අඳුර දුරලන දීපාලෝකය; දීපාවලි

0
2

ජාතියක අනන්‍යතාව පිළිබඳව සොයා බැලීමේදී සංස්කෘතිය හා බැඳුණු අංග සුවිශේෂ වෙයි. වරෙක එකී සංස්කෘතිකාංග ඒ ඒ ජාතියෙහි අනන්‍යතාව ඔසවා තබන ජාතික තලයේ උත්සවයන් ලෙසද හඳුනාගත හැකිය. එනයින් බලන කල්හි හින්දු ජනයාගේ සංස්කෘතිය හා බද්ධ වූද එසේම ජාතික තලයේ උත්සවයක් ලෙස දීපාවලි උත්සවය හඳුන්වා දිය හැකිය. ප්‍රවේණිගතව සුරක්‍ෂාවෙමින් දුගී දුප්පත් පැල්පතේ සිට රජ මාළිගය දක්වාම මහත් උනන්දුවකින් හින්දු ජනයා විසින් වර්තමානයේදී ද උත්කර්ෂවත්ව දීපාවලි උත්සවය සමරනු දැකගත හැකිය.

දීපාවලි යන්නෙහි අරුත

මෙය දිවාලි (Diwali), දීපාවලි (Deepa(wali) හා දීපවාලි (Deepawa(li) දීපාවාළී (Deepawa(li) යන නම්වලින් භාවිත වනු දැකගත හැකිය.

සංස්කෘත භාෂාවෙන් ‘දීප යනු පහනයි. ‘ආවලි’ යන්නෙන් පෙළ පඞ්ක්තිය, වැල හා සමූහය යන අර්ථ දෙයි. ඒ අනුව සංස්කෘත භාෂාවෙන් දීපූආවලි යන්න සන්ධිව ‘දීපාවලි වචනය නිර්මාණය වී ඇත. හින්දී භාෂාවෙන් දීපූආවලී (ආවලී යන්න දීර්ඝවද හ්‍රස්වද යෙදී ඇති නමුදු බහුලව දීර්ඝව යෙදී ඇති ආවලී යන්න භාවිත කෙරේ.) යන්න සන්ධිව ‘දීපාවලී’ යන වචනය නිර්මාණය වී ඇත. මෙහිදීද ‘දීප්’ යන්නෙන් පහන යන අර්ථයත් ‘ආවලී’ යන වචනයෙන් පෙළ, පේළිය යන අරුතත් දෙයි. මේ නයින් බලන කල්හි මෙම භාෂාද්වයෙන්ම දීපාවලි (ලී) යන්න ‘පහන් පෙළ’ යන අරුත දෙයි. දෙමළ භාෂාවේදී දීපම්ූඔළි යන්න සන්ධිව (දීපම්ූඔළි) දීපාවළි (දෙමළ ඔළි යන්නෙහි භාවිත ළකාරය :ි* සිංහලයේදී මූර්ධන්‍යය ළකාරය ලෙස භාවිත කරයි) යන වචනය (මේ වචනය බිඳී පැමිණි ආකාරය පිළිබඳව ශබ්ද විද්‍යාත්මකව සොයා බැලිය යුතුය) ගොඩනැඟී ඇත. දෙමළ භාෂාවෙන් ‘තීපම්’ යන්නෙන් පහන, ප්‍රදීපය, ද්වීපය, දිවයින යන අරුත් ගම්‍යය කෙරේ. දෙමළ භාෂාවේදී ‘ආවළි’ යන වචනයක් හමුවන අතර එහි අදහසද ‘පේළිය’ වැල, යන්නයි. නමුත් දෙමළ ජනයාගේ පිළිගැනීමට අනුව ‘දීපාවළි’ වචනය නිර්මාණය වී ඇත්තේ දීපූඔළි යන වචන දෙක සන්ධි වීමෙනි. මෙහිදී හමුවෙන ‘ඔළි’ යන්නෙන් ආලෝකය යන අදහස දෙයි. එනයින් බලන කල්හි ‘දීපාවළි’ යන්නෙන් ‘පහන් ආලෝකය’ යන අරුත ගම්‍ය වෙයි.

පොදුවේ ගත් කල්හි ‘පහන් ආලෝක ධාරා’ යන්න මෙහි වාච්‍යාර්ථයයි. හින්දු ආගමිකයන් අතර ප්‍රචලිත ආලෝක පූජා උත්සවයක් වන මෙය දෙවියන් උදෙසා පවත්වන්නකි. මෙය වප් මස අව අටවකට කලින් අශ්විනි නක්‍ෂත්‍රය උදාවන කල්හි ඇරඹෙන්නකි. ධර්මාශෝක අධිරාජයා අසූහාර දහසක් වෙහෙර විහාර නිමවා සත් දිනක් පැවැත්වූ පහන් පූජෝත්සවයකි. (එඩ්මන්ඩ් කේ. බී. ඒ., මහා සිංහල සාහිත්‍ය ශබ්දකෝෂය)

ජාති ආගම් කුල භේද නොමැති දීපාවලි

ඉන්දියාවේ ජාති ආගම් කුල භේදයකින් තොරව සමරනු ලබන ජාතික තලයේ උත්සවයක් ලෙස දීපාවලි උත්සවය හඳුන්වා දිය හැකිය. ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව, කැනඩාව, ප්‍රංශය, මුරුසය, ෆීජී ආදි රටවල්වල වෙසෙන හින්දූන් විසින් මෙම උත්සවය මහත් හරසරින් සමරනු ලබත්. ඉංග්‍රීසි මාස ක්‍රමයට අනුව ඔක්තෝබර් මාසයේදීද සිංහල මාස ක්‍රමයට අනුව වප් මාසයේදීද දෙමළ මාස ක්‍රමයට අනුව (ඓප්පසි) මාසයේදීද මෙම උත්සවය වාර්ෂිකව සමරනු ලබත්.

නවක මනාල යුවළට සුවිශේෂ උත්සවයක් ලෙස මෙම දීපාවලි උත්සවය සඳහන් වෙයි. මංගල යුවළගේ පළමුවෙනි දීපාවලි උත්සවය මහත් ඉහළින් මනාලියගේ නිවසේදී සමරනු ලබත්. ‘එමවචිච’ය නමින් තෑගි ලබාදීමේ උත්සවයක් ලෙස පැවැත්වෙන මෙහිදී මනාලයාට ඇඳුම් ඇතුළු තෑගි බෝග බොහෝමයක් ප්‍රදානය කරනු දැකිය හැකිය. ඇතම් ඒවා සාම්ප්‍රදායික බලපෑම් නිසා සිදු වුවද සතුටුදායක ලෙස සිදුවීම සුවිශේෂත්වයකි.

මෙම කාලයේදී සෑම නිවසකම පාහේ රසැති ආහාරපාන හා රසකැවිලි සකස් කරනු ලබත්. ගැහැනු දරුවන් වර්ණවත් වළලු, රිබන් හා ඇඳුම්වලින් සැරසී සිටින අතර පිරිමි ළමයි දීපාවලි දිනයට පෙර සිටම ගිනි කෙළි සමග විනෝද වෙති. ස්වාමි-සේවක සබඳතාව වඩාත් ශක්තිමත් වන කාලයක් ලෙස දැකිය හැකි මෙම කාලයේදී ආයතනික ප්‍රධානියන් විසින් සේවක-කාරකාදීන්ට තෑගි බෝගාදිය දෙනු ලැබෙත්.

මෙම උත්සවයේදී ස්නානය පළමු කාර්යය වන අතර දෙවැන්න වනුයේ ස්නානයෙන් අනතුරුව නිවැසියන් සියලු දෙනාම අලුත් ඇඳුම් ඇඳීමයි. තෙවැන්න නිවසෙහි විවිධ රසකැවිලි සහ අනෙකුත් ආහාර වර්ග පිළියෙල කොට අනුභව කිරීමයි. වර්තමානයේදී සිව්වැන්න හැටියට රතිඤ්ඤා දැමීම ආදි අංගයක් එකතු වී ඇති අතර එය ඊට පෙර රාත්‍රි කිහිපයකදී ආරම්භව දින කිහිපයක් ඉදිරියටද නොකඩවා පවත්වා ගෙන යනු දැකිය හැකිය. මෙම උත්සවයේ සැම අංගයක්ම වැදගත් සේ සලකන අතර පෙර මාස දොළහ ඇතුළත පවුලෙහි කිසිදු මරණයක් සිදු වී නොමැති නම් පිරිමි, ගැහැනු සහ මහලු සියලු දෙනාම ස්නානය කරනු ලැබේ.

තෙල් ස්නානය කිරීමේ උත්සවය

‘පහන් ආලෝක ධාරා’ යන අර්ථය ‘දීපාවලි’ යන්නෙන් ගම්‍ය වුවද තමිල්නාඩුවෙහි එය ‘තෙල් ස්නානය කිරීමේ උත්සවය’ (Festival of a bath in oil) ලෙස වඩාත් ප්‍රකටය. හිරු උදාවීමට පෙර චාතුර්දශී රාත්‍රියේදී ස්නානය කිරීම, ශුද්ධ වූ ගංගා නදියෙන් ස්නානය

(Ganga snanam) කිරීම හා සමාන බව ඔවුන්ගේ විශ්වාසයයි. හිසකෙස්වලට හා ශරීරයට යොදන ලද තෙල් ඉවත් කිරීම සඳහා නාගරික ප්‍රදේශයන්හි (සබන් ඇට කුඩු) භාවිත කෙරෙන අතර ග්‍රාමීය ප්‍රදේශයන්හි තෙල් කේක් කුඩු (බීජවලින් තෙල් නිස්සාරණය කිරීමෙන් ලබාගන්නා) භාවිත කෙරේ. මෙය වයෝවෘද්ධයන්ගේ සන්ධි ගැටලු සමනය කිරීමට උපකාරි වේ.

ඇඳුම්

දෙවෙනි කාරණය වන අලුත් ඇඳුම් ඇඳීමේදී, ආහාර අනුභවයට පෙර දෙවියන් වහන්සේට කැප කළ ආකාරයටම ඇඳුම්ද දෙවියන් උදෙසා පූජා කරනු ලැබේ. ඇඳුම් මාරු කිරීමට තරම් වත්කමක් නැති වුවද දෝති (Dothi) හෝ සාරි මිලදී ගත්තද එයින් ශරීරයෙහි විළි වසා ගැනීම පමණක් අදහස් කර ඇති අතර එයින් කිසිවෙකුට කිසිවෙකුගේ ධනය හෝ වත්පොහොසත්කම් පෙන්වීමේ මාධ්‍යයක් නොවීම සුවිශේෂත්වයකි. ස්නානය අවසන් වූ විගස ලක්ෂ්මි නාරායන ලෙස විෂ්ණු දෙවියන්ට ආයාචනය කොට නිවසෙහි පහන් දල්වා මිලදී ගත් ඇඳුම් පැළඳුම්, සියලු රසකැවිලි හා අනෙකුත් කැපකරන භාණ්ඩ දෙවියන්ට පූජා කරනු ලැබේ. පසුව අලුත් දෝති පැළඳගෙන උදෑසන ආහාරය සඳහා සියලු දෙනා වාඩිවෙත්.

ආහාර

අලුත් ඇඳුම්වලින් සැරසුණු තරුණ තරුණියන් වැඩිහිටියන්ට දණ ගසා වැඳ ආශීර්වාද ගැනීමෙන් අනතුරුව කෑම මේසයෙහි වාඩි වීම චාරිත්‍රයකි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික නිවෙස්වල උදෑසන ආහාරය හිමිදිරි පාන්දරට පෙර අනුභව කරනු දැකගත හැකිය. මෙම උදෑසන ආහාර වේල සඳහා ඉට්ලි ප්‍රධාන වන අතර පවුලේ ආර්ථික මට්ටම අනුව රසකැවිලි වර්ග සාදනු ලැබේ. ග්‍රාමීය නිවෙස්වල ස්වකීය රසකැවිලි වර්ග සෑදීම කීර්තියට හේතුවක් ලෙස සලකන අතර නගරයේ සාප්පුවකින් රසකැවිලි මිලදී ගැනීමේ නවීන විලාසිතාව බොහෝ ග්‍රාමීය ජනතාව විසින් සිදු නොකරන්නකි.

වර්ෂයකට වරක් පැවැත්වෙන දීපාවලි උත්සවය සැමදා ප්‍රීතියෙන් ගත කිරීමට ලැබෙන මහඟු අවස්ථාවක් ලෙස හින්දූහු සලකති. එහෙයින් දෙමාපියෝ ස්වකීය දරුවන් වෙනුවෙන් රසකැවිලි වර්ග අකමැත්තෙන් වුවද සාදති. මෙසේ සාදනු ලබන රසකැවිලි එදිනට පමණක් නොව ඉදිරියට දින කිහිපයක් තබා ගැනීමට හැකියාවක් ඇති නිසා දරුවන් ඒවා භුක්ති විඳ බොහෝ කාලයක් මෙම කාලය මතකයේ රඳවා ගනියි. ලංකාවේ වෙසෙන දෙමළ වැසියන් විසින් රසකැවිලි සෑදීම ස්වකීය නිවෙස්වලදීම වර්තමානයේදීත් බහුලව සිදු කරනු දැකගත හැකි වුවද ඉන්දියාවේ හින්දූන් කෙරෙන් එය බොහෝ දුරට ගිලිහී ගොස් වෙළෙඳසැලකින් රසකැවිලි මිලදී ගෙන එම චාරිත්‍රයන් සිදු කරනු ද දැකගත හැකිය.

තමිල්නාඩුවේ ගොවියෙකු කුඹුරු කන්න දෙකක් ගොවිතැන් කරන අතර එය කුරුවයි (Kuruvai) හා සම්බා (Samba) නමින් හැඳින්වේ. මෙයින් පළමු කන්නයේ අස්වැන්න දීපාවලි සමයේදී නෙළා ගන්නා අතර දෙවෙනි කන්නයේ අස්වැන්න පොංගල් සමයේදී නෙළා ගනු ලබයි. මෙම අවස්ථා දෙකේදීම ස්වකීය පරිභෝජනයෙන් අනතුරුව අතිරික්තය විකුණා ලැබෙන මුදලින් උත්සව දෙකටම අදාළ වියදම් සතුටින් සපුරා ගැනීමට හැකියාවක් ඇත.

දකුණු ඉන්දියාවේ දීපවාලි උත්සවය එක් දිනක් සමරනු ලබන නමුත් උතුරු ඉන්දියාවේ විශේෂයෙන් මහාරාෂ්ට්‍රයේ බොහෝ ප්‍රදේශයන්හි දින පහක් පමණ සමරනු දැකිය හැකිය.

පළමුවෙනි දිනය

විශේෂයෙන් මහාරාෂ්ට්‍රයේ දිවාලි උත්සවය සනිටුහන් කරමින් ඇරඹෙන පළමු දිනය වසුබරස් හෝ ගොවත්ස ද්වාදෂි (Vasubaras of Govatsa Dwadashi) නමින් හැඳින්වෙයි. මෙදින සවස් වරුවෙහි එළදෙනකුට සහ වසු පැටියෙකුට තිරිඟුවලින් සාදන ලද ප්‍රණීත ආහාර පූජා කිරීමෙන් වන්දනාමාන කරනු දැකිය හැකිය.

දෙවෙනි දිනය

ඉන්දියාවේ බොහෝ ප්‍රදේශයන්හි දීපවාලි උත්සවය ඇරඹෙන්නේ දන්තේරස් (Dhanteras) සමගය. මෙම දවස සුබදායක යැයි විශ්වාස කරන නිසා මිනිසුන් රන්, රිදී හෝ ලෝහ භාජන මිලදී ගනියි. මෙසේ නව මිලදී ගැනීම් කෙනෙකුගේ නිවසට සමෘද්ධිය ගෙනෙන බව ඔවුන්ගේ විශ්වාසයයි.

තෙවෙනි දිනය

ජනප්‍රවාදයනට අනුව ක්‍රිෂ්ණා නරකාසුර නම් යක්ෂයා මරා දැමූ දිනය නරක් චාතුර්දශී (Narak Chaturdashi) නම් වෙයි. අලුයම් කාලයෙහි චාරිත්‍රානුකූල ස්නානයකින් දවස ආරම්භ කෙරෙන අතර පසුව තවත් චාරිත්‍ර කිහිපයක් සිදු කෙරේ. නරකාසුර මරා දැමීමේ සංකේතයක් ලෙස කරීට් (Kareet) (කටුක බෙරි වර්ගයක්) (a bitter berry) පාදයට පොඩි කරනු ලැබේ.

සිව්වෙනි දිනය

ධනයට අධිපති දේවතාවිය වන ලක්‍ෂ්මී දේවිය මෙදින සවස් කාලයෙහි මහත් උත්කර්ෂවත් අයුරින් වන්දනාමාන කෙරේ. කාර්තික් මාසයේ නව සඳ දිනය ලක්‍ෂ්මී පූජා (Lakshmi Puja) දිනය නම් වේ. සැම නිවසකම, සාප්පුවකම, කර්මාන්ත ශාලාවකම සහ ව්‍යාපාරික ස්ථානයකම ලක්ෂ්මී දේවිය වන්දනාමාන කෙරේ. මෙදින ගිණුම් පොත් සහ සේප්පු වන්දනාමාන කෙරෙන අතර ලක්ෂ්මි දේවිය සතුටු කිරීම සඳහා නිවෙස් අලංකරණයද සිදු කරනු ලබයි. ලක්ෂ්මියට ගෞරවයක් වශයෙන් නිවෙස්වල වැඩිහිටි කාන්තාවෝ උපවාස කරති.

පස්වෙනි දිනය

ජනප්‍රවාදයනට අනුව, බලිප්‍රතිපාදය (Balipatiprada) යනු විෂ්ණුගේ පස්වෙනි අවතාරය වන වාමන, බලි යක්ෂ රජු තම පාදයෙන් පාතාලය වෙත තල්ලු කිරීමෙන් ලැබූ ජයග්‍රහණය සිහිපත් කරන දිනයයි. එසේ කරන අතරතුර විෂ්ණු ඔහුට අඳුරු පාතාලය ආලෝකවත් කිරීමට දැනුමේ පහන ලබා දුන් බව ඔවුන්ගේ විශ්වාසයයි.

ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි මෙම සැමරීම් සම්බන්ධයෙන් යම් යම් වෙනස්කම් දැකගත හැකිය. ඒ අනුව මහාරාෂ්ට්‍රයෙහි ඇතම් ප්‍රදේශයන්හි මෙම උත්සවය සමරනු ලබන දින පහ ධනත්‍රයෝදසි, (Dhanatrayodashi) නරක්චාතුර්දශී (Narak Chaturdarshi) ලක්‍ෂ්මී පූජා (Laxmi Pujan) දිවාලි චා පද්ව හෝ බලිප්‍රතිපාද (Diwali cha padva or Balipratipada) භාඋබිජ්/ භාවුබිජ් (Bhaubeej/ Bhav – Bij) යනුවෙන්ද සඳහන්ව තිබෙනු දැකගත හැකිය.

දීපාවලි පිළිබඳ ජනප්‍රවාද නපුර පරදා යහපත උදාවෙයි.

භූමාදේවියටත් මහාවිෂ්ණුටත් දාව උපන් පුත්‍රයෙකු වූ නරකාසුර ඉතා බලවත් රජෙකු විය. ඔහු අනුගමනය කළ යහපත් ක්‍රියා පිළිවෙත් නිසාම ඔහුට වරයක් ලැබිණි. එම වරය හේතුවෙන් ඔහුගේ මවට හැර ඔහුව කිසිවෙකුට මරා දැමිය නොහැකි විය. මෙම වරය හේතුකොටගෙන නරකාසුර දෙවිවරුන්ට සහ ජනතාවට බොහෝ කරදර පීඩාවන් සිදු කළේය. මොහුගේ මෙම කුරිරුකම් ඉවසාගත නොහැකි වූ තැන ජනතාව ක්‍රිෂ්ණ පරමාත්මාව වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කළහ.

ක්‍රිෂ්ණ, නරකාසුරයන් සතුව ඇති බලයත් දැන ගෙනම නරකාසුරව විනාශ කිරීමට යුද්ධයක් ආරම්භ කළේය. ඒ අනුව ක්‍රිෂ්ණ තම බිරිඳ වන සත්‍යභාමාව, භූමාදේවියගේ තවත් අවතාරයක් ලෙස යුද්ධයට රැගෙන ගියේය. යුද්ධය අතරතුර මෝහනය වූවාක් මෙන් බිම ඇද වැටුණු ක්‍රිෂ්ණව දුටු සත්‍යභාමා, කෝපයට පත්ව තමාම දුන්න රැගෙන නරකාසුරට එරෙහිව සටන් කළාය.

මෙහිදී ඇය විසින් විඳින ලද ඊතල මගින් නරකාසුර මරණයට පත් විය. මෙම මොහොතේදී ඔහු විසින් ඉල්ලා සිටියේ, තමා මියගිය දිනය ජනතාව විසින් සතුටින් සැමරිය යුතු බවයි. එහෙයින් මෙම නරකාසුරගේ කතාව (නරකාසුරන් කදෛ/ නරකාසුර වදම්) පදනම්ව මෙම උත්සවය සමරනු ලැබේ.

ඒ අනුව නපුර පරාජය කොට යහපත ජයග්‍රහණය කිරීමේ සංකේතයක් ලෙස මෙම දිනය ජනතාව විසින් උදෑසන තෙල් ගල්වා ස්නානය කරමින්, අලුත් ඇඳුම් ඇඳ, පහන් දල්වා මිහිරි ආහාරපානාදිය බෙදා ගනිමින් ගිනි කෙළි පුපුරවමින් සමරනු ලබත්.

දකුණු ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුව, ආන්ද්‍ර ප්‍රදේශය හා කර්ණාටක ප්‍රදේශයන්හි දීපාවලි උත්සවය නරකාසුර පරාජය හා බැඳුණු කතාව සමග බැඳේ.

රාම සීතාව බේරාගෙන අයෝධ්‍යාවට පැමිණෙයි.

රාමායණ කතා ප්‍රවෘත්තියට අනුව රාම 14වසරක වනවාසය අවසන් කොට, රාවණාව මරණයට පත් කොට, ස්වකීය බිරිඳ වන සීතාව බේරාගෙන ලක්ෂ්මණ හා හනුමාන්ද කැටුව අයෝධ්‍යාවට නැවත පැමිණි දිනය ජනතාව මහත් ඉහළින් සැමරූහ. අයෝධ්‍යාවේ ජනතාව රාමව පිළිගැනීමට ඔවුනොවුන්ගේ නිවෙස්වල තිබුණු මැටි ලාම්පු පේළි ගසා තැබූහ. මෙසේ දක්නට ලැබුණු ලාම්පු පේළි, පසුව පහන් පේළි යන අර්ථය ඇතිව දීපූ ආවලී – දීපාවලී ලෙස සමරනු ලබන බවද කියැවෙයි.

ජෛන සාහිත්‍යයට අනුව ජෛන මහාවීරයන් ගිහිගෙය අතහැර ගිය දිනය දීපාවලි ලෙස හැඳින්වෙයි.

පාතාලයෙන් මනුලොවට

දීපාවලිහි උප්පත්තිය සනිටුහන් කරන තවත් කතා ප්‍රවෘත්තියක් මහාභාරතයෙන් හමුවෙයි. මහාබලි චක්‍රවර්ති රජු වනාහි මහාභාරතයේ සිට තුන් ලෝකයම (දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම) ස්වකීය අණසකට යටත් කරගෙන පාලනය කළ අයෙකි. එහෙයින් කිසි කෙනෙකුට එයට විරුද්ධ වන්නට පිටුපාන්නට අවස්ථාවක් නොවීය.

මේ හේතුව නිසාම මහාවිෂ්ණු දෙවියන්ට පවා අඩියක්වත් තබන්නට නොහැකි වන සේ මේ ලෝකත්‍රයම යටත් කරගෙන සිටියේය. එහෙයින් මහාවිෂ්ණු දෙවියෝ අඩියක් තැබීමට පොඩි ඉඩකඩක ප්‍රමාණයක් මහාබලි චක්‍රවර්තිගෙන් ඉල්ලුවේය. මෙම ඉල්ලීමට අනුව මහාබලි චක්‍රවර්ති රජු විෂ්ණු දෙවියන්ට අඩි දෙකක් තබන්නට ඉඩ ලබා දුන්නේය. ඒ අනුව මහාවිෂ්ණු දෙවියෝ අඩි දෙකක් තබා තුන් ලෝකය අඩි දෙකට හකුළුවා ගනිමින් තෙවෙනි අඩිය මහාබලි චක්‍රවර්තිගේ හිස මත තබා මහාබලි චක්‍රවර්තිව යටත් කර ගත්තේය. ඉන් අනතුරුව චක්‍රවර්ති පාතාල ලෝකයට යැව්වේය. පසුව මහාබලි චක්‍රවර්ති රජු, මහාවිෂ්ණු දෙවියන්ගෙන් වර්ෂයකට එක්වරක් මනුලොවට පැමිණීමට අවසර පැතුවේය. එකී අවසරය මත මහාබලි චක්‍රවර්ති මනුලොවට පැමිණෙන දිනය දීපාවලි ලෙස හින්දු බැතිමත්හු විශ්වාස කරති.

දීපාවලි උත්සවයෙහි චමත්කාරය

හින්දී ගීත සාහිත්‍යය තුළ දීපාවලි උත්සවයෙහි අසිරිය අපූරුවට දැක ගත හැකිය. ඒ අතර රාජීව් රානා පද සංකලනයෙන් කල්යාන් බරුවා සංගීතයෙන් හා ශාන් සුගායනයෙන් ගැයෙන මෙම ගීයෙන් දීපවාලියෙහි චමත්කාරය කියාපායි.

‘..හෑ ගුලාබී-ගුලාබී මෝසම්, ධඩ්කන් භී තෝ හෑ රෝශන්
හර් දිල් මේං ජග්මග් හෝතී හෑ
ඛුශියාං බාංට් ලෝ හර් පල්, හෝ හර් ජීවන් උජ්ජ්වල්
ජ්යෝති සේ ජල්තී ජ්යෝති හෑ
මුස්කානෝං කී මිඨාඉයාං, හංස්තී හවාඉයාං
දේඛෝ, ජහාං භී අප්නා ලගේ
අබ් තෝ මිටාඒ නෆ්රතේං, රහේං මොහොබ්බතේං
කේ රාම් කී බ්ලෙසින්ග් සේ

(…සමය රෝස පැහැයෙන් යුක්තයි, හද ගැස්මද දීප්තිමත්ය. සැම හදවතක්ම සතුටින් දිදුලනවා. සතුට බෙදා ගන්න. සැම මොහොතකම සැම ජීවිතයක්ම දීප්තිමත් වේවා. ආලෝකයෙන් ආලෝකය දැල්වෙයි. ඔබට සමීපව දැනෙන ඕනෑම තැනක බලන්න. සිනහවේ මිහිරි බව, සතුටු සුළං. දැන් අපි වෛරය මකා දමමු, ආදරය දිගටම පවතීවා. රාම් දෙවියන්ගේ ආශීර්වාදයෙන්…)

එසේම දෙමළ සාහිත්‍යයයෙන්ද දීපාවලියෙහි චමත්කාර වර්ණනය දැක ගත හැකිය. ඒ අතර වාසුදේවන් තේසිකාච්චාරි වාසවන් විසින් රචිත පහත සඳහන් කවිය දීපාවලියෙහි අසිරිය මොනවට කියාපායි.

අළුක්කාරු අවා වෙහුදි ඉන්නාච්චොල්
එන්රිවෛ එල්ලාම් වේණ්ඩා අහන්දෛ.
නම් මැනදිල් සේර්ක්කුම් ඉරුනාලාහුම්
ඉරුළිල් මූළ්හිය මැනදෛ ඉරුළින්
පිඩියිලිරුන්දු මීට්ක දීපඔළි’.. දීපාවලි
ඉරවින් ඉරුලෛ පෝක්කුම් ඉරවියෛප් පෝල
මැනදින් ඉරුලෛ පෝක්කුම් කණ්ණනින් කීදෛ
අහන්දෛයින් ඉරුළිල් තන්නෛ මරන්දු
කණ්ණනෛයේ එදිර්ත්ත නරකාසුරනෛ මාය්ත්තාන් කණ්ණපිරාන්
ඉන්ද අහන්දෛප් පිණික්කු ඉරුළුක්කු අරුමරුන්දු ගීදෛ ඔන්රේ
අදුවේ ඔළි සේර්ක්කුම් එන්රුම් අරින්දිඩුවෝමේ

(කිලිටි, ආශාව, කෝපය, නපුරු වචන යන මේ සියල්ල අවශ්‍ය නැති ආත්මාභිමානයකි. අප සිත් තුළ එකතු වන්නේ අන්ධකාරයකි; අන්ධකාරයේ ගිලුණු සිත් අන්ධකාරයේ ග්‍රහණයෙන් මුදවන්නකි දීපවාලි. දීපවාලි, රාත්‍රි කාලයේ අන්ධකාරය දුරලන සූර්යයා මෙන් හදවතේ අන්ධකාරය දුරලන ක්‍රිෂ්ණගේ ගීතය ආත්මාභිමානයේ අන්ධකාරයේ තමා අමතක කර ක්‍රිෂ්ණටම එරෙහි වූ නරකාසුරයා විනාශ කළේ ක්‍රිෂ්ණ පිරාන් මේ ආත්මාභිමානයේ බන්ධනයට, අන්ධකාරයට එකම ඖෂධය (භගවත්) ගීතය පමණි එයම සැමවිට ආලෝකය එක්කරන බව අපි දැනගනිමු!)

දීපාවලි උත්සවය, පවුලේ නෑදෑ හිතමිත්‍රයන් සේම අසල්වැසියන් අතර සතුට, සමගිය හා සමාදානය අන්‍යොන්‍ය වශයෙන් ශක්තිමත් කිරීමට කදිම අවස්ථාවකි. නිවෙස් හා නිවෙස් අවට ශුද්ධ පවිත්‍ර කිරීම, තෑගි බෝග හුවමාරු කරගැනීම හා එකිනෙකාට සුබපැතීම් එක්කිරීම මගින් සමාජ බැඳීම් ශක්තිමත් වේ. හින්දු සංස්කෘතිය තුළ මුල් බැසගෙන ඇති මෙම උත්සවය සාම්ප්‍රදායික සිරිත් විරිත් හා සාරධර්මයන් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කෙරෙමින් වර්තමානය දක්වාම පවත්වාගෙන එනු ලබයි. එය සංස්කෘතිත දායාදයක් වශයෙන් වර්තමානය දක්වාම පවත්වාගෙන ඒම මෙහිදී අගය කළ යුතුමය.

● උඩගලදෙණියේ ධම්මවිමල භික්‍ඛු
ඉන්දියා – භාරතියාර් විශ්වවිද්‍යාලයේදීය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here