කොරියානු සමාජ යථාර්ථය පසක් කරන සරා තුරුපත්

0
2

චන්දන ඉලන්දාරිගේ සාහිත්‍ය කලා ඥානය පෝෂණය කරගැනීමට නිති දිරි දරන පැසුණු ජීවිතාවබෝධයකින් යුත් තරුණ නිර්මාණකරුවෙකි. ඔහු නූතන සාහිත්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන උද්‍යෝගිමත් තරුණ ලේඛකයකු බව 2017 වසරේ සිට අද දක්වාම පළ කොට ඇති පද්‍ය, නවකතා හා කෙටිකතා සංග්‍රහවලින් පෙනේ. තරුණයකු වුවද නූතන සිංහල කවිය පිළිබඳව ඔහු සිදු කරමින් සිටින අත්හදාබැලීම් අද්‍යතන සිංහල කවිය යා යුතු මඟ – එනම්, අන්තර්ගතයෙහි හා ආකෘතියෙහි සිදුවිය යුතු පරිවර්තනය මැනවින් විදහා දක්වයි. චන්දනගේ ප්‍රමුඛ සාහිත්‍ය ශානරය වී ඇත්තේ පද්‍ය කාව්‍යකරණය බව මෙතෙක් පළ කොට ඇති පද්‍ය සංග්‍රහවලින් පෙනේ.

චන්දනගේ නවතම කෙටිකතා සංග්‍රහය වන්නේ “සරා තුරුපත්” ය. මෙහි කෙටිකතා දහයක් ඇතුළත් වේ. ඉන් මුලින් ම අපට පඨනය කිරීමට ලැබෙන්නේ “බුදුවරයෙක්” නම් නිර්මාණය යි. බෞද්ධ රටක්ව පැවැති කොරියාව පිළිබඳව මෙරට රසික සිත් සතන්හි ප්‍රසාද හැඟීමක් ඇති කිරීමට මෙහි දී කෙටිකතාකරු නැඹුරු වී ඇත. රටතොට දැන ගැනීමට විදේශික තරුණයකු දක්වන කුතූහලයත් උද්‍යෝගයත් ප්‍රබෝධයත් ප්‍රකට වන අයුරින් නිර්මාණය ඉදිරිපත් කිරීමේ කුසලතාවක් ප්‍රකට කෙරේ. මෙය කතා වස්තු රහිත ශානරයේ කෙටිකතාවකි. විදේශිකයෙකු මුහුණ දෙන අත්දැකීමක් ප්‍රතිනිරූපණය මඟින් කොරියානු ජාතික විඥානය කෙබඳු දැයි පෙන්වා දෙයි. සරත් ඍතුවේ පරිසර සෞන්දර්යයෙන් විකසිත වූ කථකයාගේ සංකල්පනා විචිත්‍රවත් හැඟීම් ධ්වනිත වන අයුරින් “සරා තුරුපත්” නම් කෙටිකතාවෙන් නිරූපණය වේ. පරිසර සුන්දරත්වය හා මුසු කොට කථකයා සිත ප්‍රබෝධයට පත් කළ “පෙක්කා” නම් තරුණිය හා බැඳුණු ඔහුගේ සිත ප්‍රබෝධවත් කළ හැඟීම් ද මේ කතාවෙන් ළගන්නාසුලු ලෙස නිරූපණය කෙරේ. කොරියානු සමාජය, පරිසරය, සංස්කෘතිය මෙනෙහි වන අයුරින් සිදුවීම් විකාසනය කෙරේ. මෙහි එන තරුණිය ඔවුන් දෙදෙනා සංස්කෘතීන් දෙකක් නියෝජනය කිරීම ප්‍රේම සුසංවාදයට බාධාවක් සේ සලකන බැව් පෙනේ. ඇතැම් පුද්ගල ජීවන ක්‍රියාකාරකම් දෙදෙනකු අතර මිත්‍ර සමාගමට බාධාවක් වන අයුරු පෙන්වාදෙන කතාවකි, “ඉවාන් නම් රුසියානුවා.” කොරියාවේ සේවයට පැමිණෙන රුසියානුවෙකුට රැකියා පුහුණුව ලබා දීමට ලාංකේය තරුණයාට සිදු වේ. රුසියාව, රුසියානු සාහිත්‍යය හා සාහිත්‍යකරුවන්, රුසියානු සමාජය පිළිබඳ උනන්දුව දැක්වූ ලාංකේය තරුණයා ඒ විස්තර දැන ගැනීමට දැඩි කැමැත්තක් පෙන්වයි. එහෙත් ඉවාන් කතාවට වැඩි කැමැත්තක් නොදැක්වීම ලාංකේය තරුණයාගේ සිතැඟි මුසපත් වීමට තුඩු දෙයි. අවසන ලාංකේය තරුණයා බලාපොරොත්තු විරහිත තත්ත්වයට පත් වේ. ඊට හේතු වන්නේ ඔවුන් දෙදෙනා සිතුම් පැතුම් හා රුචි අරුචිකම් අතින් යා දෙක නොරත රත වීම ය. “බුදුපිළිමයක් හා හිම වැසි පහක්” නම් කෙටිකතාව වෙනස් ආකෘතියකින් ඉදිරිපත් කොට තිබේ. හිම වැස්ස පවතින අතර එළියේ තිබෙන බුදුපිළිමයක් දෙස ගෙදර කවුළුවෙන් බලා සිටින පුද්ගලයකුගේ සිතුවිලි නිරූපණයක් ලෙස කතාව විකාසනය වේ. දැන් නිරාගමිකයකු ලෙස සිටින ඔහුගේ චිත්තාභ්‍යන්තරයෙහි පවතින කොරියානු බෞද්ධ විඥානය මින් ප්‍රකට කෙරේ. මේ කතා සංග්‍රහයේ ඇතුළත් තරමක් ආකර්ෂණීය අත්දැකීමක් විෂය කරගත් අපූරු නිර්මාණයක් ලෙස “මැරුණු මිනිහෙක්” දැක්විය හැකි ය. චීනය, කොරියාව, ජපානය ආදී ආසියාතික රටවල පවතින මළවුන් පිදීමේ චාරිත්‍රය මේ කතාවේ දී හමුවේ. සොහොන් බිමක් අසලින් නිතර යනෙන කථකයාට එහි සිටින කිසියම් ගුප්ත හැසිරීමක් ඇති මිනිසෙකු දක්නට ලැබේ. ඔහු පිළිබඳ අත්දැකීමක් ලෙස කතාව දිගහැරේ. කෙනෙකු පැවසූයේ ඔහු කන් නො ඇසෙන පුද්ගලයෙකු බව ය. තවකෙකු පැවසූයේ ඔහු මියගිය පුද්ගලයෙකුගේ අවතාරයක් බව ය. නිශ්චිත කතා පුවතක් නැති වුවද යම් දෙයක් හෝ යම් පුද්ගලයෙකු පිළිබඳව සිතෙහි ඇති වන විපරීත හැඟීම් ධාරා නිරූපණය කෙරෙන කතාවකි, මෙය. කිසියම් සිදුවීම් කිහිපයක් යථාර්ථවාදී රීතියට අනුරූපී ලෙස එකට ගොනු කොට රසික සිත් ප්‍රමුදිත වන අයුරින් නිරූපණය කිරීමට චන්දන කුසලතා සම්පන්න වෙයි. සෙන් බුදුදහම කෙරෙහි පැහැදුණු ලාංකේය තරුණයෙකුගේ ඒ හා බැඳුණු කල්පනා ලෝකය බිඳවැටෙන අයුරු “සෙන් ආරාමය” නම් කෙටිකතාවෙන් නිරූපණය වේ. මේ කතාවෙන් කෙටිකතාකරුවා විමසිලිමත් වී ඇත්තේ සෙන් අරම කක්ෂය කරගෙන කථකයාගේ සිතැඟි වෙනස් වූ අයුරු විදහා දැක්වීමට ය. අපගේ සිත්වල මැවෙන ප්‍රතිරූප ඒ ආකාරයට ම ක්‍රියාකාරී නො වන අයුරු මින් විදහා දැක්වේ. කොරියාවේ සේවය කරන ලාංකේය තරුණයෙකු එහි ම සිටින වියට්නාම් තරුණියක සමඟ ප්‍රේමයෙන් වෙළීම, ප්‍රේමයේ අසිරිමත් බව හා සුඛාස්වාදය දැනෙන අයුරින් ළගන්නාසුලු ලෙස නිරූපණය කිරීමට දැරූ උත්සාහය “වියට්නාම් පෙම්වතිය” කතාවෙන් ප්‍රකට කෙරේ. මෙහි සිදුවීම් පෙළගස්වා ඇති අයුරු අපූරු ය. ඔවුන්ට මතුවන ගැටලුව දෙදෙනා රටවල් දෙකක්, ජාතීන් දෙකක්, සංස්කෘතීන් දෙකක් නියෝජනය කිරීම ය. ඊට කථකයාගේ පිළිතුර ආදරයට දේශසීමා නොමැති බව ය.

කෙටිකතාව ළගන්නාසුලු රමණීය සාහිත්‍යික ශානරයක් ලෙස හැසිර වීමට චන්දන උත්සාහ ගන්නා බව පෙනේ. ඔහුගේ අත්දැකීම් සරල ය; නොගැඹුරු ය. එහෙත් ඒ අනුසාරයෙන් කොරියානු සමාජය හා සංස්කෘතිය අල්පමාත්‍ර වසයෙන් හෝ පිළිබිඹු කිරීමට උත්සාහ ගෙන ඇත. “කුමි නැන්දා” නම් කෙටිකතාවෙන් ද ඒ බැව් දැකිය හැක. කරීම් නම් උස්බෙකිස්තානුවෙකුගේ දෘෂ්ටියෙන් කුමි නැන්දා නම් ගැහැණියකගේ චරිත ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට දරන ලද නිර්මාණාත්මක ප්‍රයත්නයක් ලෙස මේ කතාව දැක්වීමට පුළුවන. චන්දනට අනුප්‍රාණය ලැබී ඇත්තේ ඇන්තන් චෙකොව්ගේ කෙටිකතාවලින් බැව් මෙබඳු කතාවලින් පෙනේ. පියාත් පසුව මවත් අහිමි වූ තරුණියක තනිකමට හා හුදෙකලාවට මුහුණ දෙන අයුරු “දින පොතකින් පිටු කිහිපයක්” නම් කතාවෙන් නිරූපණය වේ. තරුණියකගේ සංකල්පනා හා ප්‍රේමාන්විත හැඟීම් අවට පරිසරය හා බද්ධ කොට පරිසර සෞන්දර්යයේ චමත්කාරය විඳගැනීමට කෙටිකතාකරුවා රසිකයාට අවකාශය දී ඇත. වැකි දෙක තුනකින් පරිසර සෞන්දර්යය රසික හදවත් ප්‍රීණනයට පත් කෙරෙන අයුරින් නිරූපණය කිරීමේ කුසලතාවක් චන්දන ප්‍රකට කරයි. ඇගේ ළාමක ප්‍රේමාන්විත හැඟීම් රූපණය කොට ඇති අයුරු ළගන්නාසුලු ය.

කෙටිකතා කලාවේ ව්‍යුහාත්මක අංග ලක්ෂණ හා කලාත්මක ප්‍රයෝග පිළිබඳ සහජයෙන් උරුම කරගත් කුසලතා ඔහු සතු බව පෙනේ. මිනිසා බොහෝ විට පරිසරයට සංවේදී වේ. ඇතැම් විට පරිසර සෞන්දර්යයෙන් වශීකෘත වේ. පරිසරයට පෙම් කරයි. පරිසරයේ සැරිසැරීම හා පරිසර සුන්දරත්වයෙන් ආස්වාදය විඳීමට පෙළඹේ. “වනය අසල පැරැණි නිවස” කතාවේ “යුගිජොං” එබන්දෙකි. ජීවිතය ගැන සමාලෝචනයක් කෙරෙන මේ කතාවෙන් ආලෝක රශ්මි කදම්බයක් පිට කර ඇත. ඒ ජීවිතයේ යථා තත්ත්වය කෙබඳු ද යන හැඟීම ප්‍රකට වන අයුරිනි.

“සරා තුරුපත්” කතා සංග්‍රහයේ ඇතුළත් සෑම කතාවක් ම වින්දනය පෙරටු කොටගෙන රචනා කර තිබීම පැසසුම් කටයුතු ය. චන්දන සමාජය, මානව ජීවිතය, සෞන්දර්යය, සංස්කෘතිය හා ශිෂ්ටාචාරය යන ක්ෂේත්‍ර කරා ආලෝක ධාරා විහිදී යන අයුරින් මෙහි ඇතුළත් එකිනෙක නිර්මාණ රචනා කිරීමට පෙළඹුණු බව පෙනේ. මේ සෑම කතාවකට ම විෂය භූමිය වී ඇත්තේ කොරියානු සමාජය යි. තරුණ තරුණියන්ගේ ඇසින් මේ සමාජයේ විවිධ පැතිකඩ දෙස හැරී බැලීමට නැඹුරු වීම අගය කළ යුතු ය. වෘත්තිකයෙකු ලෙස කොරියාවේ ජීවත් වන චන්දන රටතොට, සමාජය, පරිසරය හා පුද්ගල ක්‍රියාකාරීත්වය මේ කෙටිකතා ඇසුරින් විනිවිද දැක ඇත. වෘත්තිකයෙකු, සංචාරකයෙකු, නිදහස් චින්තකයෙකු ලෙස කොරියානු සමාජ සත්‍ය යථාර්ථය පසක් කරගැනීමට ඔහු ප්‍රයත්න දරයි.

කෙටිකතාව ජීවිතයේ සමීප රූපයක් ම බැව් මේ කතා සමුච්චය රසවිඳි මට හැඟුණි. චන්දන හිතාමතා ම කෙටිකතාවේ ව්‍යුහගත අංග ලක්ෂණ ගැන මනා සෝදිසියකින් කතා රචනා කොට නැත ද නිරායාසයෙන් ම එකී ව්‍යුහගත ලක්ෂණ සුරැකී තිබීම විස්මයාවහ ය. සමස්තයක් වසයෙන් ගත් කල අනාගතයේ දී ප්‍රතිභාපූර්ණ සෞන්දර්යකාමී කෙටිකතාකරුවෙකු වීමේ රුවගුණ මේ කතා සංග්‍රහයෙන් ප්‍රකට කෙරේ. අත්දැකීම් පරිකල්පනය කොට ප්‍රතිනිර්මාණය කිරීමට ඔහු සතු නිර්මාණාත්මක ශක්‍යතා සැබැවින් ම පැසසුමට ලක් කළ යුතු ය.

සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here