“නා දළු දෙතොල් හසරැළී මත වෙලී
ආ ගිය ගමන් සිහිව එයි යළි යළි”
කියල ප්‍රියා සූරියසේන මහත්මය ගායනා කරන “රටකින් එහා ඉගිළී” ගීතය ඔබට මතක ඇතිනෙ.
ලස්සන කියන්නෙ එකිනෙකාට සාපේක්ෂ දෙයක් වුනත් ලස්සනට ඉන්න කැමති කාන්තා අපි බොහෝදෙනෙක් අවධානය යොමුකරන ශරීර අංගයක් තමයි දෙතොල් කියන්නෙ.
සුන්දර දෙතොලකට පුළුවන් ඔබට ආකර්ෂණීය පෙනුමක් ගෙනල්ල දෙන්න වගේම ඔබේ සිනහවට වැඩි අලංකාරයක් එක් කරන්නත්.
ඒත් ඔබට තිබෙන්නෙ අඳුරු, වියලුණු හෝ පැළුණු දෙතොලක් නම් බොහෝවිට ඒ ගැන ඔබ තැව්ලෙන් ඉන්නව වෙන්න පුළුවන්.
ඔන්න එහෙනම් අපි අද සූදානම් වෙන්නෙ ඔබේ දෙතොල් වල අඳුරු පෙනුම ඉවත්කරල වියලුණු සහ පැළුණු දෙතොල් සුවපත් කරන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් බොහොම සරල ක්‍රම ටිකක් කියල දෙන්නයි.
නමුත් මුලින්ම අපි බලමු ඔබේ දෙතොල් වලට මෙහෙම අඳුරු පෙනුමක් ලැබෙන්න සහ දෙතොල් වියළී, පැළුණු ස්වභාවයක් ගන්න හේතු මොනවද කියල.
දැන් අපි බලමු මේ ගැටළු වලින් අපේ දෙතොල් ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් සරල පියවර මොනවද කියල.
දෙතොල් වලට ආලේප කරන තොල් ආලේපන සහ බාම් වර්ග (lipstick / lip balm) වගේම මුහුණට සහ සමට ආලේප කරන අනෙකුත් සියළුම රූපලාවන්‍ය නිෂ්පාදන සහ ආලේපන වර්ග මිලදී ගනිද්දී එහි ප්‍රමිතිය පිළිබඳ සැළකිලිමත්වීම නම් අනිවාර්‍යයි.
ඒ වගේම ආසාත්මිකතා පරීක්ෂණයකින් අනතුරුව මේ ආලේපන ගල්වන්නත් අමතක කරන්න එපා.
සමහර නිෂ්පාදන සමේ ආලේප කළ පසු දැවීම, පිළිස්සීම සහ හිරි වැටීම සිදුවෙද්දී සමහරු හිතනව ඒ නිෂ්පාදන ක්‍රියාත්මක වන සාමාන්‍ය ආකාරය එය බව. නමුත් තොල් ආලේපන වලට නම් එය අදාල වෙන්නෙ නෑ.
එහෙම තත්වයන් අත්විඳින්න ලැබුනොත් වහාම එම ආලේපන භාවිතය නතර කරල වෛද්‍ය උපදෙස් ගන්න කියල අපි ඔබට මතක් කරනව.
ඔබට දැනටමත් වියලුණු සහ පැළුණු දෙතොල් ඇත්නම්, විවිධ රස විවිධ සුවඳ ඇති ආලේපන වර්ග වගේම මෙන්තෝල්, පීනෝල් සහ සැලිසිලික් අම්ල අඩංගු ආලේපන වලින් ඈත්වීමත් මිනරල් ඔයිල්, පෙට්‍රෝලියම් ඔයිල්, ෂියා බටර්, ටයිටේනියම් ඔක්සයිඩ් සහ පෙට්‍රෝලියම් ජෙලි අඩංගු ආලේපන වර්ග තෝරා ගැනීමත් වඩා ආරක්ෂාකාරී වෙනවා.
දෙතොල් වලට lip moisturizer හෝ lip balm ආලේප කිරීම හොඳ පුරුද්දක්. දිනකට අවම වශයෙන් තුන්වරක් සහ නින්දට පෙර මේ ආලේපන වර්ග ගැල්වීමෙන් දෙතොල් වල වියළි පෙනුම ඉවත්වීම සම ගැළවී යාම අවම කරනවා.
ඒ වගේම හිරු එළියට නිරාවරණය වන විට SPF අගය 30 හෝ ඊට වැඩි අගයක පවතින හිරු ආවරණයක් ගැල්වීමෙන් හිරු එළිය නිසා දෙතොල් වලට ඇතිවෙන හානිය අවම කරගන්නත් පුළුවන්.
සම වියළීමත් දෙතොල් වලට සෘජුමවම බලපානවා.
වියළි දෙතොල් ඉක්මණින් පැළුණු ස්වභාවයට පත්වෙනවා. ඒ නිසා ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීම අනිවාර්‍යයි.
නිතරම ඇඟිලි වලින් තොල් අල්ලන්න, වියළි තොල් වල සම ගලවා ඉවත් කරන්න, තොල් හපන්න යෑමෙන් ඔබේ තොල් තවත් අඳුරු පැහැ වෙනව වගේම තවත් පැළුණු ස්වභාවයට පත් වෙන්න හේතු වෙනව.
ඒ වගේම තොල් වල තුවාල සහ ලේ ගැලීම් ඇතිවෙලා විශබීජ මඟින් තුවාල ආසාදනය වෙලා ප්‍රතිකාර ගත යුතු තත්වයට පත්වෙන්නත් පුළුවන්.
ඒ නිසා තොල් වලට පාඩුවෙ ඉන්න දෙන්න. තොල් ස්පර්ශ කිරීමෙන් හැකි තරම් වැළකී සිටීමත් අනිවාර්‍යයි.
කඩදාසි ක්ලිප්, ආභරණ, හැඳි වගේ යකඩ ආලේපිත සහ යකඩ වලින් නිර්මාණය කරන ලද ද්‍රව්‍ය තොල් වල ස්පර්ශ වීමෙන් දැනටමත් වියළී, පැළුණු ස්වභාවයට පත්වී ඇති තොල් වල ආසාත්මිකතා ඇතිකරන්න හේතු වෙනවා.
ඒ නිසා එවැනි ලෝහ ද්‍රව්‍ය වල ස්පර්ශ වීමට නොදී ඔබේ දෙතොල් ආරක්ෂා කරගන්න ඔබ සැළකිලිමත් වෙන්නම ඕන.
දුම්බීමෙන් වැළකීම හෝ හැකිතරම් අවම කිරීම සහ නිවැරදි ලෙස දත්, විදුරුමස් සහ දිව පිරිසිදු කර යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමත් ඉතාම වැදගත්.
ලෙමන් යුෂ ආලේප කර විනාඩි 10 ක් 15 ක් පමණ තබා සෝදා හැරීම අඳුරු පැහැ දෙතොල් වලට හොඳ සත්කාරයක්.
සීනි සහ මී පැණි එක සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍රකර දෙතොල් සම්බාහනය කර සෝදා හැරීමෙන් දෙතොල් වල මැරුණු සම ඉවත් කර ප්‍රාණවත් සහ දීප්තිමත් පෙනුමක් දෙතොල් වලට ලබාදෙන්න උපකාරී වෙනවා.
බීට් රූට් යුෂ ආලේප කර විනාඩි 10 ක් 15 ක් පමණ තබා සෝදා හැරීමෙන් ස්වභාවික රෝස පැහැයක් ඔබේ දෙතොල් වලට ලැබෙනවා.
තොල් වියළීම අවම කර හොඳ පෝෂණයක් ලබාදෙන්නත් අලුත් සෛල වර්ධනය කරන්නත් පොල්තෙල් වලට පුළුවන්. පොල්තෙල් ආලේප කර දෙතොල් හොඳින් සම්බාහනය කර සෝදා හරින්න ඔබට පුළුවන්.
අඳුරු දෙතොල් දීප්තිමත් කරන්න පිපිඤ්ඤ පෙති කීපයක් හෝ පිපිඤ්ඤ යුෂ දෙතොල් වල විනාඩි 15 ක් 20 ක් පමණ තබා සෝදා හැරීම උපකාරී වෙනවා.
මේ සත්කාර සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පසුවත් ඔබේ දෙතොල් වියළී ඇත්නම්, තුවාල වී ලේ ගලනව නම්, බිබිළි ඇතිවෙනව නම්, තොල් අවට මුහුණේ සම වියළී සම ගැළවෙන තත්වයට පත්වෙලා නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගැනීම අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.
Saru FM Media