මම ආපසු හැරී බලන කෙනෙක් නෙමෙයි… – වින්දුලා ලංකේෂ්වරී

0
2

ඇති කියල හිතෙනතුරු රඟපානවා

ගායිකාවක් විදිහට පසුගිය කාලයේ ඔබ හමුවට ආ ඇය අද දවසේ ඔබේ ආලින්දයට ගොඩවෙන්නේ රංගන ශිල්පිණියක් ලෙසින්. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශනය වන ‘සති’ ටෙලිනාට්‍යයේ ලොකු දුව, එහෙමත් නැතිනම් චාමලී ඇයයි. නමින් වින්දුලා ලංකේෂ්වරී වන ඇය පසුගිය දවසක ඇයගේ නැවුම් කලා තොරතුරු අපත් සමග මෙලෙස බෙදාහදා ගත්තා.

මේ දවස්වල සති ටෙලිනාට්‍යයෙන් ඔබව දකින්න ලැබෙනවා?

ඔව්, මේ දිනවල ජාතික රූපවාහිනියේ සතියේ දින පහේම රාත්‍රි 8.30 ට විකාශය වන සති ටෙලිනාට්‍යයේ ලොකු දුව චාමලීගේ චරිතයට මම රංගනයෙන් දායකවනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනෑ, අපේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් වන ඉන්දික ධර්මතිලක අයියාව. ඔහු ලොකු සහයෝගයක් ලබාදෙනවා මේ නිර්මාණය සාර්ථක කරගන්න. ඔහුගේ නිර්මාණශීලීත්වය නිසාමයි මේ නිර්මාණය මෙවන් අර්ථවත් නිර්මාණයක් කරගන්නට හැකි වුණේ. මේ නාට්‍ය හැදෙන්නේ ශාන්ති දිසානායක මහත්මියගේ අඳුන්ගිර නවකතාව ඇසුරෙන්. තිර රචනාව සිදුකරන්නේ අති දක්ෂ රචකයකු වෙන සමන්ත කුමාර ගමගේ අයියා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළයුතු වැදගත්ම දේ තමයි මෙවන් හරවත් දැවැන්ත නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නට බැහැ හොඳ නිෂ්පාදකවරයකු නොසිටියොත්. ඉතින් මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරන්න ඕනෑ අපේ නිෂ්පාදකතුමා වන Abeywardena Holdings අධිපති නිමල් අබේවර්ධන මහතාව.

චාමලීට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

චාමලී කියන්නේ අද කාලේ සාමාන්‍ය පවුලක ලොකු දුවකුගේ චරිතය නෙමෙයි. එයට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් පෙන්වන චරිතයක්. ඒ නිසා හොඳ නරක දෙකම ලැබෙනවා. නමුත් මේ වන විට හරියට චරිතය හඳුනාගත් බොහෝ දෙනෙක් ඉතාමත් ආදරෙන් social media හරහා මට කෙටි පණිවිඩ එවනවා.

චාමලී වෙනුවෙන් වින්දුලාට ගොඩක් මහන්සි වෙන්න සිදු වුණා?

චාමලී කියන චරිතය මගේ සාමාන්‍ය ජීවිතයෙන් හාත්පසින්ම වෙනස් හැඩයක චරිතයක් නිසා ඒක රඟ දක්වන්නට මම බොහෝ කැපකිරීම් කළා. ගොඩක් දර්ශනවල අඬ දබර වෙන අවස්ථා රූගතකරද්දී පහර කෑමේ සිදුවීම් ඇත්තටම පහරදෙන ලෙස රූගත කළා. ඒ දර්ශන රූගතකරන අවස්ථාවන්හිදී පහරකෑම්වලදී වේදනාත්මක අවස්ථා ගොඩක් තිබුණා.

ඔබට මෙහිදී ප්‍රවීණයන් රැසක් මුණගැසෙනවා?

ඔව්, ගොඩක් ප්‍රවීණ නළු නිළි රැසක් මේ නාට්‍යය සමග අත්වැල් බැඳගෙන සිටිනවා. ප්‍රවීණයන් රැසක් සමග මටත් රංගනයෙන් දායකත්වය ලබාදෙන්නට හැකිවීම පිළිබඳ ඉතාමත් සතුටුයි. දුලීකා මාරපන, ප්‍රසන්නජිත් අබේසූරිය, මාධනී මල්වත්ත, නිරෝෂන් විජේසිංහ යන අය ඉන් කීප දෙනෙක්. ඉදිරි රූගතකිරීම්වලදී තවත් විශිෂ්ටයන් මේ සමග සම්බන්ධවීමට නියමිතයි.

සති ටෙලිනාට්‍යයේ තේමා ගීතයටත් ඔබ ගායනයෙන් සම්බන්ධ වෙනවා?

ඔව්, මම සහ වරුණ ගුණතිලක අයියා තමයි තේමා ගී ගායනයෙන් එකතු වෙන්නේ. ඒ වගේම මම සති ටෙලි නාට්‍යයට විධායක නිෂ්පාදනයෙනුත් දායක වෙනවා. මෙහි සංගීතය සතිස් සුරේන්ද්‍ර ඒකනායක සහ පද රචනය මංගලි දිසානායකගෙන්. හරිම ලස්සන හදවතට දැනෙන ආදරණීය ගීතයක් ඒක. මේක මම නිතර ගායනා කරන වේග රිද්මයේ ගීතවලට වඩා හාත්පසින්ම වෙනස් ආරෙක ගීතයක්.

කොහොමද ගායන වැඩ කටයුතු?

මම වැඩිපුරම ආසා කරන්නෙ ගායනයට. මේ වෙනකොට අලුත් නිර්මාණ කිහිපයක්ම කරගෙන යනවා. විශේෂයෙන් කියන්න ඕනෑ මගෙ Voice එක මේ වගේ ඔපමට්ටම් කළේ මගේ ආදරණීය මව. ඇය සංගීත අධ්‍යක්ෂවරියක්. ඉතින් ඉපදුණු දා පටන් මගේ ගුරුතුමිය ඇය. මගෙ Voice training සියල්ලම මන් ලබාගන්නේ ඇයගෙන්.

ළඟඳී අලුත් ගීතයක් කළේ නැද්ද?

අලුත් නිර්මාණ කීපයක්ම කරගෙන යනගමන් ඉන්නේ. ඉදිරියේ දී ඒ නිර්මාණ බලාගන්න පුළුවන් වේවි. මේ දිනවල රංගන කටයුතු නිසා අලුත් ගීත නිර්මාණයට වැඩි කාලයක් යොදවන්නට බැහැ. නමුත් ඉක්මනින්ම වෙනස්ම ගීතයකින් රසිකයන් පිනවන්න ආසාවෙන් මග බලාගෙන ඉන්නවා.

ඔබ ජීවිතය දකින්නෙ වෙනස්ම විදිහකට?

ඔව්, ජීවිතය සුන්දරද මෙතරම් කියලා ගීතයකුත් තියෙනවානෙ නේද?. ඉතින් අපි හැමෝගෙම ජීවිත සුන්දර කරන්න පුළුවන් තමන්ටම විතරයි. අපේ අරමුණු පැහැදිලිනම් තමන් අවංකකමින් කැපවීමෙන් තමන්ගේ දක්ෂතා තුළින් ජීවිතය දිනන්නට කටයුතු කරද්දි අපේ ජීවිතය නිකන්ම සුන්දර වෙනවා. ගෙවුණ ජීවිතය දිහා ආපස්සට හැරී බලන කෙනෙක් නෙමෙයි මම. මම මගේ ජීවිතයේ ඉස්සරහම බලාගෙන විතරයි යන්නේ. ආපස්සට හැරිලා බැලුවාම සිදුවුණ නරකම දේත් මම අත්දැකීම් විදිහට අරගෙන තව තවත් ජීවිතේ ඉදිරියටම යන්න මම මාවම ශක්තිමත් කරගන්නවා.

දිගටම රඟපාන්න අදහසක් තියෙනවද?

ඔව් අනිවාර්යයෙන්ම. මට දැන් ඇති කියලා හිතෙනකල්ම මම රඟපෑමේ කටයුතුවල නිරත වේවි. මොකද කුඩා කල සිටම මට තිබුණෙ කලා පසුබිමක්. මගේ මවත් කලා කටයුතු කරන නිසා ඇයටත් ශක්තියක් වෙමින් ඉදිරියට තව තවත් දැවැන්ත නිර්මාණ කීපයක්ම කිරීමට මම දැනටමත් එකතුවෙලා ඉන්නවා. ඉදිරියේ දී ඒ සියල්ලම බලාගන්නට පුළුවන්.

වින්දුලා ලංකේෂ්වරී කියන්නේ කවුද?

මගේ නමේම තියෙන්නේ ජයග්‍රහණය කියන තේරුම. ඉතිං වින්දුලා ලංකේෂ්වරී කියන්නේ කවුද කියලා කියනවානම් නමේ තේරුම වගේම, තමන්ව තමන් විසින්ම දිනවන්නට උත්සාහ දරන, සංවේදී හදවතක් තියෙන, දරාගන්නට පුළුවන්, වැටෙන්න වැටෙන්න ශක්තිමත්ව නැඟිටින, හරි හයිය ගැහැනු ළමයෙක්.

මහේෂ් එදිරිසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here