බාහිර තොරතුරු එක්රැස් කිරීමේ සහ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය තවදුරටත් ක්‍රියාත්මකයි
දෙමුහුන් යුද අධිකරණයක් යෝජනාව ඉවතට.
එම වගකීම යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලයට
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සාමුහිකව අසාර්ථකයි
ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කර ඇති යුද අපරාධ විමර්ශනය කිරීමට දෙමුහුන් යුද අධිකරණයක් යෝජනා විය. ඒ යහපාලන සමයේදීය (2015-2019). අදාළ එකඟතාවයට පාර්ශ්වකරුවන් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සහ දෙමළ ජාතික සන්ධානයයි. ඒ අනුව විදේශීය විනිසුරුවන්, නීතිඥවරුන් ඇතුළු එම ක්‍රියාවලියට අවශ්‍ය විදේශිකයන් සම්බන්ධ කර ගැනීමට තීරණය විය. මෙවර ජිනීවා මානව හිමිකම් සැසියේදී, කවුන්සිලය විසින් දෙමුහුන් යුද අධිකරණය පිළිබඳ යෝජනාව ඉවත් කර තිබේ. හැත්තෑ හය වැනි යුද හමුදා සංවත්සරය සමරන අවස්ථාවේ දෙමුහුන් යුද අධිකරණය පිළිබඳ ප්‍රශ්නකාරී තත්ත්වය විසඳීම සතුටුදායක ආරංචියකි. නමුත් ජිනීවා කවුන්සිලය ජාතික ජනබලවේගය (ජාජබ) රජයට ප්‍රබල අභියෝගයක් එල්ල කර ඇත. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම එම අභියෝගයයි. එනම් නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිය එම ව්‍යුහයෙන් පිට ක්‍රියාත්මක කිරීමේ අභියෝගයයි. දෙමළ ඩයස්පෝරාව සහ දේශපාලන පක්ෂ දෙමුහුන් යුද අධිකරණයක් යෝජනාව අතහැර දැමීම පිළිබඳව දැඩි කනස්සල්ල පල කර ඇත. කෙසේ වෙතත් යුද හමුදාව ස්වාධීන අභිචෝදක කාර්යාලයක් හරහා ඇතිවන තත්ත්වය වටහාගත යුතුය. නව තත්ත්වය කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු නැත.
දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ යුද හමුදාව තම 76 වන සංවත්සරය පසුගිය ඔක්තෝම්බර් 10 වන දින සැමරීය. මෙම සංවත්සරයට අදාළව ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් සැප්තැම්බර් 26 සිට වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබිණි. ආරම්භක ආගමික කටයුතු අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය පරිශ්‍රයේදී පැවැත්වූයේ යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ලසන්ත රොඩ්රිගෝ ගේ සහභාගිත්වයෙනි. ත්‍රස්තවාදය 2009 මැයි මාසයේදී පරාජය කිරීමෙන් පසුව හමුදාපති ධුරයට පත්වූ හත්වැනි නිලධාරියාය. විසිපස් වැනි යුද හමුදාපතිවරයාය.
හමුදා සංවත්සරය පැවැත්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව 2015 දී ගනු ලැබූ ක්‍රියාමාර්ගය නොනවත්වා ඉදිරියට ගෙන යන බවට යෝජනාවක් සම්මත කර ගත් පසුබිමකය. එම යෝජනාවේ ප්‍රමුඛ ඉලක්කය ජයග්‍රාහී යුද හමුදාව බව අමුතුවෙන් කිව යුතු නැත. එම යෝජනාව අනුව මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ බාහිර තොරතුරු එක්රැස් කිරීමේ සහ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය (OHCHR Sri Lanka accountability project) තවදුරටත් ක්‍රියාත්මකය. ඡන්දයකින් තොරව ඔක්තෝබර් 7 වන දින සම්මත වූ එම යෝජනාවට ජාතික ජන බලවේගය (ජාජබ) රජය එරෙහි විය. තොරතුරු එක්රැස් කිරීමේ සහ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයට මීට පෙර රජයන්ද විරුද්ධ විය. නමුත් බටහිර ප්‍රජාවේ අවශ්‍යතාවයක් වන එම ආන්දෝලනාත්මක යාන්ත්‍රණය ක්‍රියාත්මකය. ජිනීවා ක්‍රියාවලියට ශ්‍රී ලංකාව කළ /කරන විරෝධතාවයෙන් බලපෑමක් නැත.
යුද හමුදාව ප්‍රමුඛව ආරක්ෂක හමුදා සහ විශේෂයෙන්ම හතරවන ඊළාම් යුද්ධය මෙහෙයවූ දේශපාලන නායකත්වයට එරෙහි ජිනීවා ක්‍රියාමාර්ගයට පදනම් වූයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්වී පිහිටුවූ යහපාලන ආණ්ඩුවේ පූර්ණ දායකත්වයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා එක්සත් ජනපදයේ යෝජනාවයි. 2015 ඔක්තෝබර් 1, වන දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලය පිළිගත් එම යෝජනාව යුද හමුදාවට එල්ල කළ මරු පහරක් විය. එවකට ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ එම යෝජනාවට එරෙහි විය. නමුත් යහපාලන නායකත්වය එය පිළිගත්තේය. එම තීරණය යහපාලන නායකත්වය ත්‍රස්තවාදීන් සමග යහන්ගතවූ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජනපදය සමග ඇති කරගනු ලැබූ එකඟතාවය මත සිදුවිය. එදා ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සිටියේ ද යහපාලන කණ්ඩායම සමග බව අමතක කළ නොහැක.
ඊට පෙර 2010 පැවැත්වූ ජනාධිපතිවරණයේදී එවකට විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස දේශපාලනයට ගෙන ආවේද එම කණ්ඩායමය. කිසි දිනක පරාජය කළ නොහැකි බවට බටහිර බලවේග සහ ඉන්දියාව විශ්වාස කළ ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද හමුදාවට නායකත්වය දුන් ෆොන්සේකා හරහා එම හමුදාවට ම එරෙහිව ප්‍රකාශ කිරීමට දේශපාලනය බලවත් විය.
ජිනීවා පාවාදීම සිදු කළ අවස්ථාවේදී ජනාධිපති ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා පමණක් නොව සේනාධිනායකද විය. එජාප නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය විය. විදේශ අමාත්‍යවරයා වූයේ මංගල සමරවීරයි. යුද හමුදාපතිවරයා වූයේ ලුතිනල් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා (පෙබරවාරි 22, 2015 සිට ජුනි 26, 2017). ත්‍රස්තවාදය පරාජය කර වසර 17ක් ගතවී ඇතත් කිසිදු ආණ්ඩුවක් (යුද ජයග්‍රහණය හිමිකම් කියන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇතුළුව) සහ හමුදා නායකත්වය ජිනීවා අභියෝගය ජය ගැනීමට අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ගයක් පිළිබඳව නිශ්චිත තීරණක් ගෙන නැත. තවමත් එම අවාසනාවන්ත තත්ත්වයේ වෙනසක් නැත. ජිනීවා යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීම පමණක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දේශපාලන සහ හමුදා නායකත්වය අවබෝධ කරගත යුතු නොවේද? එවැනි පසුබිමක 2009 සිට හමුදා සංවත්සරය සැමරීම පමණක් නොව ත්‍රස්තවාදය පරාජය කිරීමේ ජයග්‍රාහී පෙළපාලියද නිෂ්පලය. සිරිසේන – වික්‍රමසිංහ ජෝඩුව 2015 දී ජයග්‍රාහී පෙළපාලිය නවතා දැමුවේය. එය වෙනමම විමසා බැලිය යුතු දේශපාලන තීන්දුවකි. යහපලනයම ලජ්ජා විය යුතු සිද්ධියකි. ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයද (සජබ) එජාපයේද කොටසකි. ඇත්ත වශයෙන්ම සියලුම දේශපාලන පක්ෂ සහ හමුදා නායකත්වය ජිනීවා පෙරමුණේ අසාර්ථකය. නිසි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට වුවමනාවක් නැත.
යුද හමුදාවට එල්ල කළ චෝදනා නිෂ්ප්‍රභා කිරීමට දේශපාලන සහ හමුදා නායකත්වය අසමත්වීම ජාතික ආරක්ෂාවට පමණක් නොව දේශපාලන ස්ථාවරත්වයට දැඩි බලපෑමක් බව අවධාරණය කළ යුතුය. එලෙසෙම බාහිර අතපෙවීම්වලට ද ඉඩ සලසන බව මැති සබය නියෝජනය කරන පක්ෂ තේරුම්ගත යුතුය. මෑතකදී දේශපාලන සහ විදේශ කටයුතු පිළිබඳ විශ්ලේෂකයකු වන මොහාන් සමරනායක කුලසිරි කාරියවසම් සමග කළ සාකච්ඡාවකදී ජිනීවා පසුබිමේ එම බාහිර බලපෑම් අරගලය සමයේ යුද හමුදාවට කළ බලපෑම අවධාරණය කළේය. මා මිත්‍ර සමරනායකගේ පැහැදිලි කිරීම අතිශය ආන්දෝලනාත්මකය. බියකරුය.
බෙදුම්වාදය පරාජය කිරීමට නායකත්වය දුන් විශ්‍රාමික ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස 2010 දී යුද හමුදාවට (58 වන සේනාංකයට) එල්ල කළ යුද අපරාධ චෝදනාව කිසි දිනක මැකිය නොහැකි කළු පැල්ලමකි. යටත් වන ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කිරීමට එම සේනාංකයේ ප්‍රධානි එවකට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට උපදෙස් දුන් බව ‘සුදු කොඩි නඩුවට’ පාදක විය. සිංහ රෙජිමේන්තු විශ්‍රාමිකයා එම ප්‍රකාශය කළේ එජාපය නායකත්වය දුන් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසය. එම ප්‍රකාශය මත ලංකාවට එරෙහි සියලුම කණ්ඩායම් එක පෙරමුණකට ගොනුවූ බව අප තේරුම්ගත යුතු නොවේද?
හිටපු හමුදාපතිවරයා The Sunday Leader (දැන් පල කරන්නේ නැත) සමග කළ විශේෂ සාකච්ඡාවකදී යුද සමයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එම ප්‍රකාශය කළේය. BBC Hard Talk වැඩසටහන සමග කළ අතිශය උණුසුම් සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ එක අවස්ථාවකදී සරත් ෆොන්සේකා රටට /හමුදාවට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කළහොත් ඔහුව අපි ඔහුව එල්ලනවා යන ප්‍රකාශය කළේය.
යටත් වන පුද්ගලයන්ට වෙඩි තැබීම යුද හමුදාව නොකළ බවට යුද සමයේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ලුතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත් කොළඹ ආරක්ෂක සමුළුවේ කළ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නොසලකා හැරියේය. ඇත්ත වශයෙන්ම හමුදා සංවත්සරය සැමරීමට සහ ප්‍රයෝජනයක් නොමැති ‘කතා සාප්පු’ සංවිධානය කිරීමට වැය කළ කාලය සහ මුදල් පශ්චාත් යුද වගකීම් සහ වගවීම් ක්‍රියාවලිය නිසියාකාරයෙන් කළමනාකරණය කර ගැනීමට යෙදවිය හැකිව තිබිණි. ශ්‍රී ලංකාව දිගින් දිගටම අපකීර්තියට පත්වීම වැළැක්වීමට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සාමුහිකව ගත යුතුය. ඊට එකතු නොවන දේශපාලන පක්ෂ/මහජන නියෝජිතයන් පිළිබඳව තීරණයක් ගැනීමට ජනතාවට අවස්ථාවක් ඇත. (2010 ජනාධිපතිවරණයේදී දෙමළ ඇති බහුතරයක් සිටින උතුරු සහ නැගෙනහිර දිස්ත්‍රික්කවල ජනතාව සරත් ෆොන්සේකාට ඡන්දය දීමෙන් අවධාරණය වූයේ යුද අපරාධ චෝදනා පුස්සක් බවයි).
2009 සිට සෑම වසරකම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සාකච්ඡාවට භාජනය වේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍යාංශය කරන කරුණු දැක්වීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. රටට එරෙහිව ක්‍රියාත්මක ජිනීවා ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මැදිහත් වීමක් ද නැත. මෙම ලියුම්කරු දන්නා තරමින් 2015 දී යහපාලන ආණ්ඩුව කළ ජිනීවා පාවා දීම සම්බන්ධයෙන් අවම වශයෙන් නිශ්චිත විවාදයක් අද වනතුරු පැවැත්වූයේ නැත. කිසිදු දේශපාලන පක්ෂයකට ඒ පිළිබඳව අවංක උනන්දුවක් නැත. නමුත් දේශපාලන වාසි ලබා ගැනීමට ජිනීවා යුද අපරාධ චෝදනා අපූරුවට පාවිච්චි කළ බව පෙන්වා දිය යුතුය. මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‘ජිනීවා විදුලි පුටුවට’ වුවත් යෑමට සූදානම් ප්‍රකාශය ඡන්දය ඉලක්ක කර කළ රැවටිල්ලකි. ගෝඨාභය රාජපක්ෂ රජය 2020 දී ජිනීවා ක්‍රියාවලියෙන් ඉවත් වන බවට ජිනීවා හිදී කළ ප්‍රකාශයද ජනතාව රැවටීමට කළ නින්දිත තවත් උත්සාහයකි.
මෙරට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ තීරණාත්මක පියවරක් වශයෙන් ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙන බව රහසක් නොවේ. එම පියවර සමස්ත ජිනීවා ක්‍රියාවලියේ දැඩි අවධානය යොමු වූ කටයුත්තකි. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමේ අරමුණද රහසක් නොවේ. ඒ යුද අපරාධ චෝදනා විභාග කිරීමටය. නීතිපති දෙපාර්තමේන්තුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අවශ්‍ය ආකාරයට යෝජිත කටයුතු සිදු නොවන නොකරන නිසා බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රජය විසින් විද්වත් කමිටුවක් පත් කර ඇති අතර, එම කමිටුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී රැස්වේ. ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අදාළව මූලික සැලසුම් සකස් කිරීම පිළිබඳව දැනටම සාකච්ඡා කර ඇති අතර, එහි මූලික සංකල්ප පත්‍රිකාව කෙටුම්පත් කිරීමෙන් අනතුරුව මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීමට නියමිතව තිබේ.
ඔක්තෝබර් 1 වන දින අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය, ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න (අහෝසි කිරීමට නියමිත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළේ ප්‍රධානියා ඔහුය), ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා එම සාකච්ඡාවට සහභාගිවිය. යෝජිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.
චෝදනාවට ලක්වන ආරක්ෂක හමුදා නිලධාරීන්/සෙබළුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුද? මානව හිමිකම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය මෙහෙයවීම යෝජිත ස්වාධීන අභිචෝදක කාර්යාලයේ වගකීමක් නම් ජිනීවාහි දී නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිය කුමක්ද?
ඉන්දියාවේ මැදිහත් වීමෙන් 1983 දී පුපුරා ගිය ඊළාම් යුද්ධයේදී යුද හමුදා නිලධාරීන් සහ සෙබළුන් 29,000 ආසන්න ප්‍රමාණයක් මරණයට පත්විය. හතරවන ඊළාම් යුද්ධයේදී මියගිය සංඛ්‍යාව 6,200 පමණය. එයින් 2,400 මරණයට පත්වූයේ 2009 ජනවාරි සිට මැයි දක්වා නැගෙනහිර වන්නියේ පැවති සටන්වලදීය. ප්‍රෝඩාකාරී සහ වංචාකාරී දේශපාලනය තුළ රට වෙනුවෙන් දිවිපිදූ විරුවන්ට සහ තුවාල ලැබූවන්ට සාධාරණය ඉටු කළ යුතුමය. යුද්ධයට නායකත්වය දුන් නිලධාරීන්ට සහ දේශපාලනඥයන් ජිනීවා ක්‍රියාවලිය තුළ අතරමන් කර, අසරණ කර හමුදාවට යුක්තිය ඉටු කළ නොහැක.
යුද හමුදාව ප්‍රමුඛ නාවික සහ ගුවන් හමුදාව ව්‍යසන තුනකින් රට බෙරාගත් බව අද බොහෝ දෙනකුට අමතකය. ජවිපෙ කියාත්මක කළ 1971 සහ 1987-1990 කැරලි/ත්‍රස්තවාදය සහ රටම වෙළාගත් උතුරු -නැගෙනහිර ත්‍රස්තවාදය (1983 සිට 2009) විනාශ කිරීමට මූලිකත්වය යුද හමුදාව ගත් බව අවධාරණය කළ යුතුය. පාර්ලිමේන්තුවට ආසන්නව බත්තරමුල්ලේ ස්ථාපිත කර ඇති ජාතික රණවිරු ස්මාරකයේ දෙමළ ත්‍රස්තවාදයට එරෙහි සටනේ පමණක් නොව ජවිපෙ අතින් මියගිය නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නම් සඳහන් කර ඇත.
ජවිපෙ නායකත්වය දෙන්න ජාජබ අද බලයේ සිටීම හේතුවෙන් කැරලි, කෝලාහල සහ යුද්ධයේදී දිවි පිදූ නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ තත්ත්වය වෙනස් වන්නේ නැත.
යුද හමුදාව තම 76 වන සංවත්සරය සැමරූ පසුබිමේ යුද හමුදා බුද්ධි සේවාවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා පිළිබඳව ද අවධානය යොමු විය යුතුය. බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියකු වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් අවශ්‍යය. සැබවින්ම අත්‍යවශ්‍යය. සලේට එරෙහි චෝදනාව මූලිකව පදනම් වී ඇත්තේ ඔහු මැලේසියාවේ තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි කාලයේ ශ්‍රී ලංකාවට රහසින් පැමිණ පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි පොල් වත්තකදී පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායම හමුවූ බවයි. සලේ මැලේසියාවෙන් රහසින් පිටවූ/පිටනොවූ බව විමසා බැලීම අපහසු කටයුත්තක් නොවේ. බුද්ධි සේවාවට එල්ල වූ චෝදනාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැක. යුද හමුදා නායකත්වයේ වගකීම සහ වගකීම පසෙක තබා බුද්ධි සේවාවට එල්ලවන චෝදනාව විමර්ශනය කළ නොහැක.
එලෙසෙම නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර 2019 පාස්කු ප්‍රහාරය එල්ල වූ කාලයේ නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කිරීම පිළිබඳව විපක්ෂය (සැම පක්ෂයක්ම නොවේ) ඔහුට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංගය කථානායක විසින් කුණු කූඩයට දැමීම ආන්දෝලනාත්මකය. ජාජබ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් ඇත. නමුත් එම විශ්වාස භංගයට මුහුණ දීමට නොහැකිය. පාස්කු ප්‍රහාරයෙන් පසුව නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ පිපිරීම් විශ්‍රාමික හමුදා නිලධාරියා සම්බන්ධ කිරීමට කරන උත්සාහය අතිශය දේශපාලනිකය. නමුත් යුද හමුදාවට කළු පැල්ලමකි. ඒ පාස්කු ප්‍රහාරයට බුද්ධි සේවාවේ කුඩා කණ්ඩායමක් සම්බන්ධ බවට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය කාගේත් අවධානයට යොමු වූ පසුබිමකය. ඔහු එසේ නොකිවානම් විපක්ෂය ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන්නේ නැත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Saru FM Media