ආකර්ෂණීය තොල් සඟලක හිමිකාරියක් වන්න

0
16


සෑම කාන්තාවක් ම පැහැපත් සහ ආකර්ෂණීය තොල් සඟලක් තමන්ට අත්පත්කරගන්න කැමතියි. උපතින් ම පැහැපත් තොල් හිමි වන අයට මේ සම්බන්ධ ගැටළුවක් මතු නොවුණත්, පැහැයෙන් අඳුරු ස්වභාවයක් ගන්නා තොල් සඟලක් හෝ ස්වභාවයෙන් වියළිබවක් උසුලන තොල් සඟලක් හිමි යුවතියන්ට තමන්ගේ රූ සපුව අලංකාර ලෙස පවත්වාගැනීමේ දී තොල් සඟලේ සුන්දරත්වය වැඩි දියුණු කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් වනවා. තොල් ආලේපන දිගින් දිගට භාවිත කිරීම, පමණ ඉක්මවා කැෆේන් අඩංගු දියර පානය කිරීම, පාරජම්බුල කිරණවලට නිරන්තරයෙන් දෙතොල් නිරාවරණය වන්නට හැරීම, හෝමෝන අසමතුලිතතා, වයස්ගතවීම, ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකිරීම වැනි හේතු නිසා තොල් සඟලේ වියලිබව හෝ අඳුරුපැහැය ඇතිවිය හැකියි.

මේ කිසිම හේතුවක් නොමැතිව යම් ආසාත්මිකතාවක් නිසා හෝ ජානමය කරුණක් හේතුවෙන් තොල් සඟලට අඳුරු පැහැයක් එක්වන්නටත් ඉඩ තිබෙනවා. ඔබේ දෙතොල්වල අඳුරු ස්වභාවයට හේතුවන්නට ඉඩ ඇති කවර කරුණක් වුවත් තවදුරටත් ඔබේ දෙතොල් එවැනි අඳුරු පැහැයකින් පවත්වාගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

ආකර්ෂණීය තොල් සඟලක් අපේක්ෂා කරන සියලු යුවතියන්ට ඉතා පහසුවෙන්, නිවසේදීම කළ හැකි ස්වභාවික ප්‍රතිකාර කිහිපයක් මෙන්න.

බටර්  හැඳි දෙකක් සමග සීනි කුඩු  හැඳි තුනක්  මිශ්‍ර කර ඝන පාප්ප ලෙස සකස්  කරන්න. ඔබගේ තොල් පුරා මෙම මිශ්‍රණය ආලේප කර ඇගිලි තුඩුවලින් රවුමට සැහැල්ලු ලෙස විනාඩියක් පමණ කරකවන්න . එහිදී ඔබේ දෙතොල්වල සමේ මැරුණු සෛල ඉවත්වී නව ජීවයක්, ආකර්ෂණයක් සහ පැහැයක් ඔබේ දෙතොල්වලට ලබාගැනීමට හැකියි. අඩු තරමින් සතියකට දින දෙකක් හෝ තුනක් පමණ මෙම ස්වභාවික ප්‍රතිකාරය සිදුකරන්න.

දියර කිරි තේහැන්දකට කහ කුඩු තේහැන්දක් මිශ්‍ර කර ඝන පාප්ප ලෙස සකස්  කරන්න. ඔබගේ තොල් පුරා මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 2කට පසු ඔබගේ දත් බුරුසුවෙන් මෘදු ලෙස එම  මිශ්‍රණය තිබියදීම රවුමට සැහැල්ලු ලෙස විනාඩියක් පමණ කරකවන්න. පසුව සෝදා හරින්න . එහිදී සමේ මැරුණු සෛල ඉවත්වී සුන්දර දෙතොලක් ලබා ගැනීමට හැකියි. ප්‍රමිතියෙන් උසස් ඔබේ දෙතොල්වලට හිතකර ලිප් බාම් එකක් භාවිත කරන්න. සතියකට දින දෙකක් හෝ තුනක් මෙම ක්‍රමය අත්හදා බලන්න.

අඳුරු තොල් සැහැල්ලු කළ හැකි තවත් ඵලදායී ස්වාභාවික ප්‍රතිකාරකයක් ලෙස ලෙමන් යුෂ හඳුන්වාදිය හැකියි.  ලෙමන් වල ඇති ස්වභාවික විරංජන ගුණය නිසා එමඟින් ඔබේ තොල් වල  මතුවන  පැල්ලම් ඉතා සියුම් ව ඉවත් කළ හැකියි. ලෙමන් යුෂ ඔබේ තොල් වල මැරුණු සම කර ඔබේ තොල් මත සම නව ස්තරයක්  දක්වා ගෙන එනවා.  නැවුම් ලෙමන් යුෂ තවරා  ඔබේ තොල් මත ඇගිලි තුඩුවලින් සියුම් ව  සම්බාහනය කරන්න. දීප්තිමත් ආකර්ෂණීය තොල් ලබා ගැනීම සදහා  නින්දට පෙර සෑම රාත්‍රියකම ඔබට මෙය  නිවසේ දී සිදුකළ හැකියි.

මී පැණි කියන්නේ තවත් ස්වභාවික විදියට ගෙදරදීම අදුරු තොල් වලට එළියක්  වගේම සුමුදු බවක් ගෙනදෙන්න පුළුවන් ඖෂධීය ගුණයක් තියෙන දෙයක්. සැම රාත්‍රියකම මී පැණි ඔබගේ තොල් මත අලේප කර එලි වෙනකම් රාත්‍රිය පුරාවට තිබෙන්න හරින්න. මෙය සැම රාත්‍රියකම කිරීමෙන් අඳුරු තොල් වලට එළියක් වගේම සුමුදු බවක් ලබාදෙන බව නිසැකයි.

සැම රාත්‍රියකම ඔලිව්තෙල්  ඔබගේ තොල් මත අලේප කර, උදෑසන වන තුරු එය රාත්‍රිය පුරාවට තිබෙන්න හරින්න. මෙය සැම රාත්‍රියකම කිරීමෙන් අඳුරු තොල් වලට එළියක්  වගේම  සුමුදු බවක් ගෙනදෙන්නට සමත් වනවා..

– නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here