පීසීට ඇප – ගල්කිස්ස අධිකරණ භූමියේ සිද්ධිය

0
2

නඩුව සමථ මණ්ඩලයට
පහර දුන් බවට කිසිම සාක්ෂියක් නෑ
උසාවියේ සීසීටීවී දර්ශන දෙන්න
පොලිසිය ඉල්ලයි
උසාවි පරිශ්‍රයේ සීසීටීවී අක්‍රීයයි
මහෙස්ත්‍රාත් දැනුම් දෙයි

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී නීතිඥවරයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා ඊයේ (13දා) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙසේ ඇප මත මුදාහරිනු ලැබුවේ ගල්කිස්ස මූලස්ථාන පොලිසියට අනුයුක්තව ගල්කිස්ස අධිකරණයේ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නමැත්තෙකි. එමෙන්ම මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකර නොවැම්බර් 17 වැනිදා වාර්තාවක් ලබාදෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකාර කොස්තාපල්වරයා අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළ විමර්ශනයක් සිදුකළ බව පොලිසිය කියා සිටියේය. සැකකරුවන් අධිකරණයට රැගෙන පැමිණි බස් රථයේ රියැදුරුගෙන් ද අධිකරණ භූමියේ සිටි නඩු මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගෙන් ද හිමිනමක ගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බවත් එම කිසිදු ප්‍රකාශයකින් නීතිඥවරයාට පහරදීමක් සිදුවූ බවට ප්‍රකාශ වී නැති බවත් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා අධිකරණය හමුවේ පැවසීය. මෙම පරීක්ෂණ තවදුරටත් කරගෙන යෑම සඳහා අධිකරණය තුළ පවතින සීසීටීවී කැමරාවල දර්ශන තැටියක් ලබාදෙන ලෙසත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටියේය. තවද පැමිණිල්ල සමථ මූල මණ්ඩලයට යොමුකර වාර්තාවක් කැඳවන ලෙස ද සැකකාර කොස්තාපල්වරයා සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

මෙහිදී පැමිණිලිකාර නීතිඥවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් පෙනී සිටි නීතිඥවරයෙක්, නීතිඥවරයාට පහරදීමෙන් පසු සැකකාර පොලිස් කොස්තාපල්වරයා “මම වාහනය ගන්න කිව්වා මට අනං මනං කිව්වා, මම දෙකක් දුන්නා’ යනුවෙන් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවත් එම වීඩියෝ දර්ශන මහෙස්ත්‍රාත්වරයා වෙත ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් මගින් පෙන්වීමට ද කටයුතු කළේය. ‘මෙය සාක්ෂියක් නොවේ නම් කුමක් දැයි’ එම නීතිඥවරයා එහිදී ප්‍රශ්න කළේය.

මෙම වීඩියෝ පටය AI තාක්ෂණයෙන් සංස්කරණය කරන ලද එකක් වියහැකි බවත් එය රජයේ රසපරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසත් මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය අවාසනාවන්ත සිදුවීමක් බව කියා සිටියේය. මෙය දණ්ඩ නීති සංග්‍රහයේ 314 සහ 316 වගන්තිවලට අනුව බැලූවිට සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඇප මත මුදාහැර සමථ මණ්ඩලයට යොමුකර වාර්තාවක් ලබාගත හැකි බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මෙම සිද්ධිය අධිකරණයට සම්බන්ධ නීතිඥයන් සහ පොලිසිය අතර ඇති වූ තත්ත්වයක් බවත් එම අවස්ථාවේ ඇති වූ තත්ත්වය මත කොස්තාපල්වරයා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සිදුව ඇති බවද හෙතෙම කීය.

මෙම පොලිස් කොස්තාපල්වරයා වසර 06ක සේවා කාලයක් ඇති මීට පෙර කිසිදු අධිකරණයකින් මෙවැනි චෝදනාවක් එල්ල වී නැති අයකු බවත් අධිකරණය හමුවේ කියා සිටි කමල් සිල්වා මහතා ඔහුට ඇප ලබාදීමෙන් අධිකරණය මගහැර යෑමක් සිදු නොවන බවද පැවසීය. නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ප්‍රේමලාල් රණගල මහතා පොලිස් කොස්තාපල්වරයාට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව කීය.

දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකාර පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස නියෝග කළේය.

අධිකරණ පරිශ්‍රයේ සීසීටීවී දර්ශන පටිගත වන කැමරා පද්ධතිය අක්‍රීයව පවතින බව පූර්වගාමී විනිසුරුවරිය දැනුම් දී තිබෙන බවද මහෙස්ත්‍රාත්වරයා උසාවියට දැනුම් දුන්නේය. නඩුව නැවත නොවැම්බර් 17 වැනිදා කැඳවන බවත් එදිනට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කරන ලදී.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here