014. වාතමිග ජාතකය

0
11

සුළඟේ වේගයට දුවන මුවාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, සිහි නුවණින් කටයුතු කරන්ට අපොහොසත් වීම නිසා මහා පින්වත් උතුමන් පවා පිරිහී යනවා. මෙයත් එවැනි ශෝචනීය කතාවක්. ඉතා හොඳින් ගුණධර්ම වැඩූ භික්ෂූන් වහන්සේ නමක් දානය හේතුවෙන් දායකයින් සමග අනවශ්‍ය ලෙස හිතවත් වීමෙන් විපතට පත්වූ විස්තරයකුයි මෙහි සඳහන් වෙන්නේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වැඩ වසද්දී මහා ධනවත් සිටු පවුලක තිස්ස නමින් එකම කුමාරයෙක් හිටියා. මොහුත් නිතරම බණ අසන්න වේළුවනාරාමයට ගියා. මොහුටත් සසර දුකින් එතෙර වෙන්න දැඩි කැමැත්තක් ඇතිවුනා. ගිහි ජීවිතේ අත්හැර පැවිදි වෙන්න තීරණය කළා. මා පියන් ගෙන් අවසර ඉල්ලුවා. ඒත් සිටුයුවළ තමන්ගේ එකම පුත්‍රයා පැවිදි වෙනවාට කිසිසේත් කැමැති වුනේ නෑ. ඔවුන් ඒ අදහසට දැඩිසේ විරුද්ධ වුනා. එතකොට තිස්ස කුමාරයාත් රට්ඨපාල කුමාරයා වගේ සතියක් නිරාහාරව බිම වැතිරිලා හිටියා. අන්තිමේදී දරුවා ගේ ජීවිතය රැකගැනීම පිණිස මා පියන් පැවිද්දට අවසර දුන්නා.

තිස්ස කුමාරයා මහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වුනා. භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිද්දී මේ භික්ෂුවත් ඒ සමග වැඩියා. පිළිවෙළින් සැවැත් නුවරටත් වැඩියා. මේ භික්ෂුව දන් වැළඳුවේ පිණ්ඩපාතෙන් විතරයි. සියළු ධුතාංග සමාදන් වුනා. ‘චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ’ නමින් අහස් තලයේ පුන් සඳක් සෙයින් සෑම තැනම ප්‍රසිද්ධ වුනා. බොහෝ නවක භික්ෂූන් මේ චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වගේ වෙන්න ආසා කළා.

ඔය කාලේ රජගහනුවර එක්තරා නැකැත් උත්සවයක් පැවැත්වුනා. ඒ නැකැත් උත්සවය දවසේ තිස්ස තෙරුන් ගේ දෙමාපියන් කුමාරයාගේ ආභරණ තැන්පත් කළ රිදී කරඬුව ළඟට ගියා. ඒ ආභරණ එළියට ගත්තා. ඒවා අත ගගා හඬන්න පටන් ගත්තා.

“හනේ…. අයියෝ…. ඉස්සර අනෙක් කුමාරවරු නැකැත් කෙළියට යද්දී අපේ පුත් කුමාරයාත් මේවා පැළඳගෙන රාජකුමාරයෙක් වගේ සැරසිලා ගියා නේද! අනේ අපේ එකම පුතාත් මහණ කරවාගෙන ශ්‍රමණ ගෞතමයන් සැවැත් නුවර ගියා ගියාමයි. අයියෝ…. කිසිම තොරතුරක් නෑ…. කොහේ ඉන්නවාද දන්නෙ නෑ….. හනේ… අපේ සිටු පවුලට වෙච්චි නැස්පැත්තිය!”

ඒ වෙලාවේ ඔවුන් හා හිතවත් එක් වෛශ්‍යා ස්ත්‍රියක් ඒ නිවසට ගියා. සිටු පවුල හඬ හඬා ඉන්නවා දැකලා මෙහෙම ඇහැව්වා.

“අහෝ… සිටුදේවී…. ඇයි මේ…. ආභරණ ගොඩකුත් එළියට අරගෙන මොකෝ මේ හඬ හඬා ඉන්නේ?”

“අනේ දුවේ…. ඔයා ඉතින් දන්නවා නේ…. අපේ තිස්ස කුමාරයා මහණ වුන වග. සැවැත් නුවර ගියා ගියාමයි. කිසිම තොරතුරක් නෑ…. හ්ම්…. මදෑ අපට වෙච්චි දේ”

“හා… හ්…. සිටුදේවී…. තිස්ස කුමාරයාට ගොඩාක් ආදරෙයි වගේ”

“දුවේ…. අපේ එකම පුත්‍රයාට ආදරය නොකොට වෙන කුමක් කරන්ට ද! මේ මහාධන සම්පත්තිය තිබෙන්නේ එයා වෙනුවෙන් නේ!”

“සිටු දේවිය, මං ඔයාලගේ එකම පුත්‍ර රත්නය ආයෙත් කැඳවාගෙන ආවොත් මට මේ ගෙදර සියලු ඉසුරු පවරලා දෙන්න කැමැති ද?”

“අනේ මයෙ දුවේ…. මොනවා අහනවා ද…. එහෙම වුනොත් මේ සේරම දේපළ වස්තුව ඔයාට තමයි. ඔයා තමයි මගේ පුත්‍රයා ගේ බිරිඳ වෙන්නේ”

ඒ වෙසඟනට තම පුතාව පොළඹවා ගැනීමට වුවමනා වියදම් පිණිස ධනයත් සිටු ගෙදරින් ලැබුනා. සේවක පිරිවරත් ලැබුනා. ඔවුන් රහසේ ම සැවැත් නුවර පිටත් වුනා. ධුතාංගධාරී චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් පිඬුසිඟා වඩින මාවත සොයාගත්තා. නිවසක් කුලියට ගත්තා. සිටු ගෙදරින් ආ සේවක පිරිස නිතරම තෙරුන්ට නොපෙනී සිටින්ට වග බලා ගත්තා. අති ප්‍රණීත ලෙස දානයත්, ප්‍රණීත බීම වර්ගත් සකසලා පූජා කළා. මේ මායාකාරී ස්ත්‍රිය ටිකෙන් ටික චුල්ල පිණ්ඩපාතික තිස්ස තෙරුන් ගේ කැපකරු දායිකාවක් බවට පත්වුනා. දැන් තිස්ස තෙරුන් වහන්සේ මේ දායිකාව සමග මොනතරම් හිතවත් ද යත් දැන් ඈ තම නිවසට ම වැඩම කොට දන් වළඳන්න කියලා තිස්ස තෙරුන්ට ආරාධනා කළා. රසයට ගිජුව සිහි නුවණින් තොරව දැන් ඒ නිවසට වැඩම කොට දන් වළඳනවා. ලස්සනට පුණ්‍යානුමෝදනා කරනවා.

දිනක් තෙරුන් වහන්සේ ඒ නිවසට පිණ්ඩපාතේ වැඩියා. සේවක ජනයා පැමිණ තෙරුන් වැඳ පාත්‍රය අතට ගත්තා. තෙරුන්ට නිවසේ වැඩ හිඳින්න සැලැස්සුවා.

“පින්වත්නි… අපේ උපාසිකාව කෝ?”

“අනේ ස්වාමීනී…. ඈට හොඳටෝ… ම අසනීපයි. ඔබවහන්සේ ගෙන් ආශිර්වාද ලබාගැනීමට ඈ මහත් ඕනෑකමින් බලාසිටිනවා. ඈට අනුකම්පා කොට ඇගේ කුටියට වඩින්න ස්වාමීනී”

එතකොට තිස්ස තෙරුන්ට තමන් මෙතෙක් කල් ධුතාංග සමාදන්ව සිටින භික්ෂුවක් බව අමතක වුනා. රස තණ්හාවට බැඳී තමන් ගේ ධුතාංගත් බිඳගෙන සිහිනුවණත් බිඳගෙන ඇය නිදාසිටි කුටියට පිවිසුනා. කුටියට ඇතුළු වූ සැණින් ඒ වෙසඟන තිස්ස තෙරුන්ව පොළඹවා ගත්තා. සිව්රු හරවා ගත්තා. තමන් පැමිණි කාරණය සැළකළා. අශ්ව රථයක නංවා ගෙන මහත් පිරිවර සහිතව රජගහනුවරට ගියා. කාම මඩගොහොරුවේ ම ගිලී ගියා.

දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේලා තිස්ස තෙරුන්ට අත්වූ මේ කණගාටුදායක ඉරණම ගැන කතාබස් කරන්න පටන් ගත්තා.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here