තරුණ පරපුර මුහුණදෙන දැවෙන සමාජ අභියෝගය එච්.අයි.වී.

0
2

මෑතකාලීන දත්ත විශ්ලේෂණයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යෑමේ භයානක ප්‍රවනතාවක් දක්නට ලැබේ.

මෙම තත්ත්වය ජාතික සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇත්තේ ආසාදනවල වැඩිම වර්ධනයක් රටේ අනාගතය භාර ගැනීමට සිටින අවුරුදු 15ත් 29ත් අතර වූ තීරණාත්මක තරුණ වයස් කාණ්ඩය තුළ වාර්තා වීම හේතුවෙනි. 2021 වසරේ වාර්තා වූ ආසාදිතයන් 411ක සංඛ්‍යාව කෙටි කාලයක් තුළ 2024 වනවිට 824ක් දක්වා දෙගුණයකටත් වඩා වර්ධනය වී තිබීමෙන් මෙම වසංගතයේ පැතිරීමේ වේගයෙහි බරපතළකම මනාව පැහැදිලි වේ. මෙම ව්‍යාප්තියේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කොළඹ සහ ගම්පහ යන නාගරික දිස්ත්‍රික්කවලට වන අතර ආසාදිතයන්ගෙන් බහුතරය පුරුෂයන් වන අතර එහි අනුපාතය ස්ත්‍රීන් හා පුරුෂයන් අතර 7:1 ක් ලෙස සටහන් වී තිබීමෙන් අවදානම් සහගත හැසිරීම් රටා සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ අවබෝධයේ පවතින ගැටලු ගම්‍ය වේ.

මෙම ආසාදන වර්ධනයට ප්‍රධාන හේතු වී ඇත්තේ ආරක්ෂිත නොවන ලිංගික සම්බන්ධතා සහ මත්ද්‍රව්‍ය සඳහා පොදු ඉඳිකටු භාවිතය වැනි අවදානම් ක්‍රියාකාරකම්ය. තරුණ පරම්පරාව නවීන සමාජ මාධ්‍ය සහ සංස්කෘතික විවෘත භාවය හමුවේ නව අත්දැකීම්වලට යොමු වුවද බොහෝ විට ඔවුන් ලිංගික සෞඛ්‍ය පිළිබඳ නිවැරැදි විද්‍යාත්මක දැනුමෙන් ඈත් වී සිටිති. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවදානම කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය නිවැරැදි තීරණ ගැනීමට නොහැකි වීම නිසා ආසාදන අවදානම ඉහළ ගොස් තිබේ. තවද ආසාදිත මවකගෙන් දරුවාට වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවද තවමත් තරුණ මවුවරුන් අතර මෛ වෛරසය පැතිරීම බැරෑරුම් තත්ත්වයකි.

මෙම භයානක සමාජ ප්‍රවණතාව හමුවේ ජාතියක් ලෙස අප විසින් දිගුකාලීන සහ සමෝධානික විසඳුම් වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ පවතින මෙම ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන තුළ ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය විධිමත් කිරීම කාලින අවශ්‍යතාවකි.

වගකීම් සහගත ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය විධිමත් කිරීම කාලීන අවශ්‍යතාවකි. වගකීම් සහිත ලිංගික හැසිරීම් සහ ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව විවෘත හා අවංක සංවාදයක් ඇති කිරීම මගින් තරුණ පරපුරට නිවැරැදි තොරතුරු වෙත යොමුවිය හැක.

සතුටට කරුණ නම් ශ්‍රී ලංකා රජය මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන් ඉතා ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කිරීමයි. රට පුරා පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථාන 41ක් හරහා ඔනෑම පුරවැසියෙකුට කිසිදු ගාස්තුවකින් තොරව සහ පෞද්ගලිකත්වයට හානි නොවන ලෙස රෝග නිර්ණය කිරීමේ පරීක්‍ෂණ සහ ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙහිදී අවධාරණය කළ යුතු වැදගත්ම කරුණ වන්නේ යම් ආසාදිතයකු නිවැරැදි ලෙස ප්‍රතිකාර ලබා ගන්නේ නම් එම පුද්ගලයාට වෛරසය කිසිවෙකුට සම්ප්‍රේෂණය කළ නොහැකි තත්ත්වයට පත්විය හැකි බවයි. මෙම විද්‍යාත්මක සත්‍යය පිළිබඳව සමාජය දැනුවත් කිරීම, එච්.අයි.වී. ආසාදනය හා බැඳුණු සමාජ කලංකය ඉවත් කිරීමටත්, ආසාදිතයන් බියෙන් තොරව ප්‍රතිකාර වෙත යොමු වීමටත් විශාල පිටුවහලක් වනු ඇත.

අවසන් වශයෙන් මෙම දැවෙන අභියෝගය ජය ගැනීම තනි ආයතනයක හෝ වැඩසටහනක වගකීමක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන්නේ පෞද්ගලික වගකීම, නිවැරැදි දැනුවත් භාවය සහ සමාජයේ සාමූහික සහයෝගයයි. එච්.අයි.වී. ආසාදන වර්ධන ප්‍රවනතාව ආපසු හැරවීම සඳහා තරුණ පරම්පරාවට අත්වැලක් දෙමින් බියෙන් හා සැඟවී සිටීමෙන් තොරව පවතින සෞඛ්‍ය සේවාවන් වෙත යොමු වීමටත්, වගකීම් සහගත ජීවන රටාවක් අනුගමනය කිරීමටත් අප දිරිමත් කළ යුතු වේ.

ඩබ්ලිව්. ඩී. එස්. ආර්. සෙනවිරත්න

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here