නිෂාම් කාරියප්පර් අද උදේ දැම්මත් මේක ඊයේ ඉඳන් ප්‍රචාරය වෙනවා – දයාසිරි ජයසේකර
පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවේ සාකච්ඡා කළ සංවේදී කරුණු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රසිද්ධ කළ විපක්ෂ මන්ත්‍රීවරයා එම කාරක සභාවෙන් නෙරපිය යුතු බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගත් බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න උසස් නිලතල කාරක සභාවේදී කළ බව කියන ප්‍රකාශයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
මේක තමයි ප්‍රශ්නය. කතා කරන්න ඕනෑ දේ හා කතා කළ යුතු තැන ගැන ප්‍රශ්නයක් මේ තියෙන්නේ. උසස් නිලතල කාරක සභාව ප්‍රධාන කාරක සභාවක්. කැඳවන්නේ අගමැතිතුමිය. ඒ කාරක සභාවට එන නිලධාරීන් කාරක සභාව විශ්වාස කරලා අහන ප්‍රශ්නවලට දෙන උත්තර කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයෙක් ට්විටර් කරනවා නම් පෞද්ගලික ගිණුමකින් ප්‍රචාරය කරනවා නම් ඒක විශාල වරදක්. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න ඕනෑ.
අදාළ කාරක සභාවල කාර්යයන් ගැන අධ්‍යයනය කළයුතු වෙනවා. නිලධාරීන් අසන ප්‍රශ්නවලට දෙන පිළිතුරු එළියේ දී ප්‍රකාශ කිරීම නතර කළ යුතුයි. නැත්නම් ඒක නවත්වන්න කියලා උපදෙස් දෙන්න. මේක ඉතා වැදගත් කරුණක්. අදාළ මන්ත්‍රීවරයා ගෙන්වා අවවාද කරන්න කියල හරිනම් විපක්ෂයේ මන්ත්‍රීවරුයි කියන්න ඕනෑ. මේ කළ වරදට හරි නම් කාරක සභාවෙන් ඒ මන්ත්‍රීවරයා නෙරපිය යුතුයි. රටේ තියෙන විශේෂ සංවේදී කරුණක් ගැනයි මේ කතා කරලා තියෙන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා- යම් කරුණක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමුකළ යුතුයි. මම උසස් නිලතල කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. ඊයේ උසස් නිලතල කාරක සභාව වෙත රවී සෙනවිරත්න මහතා ආවා. ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාම් කාරියප්පර් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට උත්තරයක් දුන්නා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන තිබෙනවා කියලා. අද පුවත්පත්වලින්, මාධ්‍ය ආයතනවලින් අපෙන් අහනවා මේක මොකක්ද කියලා. මේ වෙනකොට පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා, එම ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටි බවට එතුමා ප්‍රකාශ කළේ නැහැ කියලා. එතුමා ඒ වගේ ප්‍රකාශයක් කළේ නැහැ. නමුත් ඒ වගේ දෙයක් සම්බන්ධයෙන් යම් නිවැරදි කිරීමක් කරන්න. මොකද උසස් නිලතල කාරක සභාවට ඇවිත් මේක කියන්න ඕන නැහැ. නියෝජ්‍ය කථානායකතුමනි වහාම ගිහින් අධිකරණයට කියන්න කව්ද මේ මහ මොළකරු කියලා. නැත්තම් වෙබ්සයිට් ඇතුළු මාධ්‍ය මේ සම්බන්ධයෙන් විමසීම් කරනවා. පොලිස් ඇමැති හරි වගකීමක් ඇති වෙනත් කව්රු හරි මේ සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් කරන්න.
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා
එම කරුණු සම්බන්ධයෙන් විමර්ශන සිදු වෙනවා. එම කාරක සභාවේදී විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. එහෙම නැතුව එතුමා ස්වෙච්ඡාවෙන් ඇවිත් කිව්වේ නැහැ. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාත් එතැන හිටියා. ඔහු අහන ප්‍රශ්නවලට උත්තර දීමක් කළේ. එහෙම නැතිව ඒක මාධ්‍යයට කිව්ව නෙවෙයි. ඒ වගේම තමයි මම හිතන්නේ නැහැ එම කරුණු සම්බන්ධයෙන් මෙම පාර්ලිමේන්තුවටවත් අනාවරණය කළ යුතුයි කියලා. මොකද මේ තොරතුරු විමර්ශන මට්ටමේ තිබෙන නිසා. ව්‍යංගාර්ථ හා වෙනත් මාර්ගවලින් එම විමර්ශන කඩාකප්පල් කරන්න එක එක්කෙනාට ඉඩ දෙන්න එපා.
මන්ත්‍රී දයාසිරි ජයසේකර
මේක ට්වීටර් කරලා තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිෂාම් කාරියප්පර් මහතා. නවක මන්ත්‍රීවරයකු ලෙස එලෙස කිරීම වැරදියි. මොකද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ හෝ වෙනත් කාරක සභාවක සිදුකරන දේවල් අපි කිසිම දවසක ට්විටර් කරන්නේ නැහැ. එතුමා දාලා තිබුණේ අද උදේ. නමුත් මේක ඊයේ ඉඳන් ප්‍රචාරය වුණා. අපට තිබෙන ප්‍රශ්නය ඒකයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන
Saru FM Media