ඇමරිකානු ඩොලර් 187,000 ක මුදලක් අයථා ලෙස පරිහරණය කරන ලදැයි චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි පියල් නන්දන දිසානායක මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා ඊයේ (05) වරෙන්තුවක් නිකුත් කළේය.
ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු කරනු ලැබුවේ අධිකරණයේ අවසරය මත විදේශ ගතවී ඇති සැකකාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා නියමිත පරිදි අධිකරණය හමුවේ ඊයේ පෙනී නොසිටීම හේතුවෙනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අනවසර පිවිසීමකින් ඇමරිකාවේ බැංකුවක් වෙත බැරවී ඇති බවත්, එම මුදල් මේ වනවිට අත්හිටුවා තිබෙන බවත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයාගේ දායකත්වයට අදාළව කිසිදු කරුණක් අනාවරණය වී නොමැති හෙයින්ද, විමර්ශන අවසන් හෙයින්ද ඔහු නඩුවෙන් මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
2018 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනුකර තිබෙන මෙම නඩුවට අදාළව ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා නීතිපති උපදෙස් පතා ඇතැයි එම කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියහ.
අධිකරණයේ අවසරය මත සැකකරු විදේශගත වුවත්, නියමිත දිනට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බව අවධාරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් වරෙන්තුවක් නිකුත් කළේය.
මෙම නඩුව ලබන සැප්තැම්බර් 30 වැනිදා යළි කැඳවන ලෙසද නියම කළේය.
Saru News










