මෙරටදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වෙනුවෙන් ඉන්දියාවේදී විරෝධතාවක්

0
2

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ ඉන්දීය ධීවරයින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමේෂ්වරන් හී විරෝධතාවක් පවත්වා තිබේ.

ඊයේ (11) පැවැති මෙම විරෝධතාව සඳහා ධීවරයින් මෙන්ම අත්අඩංගුවට ගත් ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය 08 වන දින ඩෙල්ෆ් මුහුදු තීරයේදී ශ්‍රී ලංකා මුහුදු සීමාවට නීති විරෝධීව ඇතුළුව ධීවර කටයුතු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ධීවරයින් 30 දෙනෙකු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය පාදක කරගනිමින් මෙම විරෝධතාව පවත්වා ඇති අතර විරෝධතාවය අතරතුර අදහස් දක්වමින් තමිල්නාඩු මෝටර් බෝට්ටු සංගමයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක යේසුරාජා පවසා ඇත්තේ මෙරට නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.

ඒ අනුව මෙරට බන්ධනාගාරගතව ඇති ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු නිදහස් කරන ලෙසත් ඉන්දීය ධීවරයින්ට නිදහසේ ධීවර කටයුතු කිරීමේ අවස්ථාව සලසා දෙන ලෙසත් මෙරට නාවික හමුදාවට බල කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමටද ඔවුන් කටයුතු කරන බවත් එහිදී ඔහු පවසා ඇත.

ඒ සඳහා රාමේශ්වරම් හී සියලුම ධීවර පවුල් ධීවර යාත්‍රා මගින් කච්චතිව්හී නවාතැන් ගෙන විරෝධතාවක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා වූ දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවත් විරෝධතාවයට එක්වෙමින් ඔහු පැවසීය.

තවද ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් සෙවීම සඳහා මධ්‍යම රජය ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළ යුතු බවත් අගමැතිවරයාට අවශ්‍ය නම් ධීවර ගැටලුවට ස්ථීර විසඳුමක් සොයා ගත හැකි වනු ඇති බැවින් මේ සඳහා ඉන්දීය රජය වහාම මැදිහත් විය යුතු බවත් ඔහු විරෝධතාවට එක්වෙමින් වැඩිදුරටත් පැවසීය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here