ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව අධ්‍යාපන කලාපයට හා කටාන අධ්‍යාපන කොට්ඨාසයට අයත් තිඹිරිගස්කටුවේ පිහිටි මාරිස්ටෙලා විදුහල පසුගිය මාසයේ දී සුවිශේෂ කඩඉමකට ළඟා විය. ඒ, “ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලාන” සමස්ත ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගනිමිනි. “තිඹිරිගස්කටුව මාරිස්ටෙලාව” එවැනි දස්කමක් කළ කුළුඳුල් අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.
තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල මීගමුව තිඹිරිගස්කටුවෙහි පිහිටි රජයේ ආධාර ලබන කතෝලික පෞද්ගලික පිරිමි පාසලක් බව පැහැදිලිය. එහි ආරම්භය වර්ෂ 2004 දක්වා ඈතට දිගු වෙයි. සුප්‍රසිද්ධ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ශාඛා පාසලක් ලෙස ආරම්භ කරන ලද තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල ගෙවා ආ වසර 20 කට පසු ගුරුවරුන් 140 දෙනකුගෙන් හා සිසුන් 2400 දෙනකුගෙන් පෝෂණය ලබති. කලා, වාණිජ, විද්‍යා හා තාක්ෂණ විෂය ධාරාවන් ගෙන් සමන්විත වන්නා සේම එහි ප්‍රාථමික පාසල, ද්විතීයික පාසල සහ උසස් පෙළ අංශය සරුවට පෙළ ගස්වා තිබේ.
රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ තාක්ෂණය සඳහා කැපවූ රසායනාගාර 05 කින් සමන්විත වන තිඹිරිගස්කටුව මාරිස්ටෙලාවේ සිප් කිරි පානය කරන සිසු දරුවන්ගේ ජවය ශක්තිය ජාතික මෙන්ම ජාත්‍යන්තර කෙළිබිම තුළ මුදා හරින්නට ඇවැසි ශක්තිවර්ධනාගාරයකට හා මීටර් 400 සම්මත ධාවන පථයකට ද හිමිකම් කියති.
එමෙන්ම, මලල ක්‍රීඩාවේ තිරස් පැනීම් පුහුණුව සඳහා අත්‍යවශ්‍ය අවතීර්ණ ධාවන පථය ටාටාන් වර්ගයේ කෘත්‍රිම එකක් වීම ද සුවිශේෂය.
ශ්‍රී ලාංකේය පාසල් පද්ධතිය තුළ සිප් සතර හදාරන සිසු සිසු සිසුවියන්ගේ ක්‍රීඩා දක්ෂතා දැක බලා ගැනීම හා ඇගයීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල” පසුගියදා නිමාවට පත්විය. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන අංශය විසින් මෙහෙයවනු ලැබූ මෙම ක්‍රීඩා උළෙලට අයත් ක්‍රීඩා ඉසව් සංඛ්‍යාව 31 ක් විය. මෙරට පාසල් පද්ධතියේ සුවිශාලතම හා ප්‍රමුඛතම ක්‍රීඩා තරග එකතුව සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල බව අවිවාදිත වන්නේ ඒ සඳහා සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ එකතුව 35000 කට ආසන්න වන බැවිනි. මෙහි මලල ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් 10 සිට 14 දක්වා හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන්නේ තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ ගෙලට රන්, රිදී, ලෝකඩ පදක්කම් පිරිනැමීමේ අරමුණ මෙන්ම රට පුරා විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ ලෙන්ගතු සහෝදරත්වය වඩවාලීම පෙරදැරිවයි. මෙම ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණය පතා සටන් වදින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාව හා හැකියාව මීට සති දෙකකට පෙර දියගම දී ද මෙරට ක්‍රීඩා ලෝලීන් හට දැක ගැනීමට හැකියාව ලැබිණි. ඒ, 93 වැනි “ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන” ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ආශ්‍රිතවයි. එහි දී ඉහළින්ම කැපී පෙනුණු තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල සමස්ත බාලක ශූරතාව දිනා ගනිමින් දේශීය මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය මවිතයට පත් කිරීමට සමත් විය. තිඹිරිගස්කටුව ක්‍රීඩකයන් ප්‍රදර්ශනය කළ සංවිධානාත්මක පෙළහර හමුවේ අගනුවර සුප්‍රසිද්ධ පාසල් මෙන්ම අගනුවරින් පිටත මලල ක්‍රීඩාවේ නම රැක ගත් පාසල් සියල්ල පරාජය වීම මෙවර වළක්වා ගත නොහැකි විය. එම ජයග්‍රහණය අනාගත මෙරට මලල ක්‍රීඩාවේ ජය ලකුණක් වනු නොඅනුමානය.
මීගමුව මාරිස්ටෙලා විදුහල ලකුණු 57 ක් ද වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල ලකුණු 86 ක් ද වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 94.5 ක් ද කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල ලකුණු 103 ක් ද සටහන් කර ගන්නා අතර වාරයේ දී උකහා ගත් ලකුණු 115 ඉදිරියේ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලේ නම කියවුණේ සමස්ත ශූරතා කුසලානය ද තහවුරු කර ගනිමිනි. ඒ සඳහා පැමිණි ගමනේ දී අවුරුදු 16 න් පහළ බාලක ශූරතාව (ලකුණු 61), බාලක පිටිය ඉසව් ශූරතාව (ලකුණු 68), අවුරුදු 18 න් පහළ බාලක දෙවන අනු ශූරතාව (ලකුණු 37), බාලක සහාය දිවීමේ දෙවන අනු ශූරතාව (ලකුණු 22), පිට පළාත් පාසල් තරගයේ බාලක දෙවන අනු ශූරතාව (ලකුණු 57) තහවුරු කර ගැනීම ද ඉහළ අගයක් ගත්තේය. එමෙන්ම, දිනුක තිනේෂ් අවුරුදු 16 න් පහළ මීටර් 400 ඉසව්ව තත්.49.67 කින් නිම කරමින් නව තරග වාර්තාවක් බිහි කළ අතර අවුරුදු 18 න් පහළ දුර පැනීම ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ මීටර් 7.27 නව තරග වාර්තාවකි. අවුරුදු 16 න් පහළ යෞවනයන්ගේ ජවය උපරිමයෙන් ප්‍රදර්ශනය කිරීමට සමත් වූ කණ්ඩායම මීටර් 400 × 4 සහාය දිවීමේ වාර්තාව ද තිඹිරිගස්කටුව මාරිස්ටෙලා ඉදිරියේ සටහන් කර ගත්තේය.
මර්වින් පෙරේරා සහෝදරතුමා තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලේ විදුහල්පති ධුරයට පිවිසීමත් සමගින් ජවය ලැබූ මලල ක්‍රීඩකයන් දිනෙන් දින සංවිධානය වන ආකාරය පසුගිය කාලය සීමාව තුළ දැක ගැනීමට හැකියාව ලැබිණි. මීගමුවේ දී ලත් අත්දැකීම් තිඹිරිගස්කටුවේ දී ඊටත් වඩා වැඩි ජවයකින් මුදා හරින්නට උත්සාහ ගන්නා බවක් ද එහි ගැබ්ව තිබුණු බව විද්‍යමාන විය.
“ස්පෝට්ස්” වලට මම හරි ආසයි. තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහලට පැමිණීමෙන් පසුව මම මලල ක්‍රීඩාවට විශේෂ අවධානයක් යොමු කළා. මීගමුව තුළත් කොළඹ තුළත් අගනුවරින් පිටතත් මලල ක්‍රීඩා කෙළිබිමේ තියෙන්නේ විශාල තරගකාරීත්වයක්. ඒ බව මම දරුවන්ට පැහැදිලි කළා. අපිට මේ පාසල් අභිබවමින් පෙරට එන්න හැකි බව දරුවන්ගේ ඔළුවට දැම්මා. දරුවන් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමගින් පසුගිය අවුරුදු 03 බැහැලම වැඩ කළ බවත් එය මනාව තේරුම් ගත් දරුවන් පුහුණුවීම් අතපසු නොකළ බවත් විදුහල්පති මර්වින් පෙරේරා සහෝදරතුමා සඳහන් කර සිටියේ අසීමිත සතුටින් යුතුවයි. විදුහල්පති ධුරය භාර ගත් අවධියේම දක්ෂතම ක්‍රීඩකයන් 75 දෙනකු පාසලට අහිමි බව පෙන්වා දෙන විදුහල්පති මර්වින් පෙරේරා සහෝදරතුමා එම අභියෝගය භාර ගෙන මෙතෙක් පැමිණි ගමන් මග ගැන ආඩම්බර වෙයි. ඉදිරියේ දී මීටත් වඩා සංවිධානය වෙමින් මලල ක්‍රීඩාවට මෙන්ම මලල ක්‍රීඩකයන් හට මහඟු සේවයක් කරන්න අදිටන් කර ගෙන සිටින බව ඒ තුළ පැහැදිලිය.

මීටර් 2.31 ක උස පැනීමේ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් කැපී පෙනුණු උෂාන් තිවංක ගේ පුහුණුකරුවා වන ඔහු ද මෙරට සිටි දක්ෂතම උස පැනීමේ වීරයෙකි. මීගමුව මාරිස්ටෙලා විදුහලෙන් මලල ක්‍රීඩා කෙළිබිමට මුලින්ම අවතීර්ණ වූ ඔහු අද තිඹිරිගස්කටුව මාරිස්ටෙලාව රනින් බබලන ප්‍රධාන පුහුණුකරුවාගේ චරිතයට පන පොවයි. සුරංජිත් සන්රත් නම් වන ඔහු සත් දෙනකුගෙන් සැදුම්ලත් පුහුණු කමිටුවේ උපරිම සහයෝගය ඇතිව ජාතික මට්ටම අතික්‍රමණය කිරීමට සමත්කම් පා තිබීම එහි ඇති විශේෂත්වයකි.
කටාන අධ්‍යාපන කොට්ඨාසය මෙන්ම බස්නාහිර පළාත ද ජය ගැනීම උදෙසා මහත් කැප වීමෙන් කටයුතු කළ සුරන්ජිත් සෞදි අරාබියාවේ පැවති ආසියානු ශූරතා වයස අවුරුදු 18 න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ ලෝකඩ පදක්කම්ලාභී පවන් නිත්‍ය (අවුරුදු 18 න් පහළ උස පැනීම – මීටර් 2.03) මෙන්ම කනිෂ්ඨ පුහුණු සංචිතය නියෝජනය කරන දීසර හේරත් (අවුරුදු 18 න් පහළ දුර පැනීම සහ තුන් පිම්ම) පිළිබඳව මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ දී ඉහළ බලාපොරොත්තු රඳවා සිටී. එමෙන්ම, දිනුක තිනෙත් (අවුරුදු 16 න් පහළ මීටර් 400 සහ මීටර් 200) සහ ටෙහාර රෂ්මික (අවුරුදු 20 න් පහළ තුන් පිම්ම) කෙරෙහි තබා ඇති විශ්වාසය ද ඉහළයි. මීට අවුරුදු 05 කට කලින් මුල සිටම ආරම්භ කළ මාරිස්ටෙලාවේ මලල ක්‍රීඩා පුහුණුව තුළින් ජවය ගත් දරුවන් පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් වචන ගලපන ඔහු ළඟ එන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලට ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත පුහුණු සංචිතයට මඟ කියා දෙයි.
අපි පැමිණි ගමන පහසු නැහැ. හිටපු විදුහල්පති ශාන්ති ලියනගේ සහෝදර තුමා අපේ මලල ක්‍රීඩාවට සහයෝගය දැක්වුවා. නමුත් මර්වින් පෙරේරා සහෝදර තුමා විදුහල්පති ධුරයට පත් වීමත් සමගින් මලල ක්‍රීඩාවට ජීවය ලැබුණා. එදා අපි තීරණය කළා ශ්‍රී ලංකාවේ අංක 01 වෙන්න. අපි හොඳම පුහුණුකරුවන් බඳවා ගත්තා. ඒ වගේම ක්‍රීඩකයන් කිහිප දෙනෙක්. කණ්ඩායමක් ලෙස වැඩ කරන අතර වාරයේ දී අපිට ජිම් එකක් වගේම දුර සහ තුන් පිම්ම ඉසව්ව සඳහා භාවිතයට ගන්නා ටාටාන් වර්ගයේ කෘත්‍රිම අවතීර්ණ ධාවන පථයක් ලබා දීමට මර්වින් පෙරේරා සහෝදර තුමාට හැකි වූ බව පෙන්වා දෙන සුරන්ජිත් සන්රත් මහතා මලල ක්‍රීඩාව භාර ආචාර්ය තාරුක පෙරේරා මහතා ගෙන් සහ ක්‍රීඩා පරිපාලක ඇන්ටන් නිරෝෂන් මහතා ගෙන් ලැබෙන සහයෝගයට කෘතවේදීත්වය පළ කරන්නට අමතක නොකරයි. මට අවශ්‍ය වන්නේ ලංකාවේ යොවුන් හා තරුණ මලල ක්‍රීඩකයකුට පුහුණුව ලැබිය හැකි හොඳම තැන තිඹිරිගස්කටුව මාරිස්ටෙලාව බවට පත් කරන්නට බව අවසන් වශයෙන් පැවසීය.
රොශාන් ප්‍රියන්ත (ප්‍රධාන සහය පුහුණුකරු), චාමර නුවන් ගමගේ (දුර පැනීම), රොශාන් බාලසූරිය (රිටි පැනීම), තරිදු සේනාධීර (දුර දිවීම), කසුන් රාජපක්ෂ (විසි කිරීම), තාරුක පෙරේරා (කණ්ඩායම් භාර ආචාර්ය) සුමිත් දම්මික (භෞත චිකිත්සක) යන පුහුණු කාර්ය මණ්ඩලය අතින් සිදු කෙරෙන වැඩ කොටස ප්‍රශංසනීයයි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර
Saru FM Media