ගල්කිස්ස උසාවි භූමියේ සිද්ධිය: – නීතිඥවරයා අත්අඩංගුවට?

0
2

වරදක් කර ඇත්නම් නීතිය තදින්
පොලිස් නිලධාරියා වෙනුවෙන් පොලිසිය පෙනී සිටිනවා – පොලිස්පති
PC අද තෙක් රිමාන්ඩ්

ගල්කිස්ස අධිකරණ භූමියේදී පොලිස් නිලධාරියකුට බැණ තර්ජනය කර රාජකාරියට බාධාවන අයුරින් අශෝභන ආකාරයට හැසිරුණු බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් නීති කොට්ඨාසය සහ ගල්කිස්ස පොලිසිය ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (12 වැනිදා) කියා සිටියේය.

මෙම විමර්ශනයේදී නීතිඥවරයා වරදක් කර ඇති බව අනාවරණය වූවොත් තරාතිරම නොබලා ඔහුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

රාජකාරියට බාධාවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් මෙම නීතිඥවරයාට එරෙහිව මේ වනවිටත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවද වීරසූරිය මහතා පවසයි.

මෙම සිද්ධිය වන අවස්ථාවේ පටිගත වී ඇති වීඩියෝ දර්ශන උපයෝගී කරගෙන මෙම විමර්ශනය ක්‍රියාත්මක කර ඇති අතර මේ වනවිටත් සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අවස්ථාවේ පොලිස් නිලධාරියා වරදක් කර ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඒ මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයාගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා තමාට පහරදුන් බව කියමින් නීතිඥ ගුණරත්න වන්නිනායක එම නිලධාරියාට බැණ තර්ජනය කර රාජකාරියට බාධාවන අයුරින් අශෝභන ආකාරයට හැසිරුණේ ඉකුත් සිකුරාදා (10 වැනිදා) දහවල් කාලයේදී ය.

අධිකරණය වෙත රැගෙන ආ අපරාධකරුවන් නඩු විභාගවලින් අනතුරුව බන්ධනාගාර බස් රථයෙන් පිටතට රැගෙන යාමට සූදානම් වෙද්දී අධිකරණ ශාලාව ඉදිරිපිට ගේට්ටුවේදී නීතිඥවරයා රැගත් මෝටර් රථය නතර කර ඇත.

ඒ අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා නීතිඥවරයාට පවසා ඇත්තේ මෝටර් රථය හැකි ඉක්මනින් ඉවත් කරගන්නා ලෙසයි. ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියා සහ නීතිඥවරයා අතර වචන හුවමාරුවක් සිදුවී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති. මෙහිදී පොලිස් නිලධාරියා පහරදීමක් සිදු කළ බවට මෙතෙක් සාක්ෂි ලැබී නොමැති බව පොලිසිය පවසයි.

මීට මාස කීපයකට පෙර ගල්කිස්ස අධිකරණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී පාතාල වෙඩි තැබීමක් සිදුවී තිබිණි. මේ හේතුව නිසා අධිකරණය ඉදිරිපිටට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබිණි.

එවැනි අනාරක්ෂිත තත්ත්වයක් පවතින මෙම අධිකරණය ඉදිරිපිට පොලිස් නිලධාරීන් සිය රාජකාරිය අකුරට ඉෂ්ට කරමින් සිටින බවද පොලිසිය පවසයි.

කොළඹ අලුත්කඩේ අධිකරණශාලාව තුළදී නීතිඥ වෙස් ගත් පාතාල මැරයකු විසින් ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

මෙවැනි තත්ත්වයක් පවතිද්දී අධිකරණයට දැඩි ආරක්ෂාවක් ලබාදීම පොලිස්පතිගේ බරපතළ වගකීමක් බවත් ඊට නීතිඥවරුන්ගේ මෙන් ම සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බවත් උසස් පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

ගල්කිස්ස අධිකරණ ශාලාව ඉදිරිපිට ඇතිවූ සිද්ධිය පාදක කරගෙන පොලිස් නිලධාරියාට සාධාරණයක් විය යුතු බව කියමින් සමාජ ජාලා වෙබ්අඩවි ඔස්සේ මේ වනවිට පෝස්ට් දහස් ගණනක් සංසරණය වෙමින් පවතියි.

“උඹට සාධාරණයක් අත් කරදෙන තුරු අපි සටන අත්නොහරිමු” ගල්කිස්ස අධිකරණයට සඳුදා උදේ අපිත් එනවා. උඹට සාධාරණයක් ලබා ගන්න….” උඹ නිර්භීත පොලිස්කාරයෙක්” යනුවෙන් පොලිස් නිලධාරියා වෙනුවෙන් වූ පුවත් දහස් ගණනක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතියි.
හේමන්ත රන්දුණු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here