දර ගෙන යන ළඳගේ කථාව
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා.
සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.
ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජුගේ අභාවයෙන් පස්සේ මහානාම ශාක්‍යයා රජ බවට පත්වුනා. ඒ ශාක්‍යවරුන් ගේ මාළිගාවේ ඉතාම ලස්සන රූප ශෝභා ඇති නාගමුණ්ඩා නමින් දාසියක් සිටියා. මහානාම ශාක්‍ය රජු නිසා මේ නාගමුණ්ඩාට දියණියක් ලැබුනා. මව් පක්ෂයෙන් දාසියක් වුනාට පිය පක්ෂයෙන් රාජ කන්‍යාවක්. ඈත් ගොඩාක් ලස්සනයි. දුටු දුටුවන් ගේ නෙත් සිත් පැහැර ගන්නවා. ඈ තමයි වාසභඛත්තියා.
කොසොල් ජනපදය ශාක්‍ය ජනපදයට යාබදව පිහිටි මහා රාජ්‍යයක්. බුදුරජාණන් වහන්සේ වැඩි කලක් ගත කළේ සැවැත් නුවර නිසා ත්, උන්වහන්සේට සියලු සොළොස් මහා ජනපද වල ඇති මහා පිළිගැනීම නිසාත්, කොසොල් රජතුමාට ශාක්‍ය වංශය සමග නෑදෑකමක් ගොඩනගා ගන්ට ඕන වුනා. ඒ කාලේ බොහෝ රජවරු නෑදෑකම් ගොඩනගා ගත්තේ රජ කුමර කුමරියන්ගේ ආවාහ විවාහ වලින්.
ඉතින් කොසොල් රජුටත් ශාක්‍ය කුමාරියක් තමන් ගේ අන්තඃපුරයට කැඳවා ගන්න ඕන වුනා. රජදූතයෝ ගිහින් ශාක්‍ය රාජ සභාවට දැනුම් දුන්නා. එතකොට ශාක්‍යවරු ශාක්‍ය කුමාරියක් ලෙසට වාසභඛත්තියා සරසලා පිටත් කෙරෙව්වා. කොසොල් රජු වාසභඛත්තියා ගේ රුවට වශී වුනා. කොසොල් රජු නිසා වාසභඛත්තියාට පුත් කුමරෙක් උපන්නා. ඔහු ගේ නම විඩූඩභ. මොහු කුමාරයෙකුව සිටියදී මව් පක්ෂයේ නෑදෑයන් බලන්ට ශාක්‍ය ජනපදයට ගියා. කව්රුවත් කිසි වෙනස් කමක් දැක්වූයේ නෑ. පිළිගැනීමේ උත්සවය හොඳට කළා. ඉතා හොඳින් කෑම් බීම් වලින් සංග්‍රහ කළා. විනෝද වුනා. රාජකීය සැලකිලි ලැබුනා.
කුමක්දෝ සසරේ කළ පවකට වාගේ විඩූඩභ කුමාරයා ආපසු යද්දී ඔහු ළඟම සිටි ආරක්ෂක භටයෙකුට කඩුව අමතක වුනා. කඩුව ගේන්ට රැස්වීම් ශාලාවට දුවගෙන යද්දී, වාසභඛත්තියා ගේ සම්පත් වලට ඊර්ෂ්‍යයා කළ එක්තරා දාසියක් වාසභඛත්තියාට දාසිය කියමින් බැණ බැණ විඩූඩභ කුමාරයාට දාසී පුත්‍රයා කියා බැණ බැණ කුමාරයා වාඩි වී සිටි ආසනය සෝදමින් සිටියා. නීච කෙනෙක් වාඩි වෙලා කුලවතුන් ගේ ආසනය අපවිත්‍ර වුනා කියලයි එය සේදුවේ.
ආරක්ෂක භටයා ඒ හැම දෙයක් ම හොරාට අහගෙන හිටියා. ගිහින් විඩූඩභ කුමාරයා ගේ කනේ තිබ්බා. විඩූඩභ වෛර බැඳගත්තා. ඔය වගේ කතා සඟවන්ට බැහැ. හෝ හෝ ගාලා හැම තැනම පැතිරුනා. පැතිරුනේ වාසභඛත්තියා රාජ කන්‍යාවක් නොවේ. ඈ දාසියක්. විඩූඩභ රජකුමරෙක් නොවේ. දාසී පුත්‍රයෙක් කියලා.
කොසොල් රජතුමාර කරගන්ට දෙයක් නෑ. වස ලැජ්ජාව. මූණ රතු කරගෙන ඉන්නවා. ඇමතිවරුන්ට මූණ දෙන්ටත් අමාරුයි. පුරෝහිත බමුණොත් අමුතු විදිහට බලනවා. රජතුමා වහාම ක්‍රියාත්මක වන පරිදි වාසභඛත්තියා අගබිසෝ තනතුරින් ඉවත් කළා. විඩූඩභ කුමාරයට දීලා තිබුන රාජකුමාර පදවියත් ඉවත් කළා. දැන් දෙන්නාම මාලිගයෙන් එළියට එන්නේ නෑ. හැංගිලා වගේ ඉන්නේ. විඩූඩභ දවසින් දවස ශාක්‍යයන්ගෙන් පලිගන්න දිනය එනතුරු ඇඟිලි ගණන් කර කර ඉන්නවා.
භාග්‍යවතුන් වහන්සේට මේ හැම දෙයක් ම පේනවා. වෙන්න තියෙන හැම දෙයක් ම දන්නවා. මේ දෙන්නා ගේ වෛරය සංසිඳුවන්න ඕනා කියල භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා උදේ වරුවක මාලිගයට වැඩියා. කොසොල් රජු වහා ඇවිත් භාග්‍යවතුන් වහන්සේව ආසනයෙහි වඩා හිඳෙව්වා.
“මහරජතුමනි…. අපේ වාසභඛත්තියා පේන්ට නැත්තේ මොකද… කොහේවත් ගිහින් ද?”
“අනේ භාග්‍යවතුන් වහන්ස…. මං මහා අමාරුවක නොවැ වැටුනේ. දෙන්නාම අයින් කළා. මං කොහොමෙයි දාසි පුත්‍රයෙකුට රජකොම දෙන්නේ? වාසභඛත්තියා කියන්නේ ශාක්‍ය මාලිගයට දර දිය ඇදපු දාසී කෙල්ලක් නොවැ”
“මහරජතුමනි… වාසභඛත්තියා නාගමුණ්ඩා ගේ දියණියක් බව මටත් දැනගන්ට ලැබුනා. නමුත් ඇගේ පියා කව්ද? ඈ කා නිසා ද උපන්නේ? ඈ කාගේ කව්ද…..?”
“භාග්‍යවතුන් වහන්ස, ඈ මහානාම ගේ දියණියක් නම් තමා”
“ඉතින් මහරජතුමනි, වාසභඛත්තියා නමැති මේ රාජ දියණිය මහාරජ කෙනෙකු ළඟටයි ආවේ. ඒ රජු නිසා ම යි පුතෙක් ලැබුනේ. ඒ පුතාට පියා සන්තක රජකම ලබන්ට බැරි මක් නිසාද? මෙතැන කිසි ගැටලුවක් නැහැ රජතුමනි. විඩූඩභ කුමාරයා රජකමට සුදුසුයි. කලින් ලබා දුන් තනතුරු වලට දෙන්නාම සුදුසුයි.
“මහරජතුමනි, ඉස්සර කාලේ කැලෙන් දර කඩා ගෙනියන ළඳකට රජෙකු නිසා පුතෙක් ලැබුනා. රජතුමා ඒ පුත්‍රයාට පවා රාජ්‍යය දුන්නා”
එතකොට ඒ අතීතයේ සිදු වූ දේ අහන්න කොසොල් රජුට ආසා හිතුනා. භවයේ සැඟවී ඇති ඒ කතාව කියාදෙන්න කියල රජතුමා භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා සිටියා.
“මහරජතුමනි, ගොඩාක් ඉස්සර කාලෙ බරණැස බ්‍රහ්මදත්ත නමින් රජෙක් හිටියා. දවසක් මොහු වන සිරි නරඹන්න මහා යස පිරිවරින් වනයට ගියා. එදා ඒ වනයේ වනමල් නෙල නෙලා, පළතුරු සොය සොයා, ඉතාම ලස්සන සිංදු කිය කියා දර කැබලි රැස් කරමින් සිටින ළඳක් දැක්කා. ඈ ඉතා ලස්සන දිළිඳු දාසියක්. රජතුමා ඇගේ හඬටත් රුවටත් වසඟ වුනා. ඈ සමීපයට ගියා. ඒ වනයේ ම ඈ සමග සංවාසයේ යෙදුනා. එසැණින්ම ඇගේ කුසට බරක් දැනුනා. ඒ බෝධිසත්වයෝ ඇගේ කුසේ පිළිසිඳ ගත් මොහොතයි. එතකොට ඈ හඬන්න පටන් ගත්තා.
“අ…. අනේ…. දේවයන් වහන්ස…. මේ ගැත්තීට අනුකම්පා කරන සේක්වා…. මේ දැන් මගේ කුසට මහාබරක් දැනුනා. දරුවෙක් පිළිසිඳ ගත්තා කියලයි මට හිතෙන්නේ…. අනේ…. මං අසරණ වේවි”
එතකොට රජතුමා ඇඟිල්ලෙන් රාජලාංඡනය සහිත මුද්දක් ගැලෙව්වා. ඇගේ අතට දුන්නා.
Saru FM Media