අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’ (Zen Beta) පරපුරට පක්ෂය සහ දේශපාලනය බාර දීමට කාලය පැමිණ තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (04) සිරිකොතේදී පැවැති ‘SMART UNP’ ඩිජිටල් වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අතීත නායකයින් විවිධ පරම්පරා සඳහා රට සූදානම් කළ බව පැවසූ වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසුවේ හිටපු අග්‍රාමත්‍ය ඩී.එස්. සේනානායක ‘බේබි බූමර්ස්’ (Baby Boomers) පරපුරටත්, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ‘මිලේනියල්’ (Millennial) පරපුරටත් රට සූදානම් කළ බවයි.

ඒ අනුව තමාගේ වගකීම වන්නේ පක්ෂය නවීන තාක්ෂණය සමග ඉදිරියට ගෙන යා හැකි තරුණ පිරිසට භාර දීම බව හෙතෙම කියා සිටියෙය්.

ස්මාර්ට් දේශපාලනය (Smart Politics) වැළඳගත හැකි නව පරපුරේ නායකත්වයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙමින් සිටින බවයි එහිදී ඔහු කියාසිටියේ. ප

අනාගත දේශපාලනය සඳහා ‘වර්චුවල් රියැලිටි’ (Virtual Reality) වැනි නවීන තාක්ෂණයන් වැලඳගත යුතු බවත්, ඒ සඳහා පක්ෂය තුළ ‘ඩිජිටල් පරිපාලක’ (Digital Administrator) සහ ‘ඩිජිටල් සංවිධායක’ (Digital Organizers) වැනි නව තනතුරු ඇති කරන බවද එජාප නායකයා අනාවරණය කරන ලදී.

මේ වන විට පවතින ගෝලීය දේශපාලන දෙසද අවධානය යොමුකරමින් ට්‍රම්ප්ගේ ලෝකය, චීනයේ බලපෑම සහ ඉන්දියාව සුපිරි බලවතෙකු ලෙස නැගී ඒම වැනි ගෝලීය දේශපාලන තත්ත්වයන්ට මුහුණ දිය හැකි නායකත්වයක් රටට අවශ්‍ය බවත් ‘SMART UNP’ වැඩසටහන යටතේ සිරිකොත මූලස්ථානය ස්ටාර්ලින්ක් (Starlink) තාක්ෂණය ඔස්සේ අධිවේගී අන්තර්ජාල පහසුකම්වලින් සන්නද්ධ කෙරෙන බවත් පක්ෂ සාමාජිකයින් සඳහා නව ‘ඩිජිටල් සාමාජික කාඩ්පත්’ හඳුන්වා දීමට ද නියමිත බවත් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

අලුත් යුගයක ජීවත් වෙන මිනිසුන් ලෙස නිදහස් හා බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවද එහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“අපේ නායක ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාව. එතුමාගේ ඉඳන් අද වෙනකම් වසර 78ක් මේ රට හදන්න ගිය නායකයන් සියලු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කළේ මධ්‍ය මහ විද්‍යාල 50යි. අද තියෙනවා 1400කට වඩා. එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27යි. අද රෝහල් 550ට වඩා තිබෙනවා. දැන් හයසියය අල්ලන්න යනවා. අපි හාල්වලින් දැන් ස්වයංපෝෂිතයි, සිංහල අපේ රජරට රාජධානියෙන් පස්සේ. විදුලි බලය හැම තැනම තියෙනවා. වාහන තියෙනවා. අපි අලුත් යුගයක ඉන්නේ. අපි දැන් අනාගතය ගැන හිතන්න ඕන. ඒ වෙනුවෙන් නිදහස් හා බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. ඒකෙන් තමයි මේ රට දියුණු වුණේ. ඒ සඳහා හැම බලගවේගයකටම එකතු වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මං භාරගෙන ස්ථාවරභාවයක් ඇති කළා. ජනතාව එදත් ජීවත් වුණේ අමාරුවෙන්. අපේ වැඩසටහන තිබුණේ ඊළඟ අවුරුදු 5 තුළ තවත් සහන ලබාදෙන්න. ජීවත් වෙන්න අවශ්‍ය ආදායමක් අතේ තියන්න. ඩොලරයට 185ක් තිබූ රුපියල එක රැයකින් ඩොලරයට 330ක්, 360ක් වුණාම මොකද කරන්නේ. දීර්ඝ ලෙස 2048 ගැන බැලිය යුතුයි. අලුතෙන් එන ඡන්දදායකයන් යුද්ධය අවසන් වුණාට පස්සේ ඉපදුණු අය. එහෙම ලෝකෙක ඉන්නේ.

අපි ඊට ලෑස්ති වෙන්න ඕන. ඩී.එස්. සේනානායක මැතිතුමා ඇති කළේ අපේ පරම්පරාව. යුද්ධයෙන් පස්සේ විශාල ජනගහනයක් ඇති වුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා හැදුවේ මිලේනියම්ලා. දැන් මිලේනියම්ලා නෙමෙයි ඉන්නේ ජෙන්-Z කියන සමාජය. ඒක ඩිජිටල් සමාජයක්. අප දුන්නු විදුලිබලයෙන්, අපි දුන්නු ජංගම දුරකථන භාවිතයෙන්, අපි දුන්නු කොම්පියුටරයෙන්, අපි දුන්නු ඉන්ටනෙට් එකෙන් අද ඩිජිටල් යුගයකට ගිහින් තිබෙනවා. ජෙන් Z කියන්නේ තාක්ෂණ යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව එක්ක තමයි ඉදිරියට යන්න තියෙන්නේ. රට එතැනට එක්සත් ජාතික පක්ෂය තමයි ගෙන ගියේ. 48, 77 ගෙනිච්චේ අපි. ආපහු ගෙනියන්න තියෙනවා. මේ පක්ෂය ඒකට ලෑස්ති වෙන්න. 70දී අපිට දුසිමකට වඩා තිබුණේ. ඊළඟ සැරේ රට හැදුවා. අද අපි ඉන්නේ ජේ.ආර්. යුගයේ නෙමෙයි. අපි ඉන්නේ ට්‍රම්ගේ ලෝකයේ, කැමැති වුණත් නැති වුණත්. ට්‍රම්ප් එක්ක තරග කරන චීනය ඉන්න ලෝකයේ. අසල්වැසි ඉන්දියාව ඉන්න ලෝකයේ. මේ යථාර්ථය පිළිගන්න ඕන. අපි ඒ යුගයට යන්න ඕන. ඒකට සුදුසු සමාජයක් අපි ඇති කරන්න ඕන. එදා අපි ඇති කළේ ගොවිතැන දියුණු කරලා. ඊට පස්සේ ඇති කළේ කර්මාන්ත හා සංචාරක ව්‍යාපාරය දියුණු කරලා. අද යන්නේ එතනට නෙමෙයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

The post අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here