ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකරන ලද ප්‍රථම කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් සමාජ – දේශපාලන අංශවල සංවාදයක් ගොඩනැඟී තිබුණි. ඉකුත් සිකුරාදා (10දා) සිදු වූ එම සංශෝධනයේදී කාගෙත් අවධානයට ලක්වූයේ ජ.වි.පෙ. ප්‍රබල චරිතයක් වන බිමල් රත්නායකගේ ඇමැති ධුර සම්බන්ධ වෙනසය. ඔහු යටතේ තිබුණු වරාය හා සිවිල් ගුවන් සේවා ඔහුගෙන් ඉවත් කිරීම පාර්ලිමේන්තුවේදීත් අවධානයට ලක්වූවකි. රාසමානික්කම් මන්ත්‍රීවරයා උත්ප්‍රාසයෙන් සඳහන් කළේ, ඒ සංශෝධනය ගැන සතුටු විය හැකි බවකි. මේ වනවිටත් දේශපාලන සංවාදවලදී ආණ්ඩුවට චෝදනා කෙරෙන වරායේ කන්ටේනර් සිද්ධිය නිසා බිමල්ගෙන් එම ඇමැති ධුර ඉවත් කළේ ද යන ප්‍රශ්නය ද ඔහු නඟා තිබුණි. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආණ්ඩු පාර්ශ්වයෙන් ප්‍රකාශ වූයේ, බිමල්ට ඊට වඩා වැඩි වගකීමක් පවරා තිබෙන බවය. එහෙත් නාගරික සංවර්ධන විෂය සමග ඔහුගෙන් පවරා ගත් විෂයයන් වන වරාය හා සිවිල් ගුවන් සේවය සැසඳිය හැකිද? මේ සංශෝධනය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද සඳහන් කර තිබුණි. ඔහුට අනුව මේ, බිමල්ට එරෙහිව අභ්‍යන්තරයෙන් මතු වූ කැරැල්ලක ප්‍රතිඵලයකි.
මෙම සංශෝධනයේදී වුවද ජාජබයේ ඇමැතිවරුන්ගේ සංඛ්‍යාත්මක සීමාව ඉක්මවා නොයෑම ද විශේෂත්වයකි. නියෝජ්‍ය ඇමැති ධුර වැඩි කළත් අලුතින් කැබිනට් මණ්ඩලයට එක් වූයේ එක ඇමැතිවරයෙක් පමණි. ඒ වෛi සුනිල් රණසිංහය. වරාය හා ගුවන් සේවා භාර වූයේ අනුර කරුණාතිලකටය. 2026 අය – වැය ඉදිරිපත් කිරීමට ආසන්නව තිබියදී සිදුකරන ලද සංශෝධනය රජයේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට හා ඇතැම් ඇමැතිවරුන්ට පැවරුණු වැඩිබර සැහැල්ලු කිරීමේ අරමුණ ඇතිව සිදු කළ බවද ආණ්ඩුවේ දේශපාලන පිළිතුරය. මේ ඇමැති මාරුව හුදු බිමල් රත්නායක එල්ලකරගත් එකක්ද? යන්න නිශ්චිතවම දන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන්මය. එහෙත් මේ පිළිබඳව අර්ථවත් හා සාධනීය විශ්ලේෂණයක් විපක්‍ෂයෙන් සිදුනොවීම ද කැපීපෙනුණි. මෙරටේ බොහෝ විට ඇමැති සංශෝධන සිදුවූයේ හා සිදුවන්නේ ද රට ගැන හෝ ජනතාව ගැන හෝ සිතා නොවන බව ඉතිහාසය විසින් ද සනාථ කරනු ලැබ තිබෙන්නකි.
අපට ඒවා ගැන වාද කිරීමට වඩා අවධානය කළ යුතු කරුණු ද තිබේ. විශේෂයෙන් රට අබියස තිබෙන බව කියැවෙන ආර්ථික අර්බුද හා අපේ ආර්ථිකයේ යතුර තවමත් තිබේ යැයි පැවසෙන අයිඑම්එෆ් ප්‍රතිචාර ගැන ද නොතකා සිටිය නොහැක. ලෝක බැංකු ප්‍රධානියකු පවසා තිබුණේ, 2019 දී මෙරට තිබුණු දුගීභාවය දෙගුණයකින් වැඩිවී තිබෙන බවය. ලංකාවේ පවුල්වලින් හතරෙන් එකක් මේ දිළිඳුභාවයේ පීඩනයට යට වී සිටින බවද ඔහු පෙන්වා දී ඇත. තවත් පවුල් සෑහෙන ප්‍රමාණයක් ඒ දුගීභාවයේ පීඩනයට හසුව තිබෙන බවද කියා තිබේ. මේ අතර ආණ්ඩුවට සතුටු විය හැකි ආරංචියක් ද විය. ඒ මූල්‍ය අරමුදල ලංකාවට සිය පස්වැනි මූල්‍ය සහනය අනුමත කරන බව සඳහන් පුවතය. එහි හොඳ – නරක කුමක් වුවත් අපව තවමත් පාලනය කිරීමට මේ මූල්‍ය අරමුදලට හැකි බවද මතක තබාගත යුතුය. වාර්තා වන ආකාරයට මෙරටේ බදු හා වෙනත් අණපනත් ගැන ද ඔවුන් යම් යම් කරුණු දක්වන ලද බවද පැවසේ. විශේෂයෙන් විදුලි බිල ඉහළ දැමීමට ද යෝජනා කර ඇතැයි කියති.
විදුලි බිල සම්බන්ධ තීරණය මේ සටහන ලියනවිට ලැබී තිබුණේ නැත. මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව අදහස් විමසීමක් නම් කර තිබුණි. විදුලිබල ක්‍ෂේත්‍රය තවමත් උණුසුම් පුවත් මවන විවාදාත්මක මාතෘකාවකි. හිටපු විදුලිබල ඇමැතිවරයකු වන පාඨලී මේ පිළිබඳ දැඩි විවේචනයක් කර ඇත. ඒ සම්බන්ධ වෘත්තීය සංවිධානවලින් කෙරෙන විවේචන හා චෝදනා සුළුපටු නැත. විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද විවේචනයට ලක්ව තිබේ. පෙරටුගාමීන්ගේ විවේචනවල හරය වන්නේ ද එය කඩා කොටස් කර විකිණීමට පහසු වන ආකාරයට සංශෝධන සිදුවී ඇති බවය. විපක්‍ෂ නායක සජිත් පවසන්නේ, විදුලි බිල ඉහළ දැමීමට පියවර ගත හොත් ජනතාව සමග වීදි බසින බවය. විදුලිය හා ඉන්ධන සහන ලබාදීමට මේ ආණ්ඩුව විසින් දෙන ලද ප්‍රතිඥා ගැන ඇසෙන විවේචන උත්ප්‍රාසනීය කතාවල ද නිමාවක් නැත. විදුලිය හා ඉන්ධන, මිල සූත්‍රවලින් රජය සිය අලාභ පියවා ගෙන ඇති බවද පැවසේ. 2028 දී ලංකාව ණය ගෙවීම ද ඇරඹිය යුතුය. විදේශ විනිමය සංචිතය වර්ධනය කරගැනීමට ආණ්ඩුවට සිදුවෙයි. ඛනිජ තෙල් ක්‍ෂේත්‍රයෙහි ආයෝජනය සඳහා පැමිණි ඔස්ටේ්‍රලියාව එය අත්හැර ගොස් ඇතැයි රූපවාහිනි විවාදයකදී කෙනෙක් කීවේය. අදානිගේ විදුලි ව්‍යාපෘතිය ද ප්‍රශ්නකාරී බව කියනු ඇසුණි. විදෙස් ආයෝජන සම්බන්ධයෙන් අද රට තුළ උදාසීනත්වයක් ඇති බව මේ සියලු විවේචනවල හරයයි. පෝට්සිටි ආයෝජන ගැන ද විවේචන තිබේ.
මේවා ඒ ක්‍ෂේත්‍රවල ප්‍රාමාණිකයන් විසින් පිළිතුරු දියයුතු, විසඳියයුතු දේවල්ය. මේ අර්බුද, ගැටලුවලට රට හිර කළ අය අද විවේචන කරමින් ආණ්ඩුවට සරදම් කරති. ජවිපෙ ලෙස එදා මේ ආණ්ඩුවේ නායකයන් විසින් කරන ලද විවේචන ද ඔවුහු උපුටා දක්වති. කුමක් වුවත් රට ආර්ථික වශයෙන් ස්ථාවරව පවත්වාගෙන යෑමට මේ ආණ්ඩුව දරන ප්‍රයත්නය අපට පැහැදිලිය. ණය බර, ජීවන බර සියල්ල මේ පාලකයන්ගේ වැරදි ලෙස දැක්වීමට ද නොහැකිය. තිත්ත ඇත්ත නම් අප තවමත් වැල් පාලම උඩය. ආර්ථික ප්‍රශ්නවලට සරල විසඳුම් නැති බව ඇත්තකි. එහෙත් ඒවායේ පීඩනය එහෙමපිටින්ම ජන ජීවිත මත පැටවීම ද අනුමත කළ නොහැකිය. එහෙත් මෙරටේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රය තුළ උද්ගත වී තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය හැකි බව බැලූ බැල්මට පෙනේ.
වී ගොවියන්, අල – ලූනු ගොවියන් ඇතුළු විවිධ ගොවි කටයුතුවල ප්‍රධානම ප්‍රශ්නය නිසි මිලක් නැතිවීමය. පාරිභෝගිකයන්ට වුවමනා සියල්ල මේ රටට ගෙන්වීම මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විසඳුම වී තිබේද? ඒ, අදාළ ගොවි ජනයාට සුළු හෝ සහනයක් දිය හැකි සැලසුම් ඔවුන්ට නොමැතිද? වී ගොවියා, අල – ලූනු ගොවියා අද සරණාගතයකුගේ තත්ත්වයට පත්ව සිටිත්ද? රූපවාහිනි නාළිකා ඔස්සේ මෙන්ම පුවත්පත්වල ද ඔවුන්ගේ දුක්බර ආයාචනා දිනපතාම දැකගත හැකිය. ඒවා ඉතා සාධාරණ ඉල්ලීම් බවද පෙනේ. අපගේ අවබෝධය අනුව නම් මේ ආණ්ඩුව තුළ නියෝජනය වන බහුතරයක් මැති ඇමැතිවරුන් නිර්ප්‍රභූ ලෙස හැඳින්වෙන දේශපාලන ස්තරයකට අයත් බවය. මෙතෙක් මැති ඇමැතිවරුන් මෙන්ම ඔවුන් නියෝජනය කළ ප්‍රභූ පෙළැන්තිය වෙනුවෙන් මේ ආණ්ඩුව පෙනීනොසිටින බවද ඇත්තය. එහෙත් තවමත් ඔවුහුත් දේශපාලන රාමුව තුළම හිරවී සිටිති. ගොවියන්ගේ ගැටලු සියල්ල එකවර විසඳීමට නොහැකි බව ඇත්තය. එහෙත් ඒවායින් සෑහෙන ප්‍රමාණයක් විසඳීමට ආණ්ඩුවකට බැරි නැත.
මේ ආණ්ඩුවට ජනතාව විසින් දෙන ලද ජනවරම ඓතිහාසික එකක් බවට නන්දෙඩවීම පමණක් ප්‍රමාණවත් නැත. අප වටහා ගත් පරිදි මේ රටේ සිදුවූයේ වැඩවසම් ප්‍රභූ තන්ත්‍රය පෙරළා දැමීමක් පමණක් නොව, පොදුජන අභිලාෂයන් යථාර්ථයක් බවට පත්කර ගැනීමට සවිඥානිකව ගත් දේශපාලන තීන්දුවට සාධනීය ප්‍රතිචාරයක් දැක්වීමට මේ ආණ්ඩුව බැඳී සිටියි. මේ වනවිටත් ලංකාවේ පැරණිම පක්‍ෂ දෙක වන එජාපය හා ශ්‍රීලනිපය කිසිදු දේශපාලන නියෝජනයක් නොමැති පක්‍ෂ ලෙස ඉතිරිව තිබේ. ශ්‍රීලනිපයෙන් බිඳුණු පොහොට්ටුවට වුවද ජනතා විශ්වාසය දිනාගත නොහැකි විය. නාමල් රාජපක්‍ෂ වුවද ජාම බේරා ගත්තේ ජාතික ලැයිස්තුව නිසාය. ඔහු ජනාධිපති අපේක්‍ෂකයෙක් ද විය. ඒ ජනතා විරෝධී කුණාටුවට හසු නොවූයේ සජිත් නායකත්වය දුන් සජබ පමණය.
සජබ හා එජාප එක්ව ක්‍රියාකරන අලුත් වැඩපිළිවෙළක් ගැන ද ඒ ඒ පක්‍ෂවල සමහරු කියති. සජබ නායක සජිත් හා එජාප නායක රනිල් එක්ව එක ගමනක් යා යුතු බව පාක්‍ෂිකයන්ගේ අදහස බවද පෙනේ. එහෙත් එජාපය නායකත්වයේ එල්ලී සිටින රනිල් එය හැර යනු ඇතැයි ද සිතිය නොහැකිය. සජබයේ මද්දුමබණ්ඩාර වැඩිම ජන බලයක් ඇත්තේ සජිත්ට බවද කියයි. ඒ කතාව ඇත්තය. අද විපක්‍ෂයේ යැයි කියැවෙන බොහෝ දෙනකුගේ දේශපාලනය අස්ථාවර එකකි. මහින්ද – රනිල් යන නායකයන් යළි දේශපාලනයට කැඳවීමට කල්පනා කරන අයද සිටිති. එයට ප්‍රධානම හේතුව ප්‍රබල නායකත්වයක් – විකල්ප නායකත්වයක් නොතිබීමය. ශ්‍රීලනිපයෙන් දේශපාලනයට එක්වූ චන්ද්‍රිකාට හෝ මෛත්‍රීට අද තිබෙන දේශපාලන වාතාවරණය තුළ කළ හැකි යමක් ඉතිරි වී තිබේද? ඇමැතිකම් දැරූ සෑහෙන පිරිසක් ද සිටිති. එහෙත් ජනතාවගේ ආකර්ෂණයක් මේ කී දෙනකුට තිබේ ද යන්නත් ප්‍රශ්නයකි. මේවාට අයත් නැති දිලිත් ජයවීරගේ භූමිකාව ද අපට පෙනේ. නාමල් රාජපක්ෂ ද ධෛර්යසම්පන්නව තමන්ට හා රාජපක්ෂවරුන්ට එරෙහිව නැඟෙන විවේචනවලට ද ප්‍රතිචාරය දක්වමින් සිටිනු පෙනේ. එහෙත් ඔහු සජබ – එජාප හවුලකට හෝ සන්ධානයකට යනු ඇතැයි සිතිය හැකිද? ආණ්ඩුව පවසන ආකාරයට සජබය ඇතුළු සියලුම විපක්ෂ කණ්ඩායම් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එක කඳවුරකට එක් වෙත්ද?
පළාත් සභා ඡන්දය පිළිබඳ නිශ්චිත අදහසක් තවම ප්‍රකාශයට පත්ව නැති වුවද සජබය ඒ ගැන උද්‍යොගයකින් සිටින බව පෙනේ. මන්ත්‍රීකම් අත්හැර සජබ නායකයන් කියන පරිදි මන්ත්‍රීකම් පරිත්‍යාග කර පළාත් සභාවලට තරගවැදීමට ද පිරිසක් සූදානම්ව සිටිති. මෙම මැතිවරණය ප්‍රකාශයට පත් වුවහොත් අපට අද විපක්ෂයේ තිබෙන දේශපාලනය ගැන යම් යම් තීන්දුවලට එළැඹීමට ද හැකිවනු ඇත. එය හෙට දවසට භාර වූවකි. විපක්ෂය අපේක්ෂා කරන පරිදි ඔවුන්ට මේ ආණ්ඩුව සමග එහිදී සටනක් දී පරාජය කළ හැකිවේද? සමුපකාර ඡන්ද ප්‍රතිඵල දෙස බලා මේ ආණ්ඩුවට තිබෙන ජනමතය ගැන නිගමනයකට ඒමට අපට නොහැකිය. එහෙත් එබඳු ජනතා ප්‍රතිචාර වර්ධනය කරගනිමින් දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමට හැකි බවද කිව යුතුය.
මේ ආණ්ඩුවේ ඇතැම් තීන්දු තීරණ ආපස්සට ගැනීමට හෝ යළි මහජන අදහස් ලබාගැනීමක් කරා ප්‍රමාද කිරීමට හෝ සිදුවූ ආකාරය අපට පැහැදිලිව දැකගත හැකිය. මේ ආණ්ඩුව තුළ සංස්කෘතිය හා පිළිගත් චර්යාධර්ම නොඉවසන කණ්ඩායමක් සිටිතියි ද සමහරු පවසති. මේ ආණ්ඩුවට එල්ල කෙරෙන විවේචනවලට හරය වී ඇත්තේ අද මේ ආණ්ඩුව රැඩිකල් හෝ වාමාවාදී මඟක් ඔස්සේ යන, ක්‍ෂණික වෙනස්කම් නොකරන, මෙතෙක් පැවති ආණ්ඩුවල පිය සටහන් ඔස්සේම යන බවය. එය බැලූ බැල්මට ඇත්තකි. මතුපිටට පෙනෙන ඒ ගමන විවේචකයන් අපේක්ෂා කරන කඩිනම් එකක් නොවේ. ජවිපෙට එදා ඉන්දීය විරෝධයක් තිබුණි. ඉන්දීය භාණ්ඩ පවා වර්ජනය කළ තැනට පත්වූ ඒ විරෝධය කලානුරූපව අවලංගු එකක් බව ජාජබය ලෙස ඔවුහු වටහා ගෙන සිටිති. එය වැරදිද?
මේ ආණ්ඩුව වාමාංශික සන්නාමයක් සහිත එකක් වුවද ඔවුන් තවමත් ගමන් කරන්නේ රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද ඔහුගේම නොවූ ජාත්‍යන්තර මූල්‍ය උපදේශක රාමුව තුළය. ඉකුත් මැතිවරණවලදී ඒවා විවේචනය කළ ඔවුන්ට අද සිදුවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම අනුගමනය කිරීමටය. නීතියේ ආධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව යෑමට ඔවුන්ට සිදුව තිබේ. දූෂණ, වංචා, අල්ලස් සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාකරන්නේ ද ඒ රාමුව ඇතුළතය. පාතාලය හා දේශපාලන අභිමතය පරිදි යටගසන ලද අපරාධ, දූෂණ අද නීතිය ඉදිරියට ගෙනගියේ මේ ආණ්ඩුවේ උද්‍යෝගය නිසාය. විපක්ෂයේ සමහරුන් ප්‍රශ්න කරන්නේ ඔවුන් හැදූ නීති නොවූයේ නම් මේවා සිදුනොවන බවය. සෑහෙන කාලයක් වේදිකාවල මාතෘකා බවට පත්වූ ලසන්ත හා තාජුඩීන් ඝාතන ගැන යළි කතිකාවක් ගොඩනැඟී තිබේ. එහෙත් ඒවා අධිකරණයට ගෙන යා හැක්කේ නීතිය හා සාක්ෂි මත සිදුකෙරෙන විමර්ශනවලින් පමණි. පොලිසිය දූෂිත ආයතනයක් බව කලක සිට කෙරෙන චෝදනාවකි. එබඳු ආයතන ගණනාවක්ම දැන් පිරිපහදු වෙමින් තිබේ. ආණ්ඩුව අලුත්ය. අත්දැකීම් ද අඩුය. කිසි දිනක රාජ්‍ය බලයේ සම්පූර්ණ වගකීම් භාරය උසුලා නැති පිරිසක් ලෙස ඔවුන් කටයුතු කරන්නේ ද දූෂිතම ආයතන පද්ධතියක එබඳු චෝදනා, විවේචන එල්ල වී තිබෙන රාජ්‍ය නිලධාරීන් ද සමගය. ඒවාගේ බහුතරයක් යහපත් නිලධාරීහු ද සිටිති. එහෙත් ඒවායේ කටයුතු සිදුවූයේ ඇමැතිගේ හෝ ඔහු අනුදත් පිරිසකගේ කැමැත්තටය.
පවුල් පාලනය, ඥාති සංග්‍රහය කිඳාබැසගත් රටක අද ක්‍රමයෙන් ඒවායින් මිදෙන ආකාරයක් ද පෙනේ. ජාජබ ආණ්ඩුව වාමවාද එකක් නොව, ලිබරල් හා ධනවාදයේ ඇතැම් ලක්ෂණ ද සමග ගමන් කිරීම රැඩිකල් වෙනසක් අපේක්ෂා කළ අයගේ විවේචනයට ලක්වීම ද සාධාරණය.
විපක්ෂය ප්‍රශ්න කරන්නේ “සිස්ටම් චේන්ජ්” එකක් හෙවත් ක්‍රමයේ වෙනසක් ගැනය. විධායක ජනාධිපති ක්‍රමයත් වෙළෙඳපොළ ආර්ථිකයත් සමග දශක කීපයක් ඉදිරියට ගිය ප්‍රවාහය වෙනස් කළ හැක්කේ කෙසේද යන්න නිවැරදිව වටහා නොගෙන එය සිදුකළ නොහැකිය. ආණ්ඩුවට තිබෙන අභියෝගය ද එයයි. කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයක දේශපාලන බලයක් මේ ආණ්ඩුවට ලබා දුන්නේ ඇයි? එයට විපක්ෂය දෙන සරල පිළිතුර වන ඔවුන් විසින් වේදිකාවලදී ලබාදුන් බොරු පොරොන්දුවලට රැවටීමද? විපක්ෂවලින් ඇසුවේ ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ හිතවතා වෙනුවට උපන් හදවියක දැකලාවත් අහලාවත් නැති අයකුට ඡන්දය දෙනවා ද යන්නයි. මා කල්පනා කරන්නේ එය දේශපාලන විඥානයක් සහිත ජනතාවගේ පිළිතුරක් බවය. ජනතාව වෙනසකට අවශ්‍ය බලය ලබාදී තිබේ. ඒ බලය ප්‍රබුද්ධ ලෙස යොදාගෙන ඒ වෙනස් කිරීමේ අභියෝගය මේ ආණ්ඩුව ඉදිරිපිට තිබෙන බව යළිත් සඳහන් කරමු.
අවසන් වශයෙන් අප අවධානය යොමු කරන්නේ මේ සතියම උණුසුම් කළ අප්‍රසන්න, අශෝභන සිද්ධිය වන කුප්‍රකට පුවත ගැනය. සමාජ මාධ්‍යවල සංසරණය වන ඒ පුවත හා අදාළ රූපරාමු – තුච්ඡ වචන භාවිතය ශිෂ්ට හෝ ගෞරවනීය වෘත්තිකයකුගෙන් අපේක්ෂා කළ හැකිද? තම වෘත්තීයට ඉහළින් කිසිවකුට සිටිය නොහැකිය යන මුග්ධ අහංකාරයකින් ක්‍රියාකළ අයකුගේ වසල ප්‍රතිචාර්ය සමාජයේ දැඩි විරෝධයකට හේතු විය. තම නිලය, බලය, කුලය හෝ වෘත්තිය අනුන් පෙළන මුගුරක් සේ සිතූ වැඩවසම් ගෝත්‍රික සමාජ ක්‍රමයක් එදා එනම් සියවස් කීපයකට පෙර තිබුණි.
බ්‍රාහ්මණයා හා වසලයා ඒ සමාජය තුළ සිටියහ. එහෙත් බුදුන් වහන්සේ එයට නිර්දය විවේචනයක් එල්ල කළහ. තම රැහේ එකා රැකගැනීමට රැහේම අය එය අනුමත කළහුදැයි මම නොදනිමි. එහෙත් ඒ දුෂ්ට වෘත්තිකයකුගේ අවමානයට ලක්වූ ශිෂ්ට රාජ්‍ය සේවකයා වෙනුවෙන් පෙනීසිටි ජනතාවට හිස නමා ආචාර කළ යුතුය. පොලිසිය භාර ඇමැතිවරයා මෙන්ම පොලිස්පති ද ඒ කසළ ගොඩ වෙනුවෙන් පෙනී නොසිටීම ද අගය කළ යුතුය. සමාජයක පුද්ගලයකු මිණිය යුත්තේ වෘත්තියෙන් හෝ ඔහු සතු බලයෙන් නොව ඔහු තුළ තිබෙන මානුෂික හා අව්‍යාජ ගුණධර්මවලින්ය. කළු කෝට් එක මෙන්ම කාකි සූට් එක ද වටිනාකම් මනින දේවල් නොවේ. අප ආචාර කළ යුත්තේ ඒ තුළ සිටින මිනිසාටය. කොහොමටත් සාමාන්‍ය ජනතාව සිටියේ ද ගම්කබරයකු යැයි අවමන් කළ පොඩි මිනිහාගේ පැත්තේය. පොදු ජනතාව කෙනකු හඳුනා ගන්නේ ද ඒ අනුවය. පොදු ජනතාව අතර තිබෙන අපූරු ප්‍රවාදයක් ද මට සිහිවෙයි. මොනතරම් අලංකාර වස්ත්‍රාභරණවලින් සැරසී සුවඳවලින් සැරසුණත් ගොපල්ලකුගෙන් වහනය වන්නේ ගොපලු ගඳ පමණි. මෙය ආදේශ කළ හැකි අය අදත් සිටිති.
ගාමිණි සුමනසේකර
Saru FM Media