පොලිසියේ සාක්ෂි පරස්පරයි: හෙරොයින් නඩුවේ විත්තිකරු නිදහස්

0
2

පරස්පර සාක්ෂි දුන් පොලිසියේ දෙදෙනා ගැන පරීක්ෂණයක් කරන්නැයි නියෝග

වැටලීමට සම්බන්ධවූ පොලිස් නිලධාරින් දෙදෙනකු එකිනෙකට පරස්පර ආකාරයෙන් සාක්ෂි ලබාදීම නිසා හෙරොයින් ග්‍රෑම් 5.531ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙක යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා නියෝග කළේය. එමෙන්ම පැමිණිල්ලට අගතියක් වන ලෙස පරස්පර සාක්ෂි ලබාදුන් පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් ද කළේය.

පැමිණිල්ලේ පළමු හා දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කොට තිබූ උප පොලිස් පරීක්ෂක ඉඳුනිල් හා පොලිස් සැරයන් සම්පත් නමැත්තන් දෙදෙනාගේ සාක්ෂි පමණක් ලබාගෙන පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පියවර ගත්තාය. සෙසු පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමකින් තොරවම නීතිපතිවරයා පැමිණිල්ලේ සාක්ෂි අවසන් කර ඇති බැවින් සිය සේවාදායකයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම නිදහස් කරන්නැයි ප්‍රසන්න මනුජිත් ජයසිරි නමැති එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසිත විපුලනායක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම අධිකරණය හමුවේ ඉදිරිපත්වූ පැමිණිල්ලේ සාක්ෂි දෙක අනුව විත්තියේ සාක්ෂි කැඳවා නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය අනුව විත්තිකරු චෝදනා දෙකෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

පෑලියගොඩ දිසා දූෂණ විමර්ශන ඒකකය විසින් 2020.05.28 වැනිදා දිප්පිටිගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 50.360 ක ප්‍රමාණයක් සමග එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර එහි හෙරොයින් ග්‍රෑම් 5.531 ක ප්‍රමාණයක් අඩංගු බව රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව අනාවරණය වූයෙන් එකී චෝදනා යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here