 850ක් තිබූ බව පොලිසිය පවසයි.

එම මත්ද්‍රව්‍ය තොගය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 680ක් හෙරොයින් කිලෝග්‍රෑම් 160ක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 ක් තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරන බවට ලැබී තිබූ තොරතුරු මත නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව මෙහෙයුමක් ආරම්භ කර තිබිණි.

මාසයකට ආසන්න කාලයක් තිස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබූ අතර මුහුදේ පාවෙමින් තිබෙන විශාල පාර්සල් තොගයක් නිරීක්ෂණය වී ඇත්තේ පෙරේදා (14 දා) දිනයේදී ය.

ඒ අනුව නාවික හමුදා වෙරළාරක්ෂක බළකායේ යාත්‍රා කීපයක් දකුණු පළාතේ ගැඹුරු මුහුද වෙත ගොස් එසේ පාවෙමින් තිබූ පාර්සල් 51 සිය භාරයට ගත්තේය.

පෙරේදා රාත්‍රිය වන විට මෙම පාර්සල් තොගය රැගත් නාවික හමුදා යාත්‍රා තංගල්ල වරාය වෙත පැමිණ තිබිණි.

ඊයේ පෙරවරුවේ මෙම පාර්සල් පරීක්ෂා කිරීමේදී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකි විය.

උණාකූරුවේ ශාන්ත නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම මත්ද්‍රව්‍ය තොගය එවන්නට ඇති බවට සැක පහළ කෙරේ.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.
හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here