බැකෝ සමන්ගේ බිරිඳගේ ලක්ෂ 900 මුදල් ගනුදෙනු හෙළිවෙලා

0
4

හෙරොයින් ජාවාරමට අනුබල දීමේ චෝදනාව ගැනත් උසාවිය වාර්තාවක් ඉල්ලයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාදිකා ලක්ෂාණි නමැත්තිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (09දා) නියෝග කළේය.

එම සැකකාරියගේ හා ඇගේ සමීපතමයන් කිහිපදෙනකුගේ නමින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් 13ක් මේ වනවිට තහනමට ලක්කර ඇති බවත් ඉන් ගිණුම් පහක්ම පවත්වාගෙන ගොස් ඇත්තේ මෙම සැකකාරියගේ නමින් බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එකී නියෝගය කළේය. එම බැංකු ගිණුම් පහට අමතරව සැකකාරිය නමින් ඩුබායි රාජ්‍යයේ තවත් බැංකු ගිණුම් හතරක් ආරම්භ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අධිකරණයට පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය සැකකාරියගේ නැගණියගේ බැංකු ගිණුම් දෙකක රුපියල් ලක්‍ෂ 765ක මුදලක් ඇති බව අනාවරණය කරගෙන ඇතැයි ද පැවසුවාය.

2024, 2025 යන කාලය තුළදී එම සැකකාරියගේ පියාගේ නමින් ආරම්භ කොට තිබූ බැංකු ගිණුමක් හරහා රුපියල් ලක්ෂ 211 ක් සංසරණය වී ඇති බවත් මේ සියලු මුදල් හෙරොයින් ජාවාරම්වලින් උපයාගත් මුදල් බවට සැකකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් ජයවීර මහත්මිය පැවසුවාය.

තම අධිකරණය විසින් එම සැකකාරිය තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කරනුයේ ඇයට එරෙහිව එල්ලවී ඇති මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා සම්බන්ධයෙන් බවත්, ඇයට එරෙහිව මහාධිකරණය හමුවේ ගොනුවී ඇති හෙරොයින් ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන චෝදනා පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කළේය.

එම සැකකාරිය වයස අවුරුදු තුනක් පමණැති සිය දියණිය ද වඩාගෙන අධිකරණයේ විත්ති කූඩුවට ගොඩවූ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ හා බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්‍ෂාව යටතේ එම සැකකාරිය අධිකරණයට රැගෙනවිත් තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here