2026 අයවැය සැකසීමත් අයිඑම්එෆ් රාමුව තුළයි
අයිඑම්එෆ් වැඩසටහනින් පසු ආර්ථිකයට හිමි තැන කුමක් ද ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් එම අරමුදල විසින් අපට ලබා දී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනය සඳහා පසුගිය දිනවල ලංකාවට පැමිණ තිබුණි. එවන් පපාජෝජියෝගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම දූත කණ්ඩායම, අයිඑම්එෆ් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පස්වන සමාලෝචනය සඳහා 2025 සැප්තැම්බර් 24 සිට ඔක්තෝබර් 09 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණි. මේ සංචාරය අවසානයේ ඔක්තෝබර් 09 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, එම අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බවයි. මේ අනුව අදාළ පස්වන සමාලෝචනය අවසන් කරමින් මේ කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණ ඇති අතර දැන් තිබෙන්නේ ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමයි. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම පස්වන සමාලෝචනය අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමි වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ ණය පහසුකමක් අනුමත කළේ, 2023 මාර්තු 20 වැනිදාය. එදා පටන් මේ දක්වා වසර දෙකකුත් මාස හතකට ආසන්න කාලයක් මේ අයිඑම්එෆ් ණය පහසුකම් වැඩසටහන එහි කොන්දේසි හා ඉලක්ක සපුරමින් ආණ්ඩු කිහිපයක් යටතේ ඉදිරියට පැමිණ ඇත.
මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා සහ ජා.මූ අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම, එවන් පපාජෝජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණි දූත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ විය. එම දූත මෙහෙවර අවසානයේ පපාජෝජියෝ මහතා නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.
“උද්ධමනය ඉලක්කගත මට්ටම කරා ගමන් කිරීම, සංචිත ගොඩනැඟීම හා මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ ආදායම් එක්රැස් කිරීම අපේක්ෂිත මට්ටම අභිබවා යෑමත් සමග, ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සඳහා අඛණ්ඩව සහාය දක්වා ඇත. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය ශක්තිමත් විය.
සාර්ව ආර්ථික ස්ථායීතාව තහවුරු කිරීම, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පවත්වාගෙන යෑම සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා මධ්‍යයේ බාහිර කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව ලබා දීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වේ.”
මූලික වශයෙන් අයිඑම්එෆ් එක මේ කියන්නේ අයිඑම්එෆ් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය ශක්තිමත් බවයි. අප අයිඑම්එෆ් සහාය ගත්තේ 2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික හා විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහාය. ඒ සහාය අපට ලැබී ආර්ථිකය වැටුණු වළෙන් සැලකිය යුතු ලෙස ගොඩට පැමිණ ඇත. එහෙත් එහි අදහස ආර්ථිකය දියුණු මට්ටමට පත් වී ඇති බව හෝ ජනයාගේ ආර්ථික පීඩනය සමනය වී ඇති බව නොවේ. 2022 වසරේ මුහුණ දුන් බලවත් අස්ථාවර තත්ත්වයට සාපේක්ෂව ආර්ථිකය ස්ථාවර වී ඇති බව සත්‍යයක් වුවත්, ඒ සඳහා අයිඑම්එෆ් සහාය ඇතිව දියත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා ද රටේ ජනයා මත විශාල බරක් පැටවී තිබේ. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ බර සාධාරණ පදනමක් මත සමාජයේ පාර්ශ්වයන් අතර බෙදී ගොස් නැති බව අපගේ පසුගිය ලිපි මගින් දිගින් දිගටම කියා ඇත.
ඒ නිසා ආර්ථික ස්ථාවරත්වයක් ගැන අප කතා කළත් රටේ බහුතර ජනයා ජීවත් වන්නේ ඉතා අමාරුවෙනි. මේ ජනයාට ඉදිරි කාලය තුළ හෝ සහනයක් උදාවෙනු ඇතිද යන්න නම් ප්‍රශ්නයකි. අයිඑම්එෆ් එක කියන පරිදිම මෙම ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්යසාධනය ශක්තිමත් වී අපගේ ආර්ථිකය, එම වැඩසටහන අවසානයේ යථා තත්ත්වයට පත් වුවත්, ඒ වන විට අපේ ආර්ථිකය තිබෙනු ඇත්තේ කවර තත්ත්වයක ද යන ප්‍රශ්නය මතුව ඇත. මේ වන විට ආර්ථික වර්ධනය අඩු වී එය මන්දගාමී වීමේ ලකුණු පහළ වී ඇත. එසේම රටේ ජනයාගෙන් සියයට 25 ක්ම දුප්පත්කමට ඇද වැටී ඇත. ඊට අමතරව ලෝක බැංකුව කියන්නේ ජනගහනයෙන් තවත් සියයට 10 ක් සිටින්නේ දුප්පත්කමේ මුවවිට බවයි. එවිට දුප්පත්කම ආසන්නයේ සිටින මේ සියයට 10 ක ජනයා සමග සියයට 25 ක් වන දුප්පත් ජන ප්‍රතිශතය ද එකතු වූ විට රටේ ජනගහනයෙන් සියයට 35 කට ආසන්න පිරිසක් සිටින්නේ ඉතා අයහපත් ආර්ථික තත්ත්වයකය. මේ පසුබිම තුළ අයිඑම්එෆ් වැඩසටහන නිමාවීමෙන් පසුව අපේ ආර්ථිකයට හිමිවන තැන ගැන දැනට ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන බව නම් කිව යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජෝජියෝගේ නායකත්වයෙන් මෙරටට පැමිණි දූත පිරිසේ සංචාරයෙන් පසුව ඒ මහතා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ ද සඳහන්ව ඇත.
- වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව 2026 විසර්ජන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීම සහ
- බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතිය තක්සේරු කිරීම සඳහා මූල්‍යන සහතික සමාලෝචනය කිරීම යන කරුණු සපුරාලීම මත මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත.’

මේ අනුව පැහැදිලි වන්නේ මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස්වන සමාලෝචනය පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණියත්, ඒ සඳහා එහි විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබෙනු ඇත්තේ මේ කියන අවශ්‍යතා සැපිරීමෙන් පසුව බවයි. ඒ අනුව ආණ්ඩුව ලබන වසර (2026) සඳහා වන අයවැය සකස් කළ යුතු වන්නේ ද අයිඑම්එෆ් වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලවය. එසේම බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කර ගැනීමට මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රමාණවත් ප්‍රගතියක් ඇතිකරගත යුතු ද වනු ඇත. මේ කියන කරුණු සපුරාලීම මත පමණක්, මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත. මේ කියන පරිදි අයිඑම්එෆ් වැඩසටහනට අනුව, 2026 අයවැය සකසා එයට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවන තෙක් අයිඑම්එෆ් මීළඟ ණය වාරිකය අප වෙත ලැබීම සඳහා යම් කාලයක් ගත වනු ඇත.
අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 347ක් පමණ මුදලත් සමග මෙම ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මේ දක්වා ලබාදුන් මුළු මූල්‍ය සහාය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.04 ක් පමණ දක්වා ඉහළ යනු ඇත. මේ අනුව මේ ණය වැඩසටහන යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් පමණි. මූල්‍ය අරමුදලේ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.
“ශ්‍රී ලංකාවේ ඉහළ අපේක්ෂා සහිත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබා දෙමින් පවතී. 2025 වසරේ පළමු භාගයේ දී ආර්ථිකය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 4.8 කින් වර්ධනය වී ඇති අතර 2025 වසර පුරා එම වර්ධන ප්‍රවණතාව ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. උද්ධමනය ධන අගයක් වාර්තා කර ඇති අතර සැප්තැම්බර් මාසයේ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මිල ගණන් සියයට 1.5 කින් ඉහළ ගොස් ඇත. 2025 වසරේ සැප්තැම්බර් මස අවසානය වන විට දළ නිල සංචිත එ. ජ. ඩොලර් බිලියන 6.1ක මට්ටමට ළඟා වී ඇත. මූලික වශයෙන් මෝටර් රථ ආනයන මත පනවන බදු හේතුවෙන් රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරීත්වය 2025 වසරේ පළමු භාගයේ දී ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන් වී ඇත.
රාජ්‍ය මූල්‍ය ආදායම් යහපත් මට්ටමක පැවතීම සහ විදේශීය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ යෑම හේතුවෙන් වැඩසටහනේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් මට්ටමක පවතී. සාර්ව ආර්ථික ස්ථායීතාව සුරක්ෂිත කර ගැනීමට සහ විදේශීය කම්පනවලට ඔරොත්තු දීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව පුළුල් කිරීමට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වේ. වෙළෙඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාව සහ භූ දේශපාලනික ගැටලු හේතුවෙන් ආර්ථිකය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වීමට ඇති ඉහළ අවදානම් සැලකිල්ලට ගත් විට එය විශේෂයෙන් වැදගත් වේ.
මේ කියන පරිදි මේ වසරේ (2025) පළමු මාස හයේ දී ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වී ඇති අතර 2025 වසර පුරා එම වර්ධන ප්‍රවණතාව ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව ද මූල්‍ය අරමුදල කියයි. එහෙත් 2026 වසරේ සිට ආර්ථික වර්ධනය තවත් අඩු වී මන්දගාමී වනු ඇත. ලෝක බැංකුව කියන පරිදි 2026 වසරේ අපගේ ආර්ථික වර්ධනය සියයට 3.5 ක් දක්වා අඩු වේ. අප ආර්ථික වර්ධනයන් ගැන කතා කළත් තවමත් අපගේ මූර්ත දළ දේශීය නිෂ්පාදිත අගයන් තිබෙන්නේ ආර්ථික අර්බුදයට පෙර මට්ටම්වලට ද වඩා අඩුවෙනි. මෙසේ ආර්ථික වර්ධනය ඉදිරි කාලයේ මන්දගාමී වීම තුළ රටේ ජනයාගේ දුප්පත්කමේ ප්‍රශ්නයට ද ඉක්මනින් පිළියමක් ලැබෙනු ඇතැයි අපට සිතිය නොහැකිය.
එසේම මූල්‍ය අරමුදල කියන පරිදි ලබන වසරේ (2026) අයවැය අයිඑම්එෆ් ණය වැඩසටහනට අනුකූලව සකසා, රාජ්‍ය මූල්‍ය අවකාශය අඛණ්ඩව ගොඩනැඟීම සඳහා ශක්තිමත් ආදායම් ක්‍රියාමාර්ග සහ විචක්ෂණශීලී වියදම් මත පදනම් විය යුතු වේ. එසේ නම් රාජ්‍ය ආදායම් තවදුරටත් වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා බදු අනුකූලතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ බදු සහන ලබා දීමේ රාමු ශක්තිමත් කිරීම තුළින් ආදායම් අහිමි වීමේ ගැටලු විසඳීමට අඛණ්ඩ ප්‍රයත්න අවශ්‍ය බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි. මේ අතරම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පසුගිය ඔක්තෝබර් 09 දින නිකුත් කළ ප්‍රකාශයෙන් තවදුරටත් කියන කරුණු කිහිපයක් අපට මෙසේ සඳහන් කළ හැකිය.
‘රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුළුල් කිරීම, රජයේ හිඟ වියදම් නැවත උද්ගත වීම වැළැක්වීම සහ අයවැයගත මුදලට වඩා අඩුවෙන් ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේ ගැටලුකාරී තත්ත්වය විසඳීම ඇතුළුව උසස් හා කාර්යක්ෂම රාජ්‍ය වියදම් ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය මූල්‍ය විනය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට දායක වනු ඇත.
මේ අතරම, රජය සතු ව්‍යවසායයන්ගේ මූල්‍ය ශක්‍යතාව සහතික කිරීම සහ රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වා ගෙන යෑම, රජය සතු ව්‍යවසායයන්ගේ පාලනය ශක්තිමත් කිරීම සහ එම ව්‍යවසායන්ගේ පැරණි ණය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම අවශ්‍ය වේ. රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්ව, රාජ්‍ය ව්‍යාපාර, රාජ්‍ය ප්‍රසම්පාදනය සහ රාජ්‍ය වත්කම් කළමනාකරණයට සම්බන්ධව ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත නීති, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට සහ පිළිගත් ඉහළම භාවිතයන්ට අනුකූල විය යුතුය.

මේ කියන පරිදි රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා පිරිවැය ආවරණය කෙරෙන බලශක්ති මිලකරණය පවත්වා ගෙන යෑම අවශ්‍ය බව මෙහි නැවත සඳහන් කර ඇත. මේ අනුව විදුලි ගාස්තු සහ ඉන්ධන ගාස්තු යනාදිය මිල කිරීමේ දී ඒවායේ වියදම් ආවරණය වන පරිදි මිල කිරීමට රජයට සිදුවනු ඇත. රජය සතු ව්‍යවසායයන්ගේ පාලනය තවත් ශක්තිමත් කරගනිමින්, එම ව්‍යවසායන්ගේ පැරණි ණය පිළිබඳ ගැටලු නිරාකරණයට පියවර ගැනීමට ද රජයට සිදුවනු ඇත.
ලෝක බැංකුව පසුගිය දා නිකුත් කළ වර්තාවක සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ දුප්පත්කම සැලකිය යුතු ලෙස සියයට 25 ක් පමණ දක්වා වැඩි වී ඇති බවයි. මේ අතර මූල්‍ය අරමුදල ද අපේ රටේ දුප්පත්කම ගැන සඳහන් කර ඇත. ඒ අනුව ඔවුන් කියන්නේ දුගී සහ අවදානමට ලක් විය හැකි ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛ විය යුතු බවයි. දැනට අපගේ ඇති අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ ගැන විවිධ විවේචන එල්ල වී ඇත. එසේම ‘ප්‍රජාශක්ති’ නමින් නව දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහනක් ගැන රජය පැත්තෙන් කතා කළත් එමගින් රටේ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත. කෙසේ හෝ අයිඑම්එෆ් එක කියන්නේ සමාජ වියදම්වල ඉලක්කකරණය, ප්‍රමාණවත් බව සහ ආවරණය වැඩිදියුණු කිරීම සඳහා සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ශක්තිමත් කිරීමට තවදුරටත් අවකාශය ඇති බවයි.
“දැනට සිටින නිල සහ වාණිජ ණය හිමියන් සමග ද්වීපාර්ශ්වික ණය ගිවිසුම් ඇතිකර ගැනීම වේගවත් කිරීම, ණය තිරසරභාවය යළි ඇති කර ගැනීමට සහ ආයෝජක විශ්වාසය ඉහළ දැමීම අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය කඩිනම්ව ක්‍රියාකාරී කිරීම විචක්ෂණශීලී ණය කළමනාකරණ භාවිතය සඳහා මූලික පියවරක් වනු ඇත. අයිඑම්එෆ් ප්‍රකාශයේ තවදුරටත් මෙසේ ද සඳහන් වේ.
‘මුදල් ප්‍රතිපත්තිය දත්ත මත පදනම් වීම සහ මිල ස්ථායීතාව පවත්වා ගැනීම වැදගත් වේ. රජයේ අයවැය මූල්‍යකරණයෙන් වැළකී සිටීම ඇතුළුව, මහ බැංකු ස්වාධීනත්වය ආරක්ෂා වීම අඛණ්ඩව සිදු විය යුතු ය. නම්‍යශීලී විනිමය අනුපාතිකයකට ඉඩ සලසමින් ප්‍රමාණවත් සංචිත මට්ටම් ගොඩනඟා ගැනීම හරහා බාහිර ස්වාරක්ෂක යළි ගොඩනඟා ගැනීමේ ප්‍රයත්න ඉදිරියට ගෙන යා යුතුය. ණය වර්ධනයට සහාය වීම සහ මූල්‍ය අංශයේ ස්ථාවරබව ආරක්ෂා කර ගැනීම සඳහා අක්‍රීය ණය සම්බන්ධ ගැටලු විසඳීම, රාජ්‍ය බැංකුවල යහපත් පාලනය සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ බුන්වත්භාවය හා නිරාකරණය සම්බන්ධ රාමු වැඩිදියුණු කිරීම වැදගත් වේ.
රජයේ ක්‍රියාකාරී සැලැස්මේ දක්වා ඇති යහපත් පාලනය සම්බන්ධ ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වේ. ප්‍රසම්පාදන සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම ශක්තිමත් කිරීම, ඩිජිටල්කරණය ඇතුළුව ආදායම් පරිපාලනයට අදාළ දූෂණ විරෝධී පියවර සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සහ විද්‍යුත් මාර්ගයෙන් වත්කම් ප්‍රකාශ ලබා දීම ක්‍රියාත්මක කිරීම දූෂණ අවදානම් අවම කිරීමට දායක වනු ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බඳවා ගැනීම් කඩිනම් කළ යුතු අතර, දූෂණ විරෝධී පනතට අනුකූලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කළ යුතු ය. ශ්‍රී ලංකාවේ විභව වර්ධනය ඉහළ දැමීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මූලික වනු ඇත.
මේ කියන පරිදි විදේශ සංචිත මට්ටම තවදුරටත් වර්ධනය කරගත යුතුවේ. ඒ සම්බන්ධයෙන් කිසියම් මන්දගාමී බවක් දක්නට ඇත. මේ දිනවල වඩාත් කතාබහට ලක්ව ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ බඳවා ගැනීම් කඩිනම් කළ යුතු බවට ද අයිඑම්එෆ් එක කියා තිබේ. ශක්තිමත් සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට අපගේ ඇති කැපවීම නැවත තහවුරු කරන බවට ද අයිඑම්එෆ් එක සහතික වී ඇති නමුත්, රජය පැත්තෙන් රටේ ආර්ථික වර්ධන ගමන වේගවත් කර ගැනීම සඳහා මීට වඩා අවධානය යොමුකර ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය දෙයකි. වසරින් වසර රටේ ශ්‍රම බළකායට එක්වෙන සියලු දෙනාට රජයේ රැකියා සැපයීමට ද නොහැකිය. එසේම මේ පසුබිම තුළ රජය කඩිනමින් කළ යුතු මූලිකම දෙයක් වන්නේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය වේගවත් කර ගැනීමයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසමින් රටේ පෞද්ගලික අංශය දිරිගැන්වීම සඳහා රජය ක්‍රියාමාර්ගගත යුතු අතර ඒ තුළ නව රැකියා අවස්ථා ආර්ථිකය තුළ ජනිත වනු ඇත.
මෙවර සංචාරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් යන අය ඇතුළු රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා තිබේ. එසේම මූල්‍ය අරමුදලේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, සිවිල් සමාජ සංවිධාන, මාධ්‍යවේදීන් සහ සංවර්ධන පාර්ශ්වකරුවන් සමග ද සාකච්ඡා පවත්වා තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]
Saru FM Media