රෝහණ බණ්ඩාරගේ ආරක්ෂක ගැටළුවෙන් මැතිසබය උණුසුම් (වීඩියෝ)

0
3

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාරගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයකින් අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටිමින් ප්‍රකාශ කළේ, රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට කිසිඳු පියවරක් ගෙන නොමැති බවය.

“කතානායකතුමනි, රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමාට ආරක්ෂාව තාම සලසලා නෑ. පොලිසියෙනුත් කියල තියෙන ඔහුට ආරක්ෂාව ලබාදෙන්න කියල. දැන් ඒක වෙනත් පැත්තකට පෙරළන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒක අසාධාරණයි. වහාම මේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සලසන්න”

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කියා සිටියේ,

“මගේ ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තියෙනවා. උතුරු මැද කොට්ඨාස අපරාධ පරීක්ෂණ ඒකකය එවලා තියෙන ඒ රිපෝර්ට් එකේ තියෙනවා. කැබ්නට් approval එකක ආවම ඒ ගැන සලකා බලන්නම් කියලා පොලිස්පතිවරයා කියලා තිබ්බා. එතුමා දෙවනුවට ඒක පක්ෂ අභ්‍යන්තරයේ කියලා බුද්ධි තොරතුරක් නෙවෙයි එතුමා සකස් කරපු එකක් එවනවා. මට හරියට කියන්න මට ආරක්ෂාව දෙනවද? නැද්ද? දෙනවා නම් කවදද දෙන්නේ?”

ඊට පිළිතුරු ලබාදෙමින් ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ, පොලිස් වාර්තාවෙන් සඳහන් කර ඇත්තේ පක්ෂයේ අභ්‍යන්තරයෙන් මෙම තර්ජනය එල්ල වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් පොලිසිය භාර අමාත්‍යවරයා අවධානය යොමු කරන බව තමා අපේක්ෂා කරන බවය.

මෙම අවස්ථාවේදී එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නැගී සිට ප්‍රකාශ කළේ, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇති නිසා මෙම තත්ත්වය පිළිබඳව සොයා බලා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලසීමට වහාම කතානායකවරයා මැදිහත් විය යුතු බවය.

(වීඩියෝ : VoiceTUBE)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here