ශ්‍රී ලංකා අධ්‍යාපනය සඳහා වන පුරවැසි එකමුතුව සංවිධානය විසින් පසුගිය දා පවත්වන ලද සාකච්ඡාවේදී නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව අවධානය යොමු කරමින් පුරවැසි සංවිධානයේ කැඳවුම්කරු මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය හරිස්චන්ද්‍ර ගාම්භීර මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් ඇසුරින් මෙම ලිපිය සැකසී ඇත.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පුරවැසි එකමුතුව අවධාරණය කරයි. වත්මන් අධ්‍යාපන ක්‍රමය නූතන සමාජයකට අවශ්‍ය දක්ෂ, යහපත් පුරවැසියකු බිහි කිරීමට අපොහොසත් වී ඇත. එය රටේ ශ්‍රම බළකායට අර්ථවත් ලෙස දායක වීමට ද නොහැකි තත්ත්වයක් උදාවීමට ප්‍රධාන හේතුවක් වී ඇත.
දරුවන්ට අධ්‍යාපනය ලබාදීම රජයක මූලික වගකීමක් වූ නමුත් මෙම අර්බුදය තුළ එම භාරධුර කාර්යය දෙමාපියන් මත පැටවී ඇත.
ලොව පුරා අනෙකුත් රටවල් තම අධ්‍යාපන ක්‍රම සම්පූර්ණ ප්‍රතිසංස්කරණයන්ට ලක් කරමින් වඩාත් ශීලාචාර සමාජයක් හා දියුණු ආර්ථිකයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටියි. එහෙත් ශ්‍රී ලංකාව සමාජ සංවර්ධනයේ සියලු දර්ශකයන්ගෙන් පසුපසට ගමන් කරමින් සිටින බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය.
දැනට පවතින කටපාඩම් කරවීමේ අධ්‍යාපන ක්‍රමය විචාරාත්මක චින්තනයට හෝ බුද්ධිමත් අඛණ්ඩ ඇගයීම් ක්‍රමවේදයකට මඟ පාදන්නේ නැත. වර්තමාන සමාජය පුරා ව්‍යාප්ත වී ඇති සියලු දුෂ්චරිත, අක්‍රමිකතා, දූෂණ, සහ වංචාවන් සඳහා මූලික හේතුව මෙම යල් පැන ගිය අවිචාරවත් අධ්‍යාපන ක්‍රමය බවට මෙම පුරවැසි එකමුතුව විශ්වාසය පළ කරයි.
පවතින ජාතික අධ්‍යාපන ක්‍රමය නැවත සමීක්ෂණය කර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය හදිසි කටයුත්තක් බව අවධාරණය කරයි. පුරවැසි එකමුතුව, ඒ සඳහා පහත සඳහන් මෙවැනි යෝජනා ඉදිරිපත් කරයි.
පූර්ව ළමාවිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ,
පූර්ව ළමාවිය යනු ජීවිත කාලය පුරාම ඉගෙනීමේ හා සංවර්ධනයේ මූලික අඩිතාලමයි. නුපුහුණු හෝ අර්ධ පුහුණුවක් සහිත ගුරුවරුන් විසින් පවත්වාගෙන යනු ලබන වත්මන් පූර්ව ළමාවිය අධ්‍යාපන ක්‍රමය අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට අසමත් වී ඇත. මෙම අවිධිමත් පද්ධතිය සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කළ යුතුය.
සම්පත් සමව බෙදා හැරීමේ අවශ්‍යතාවය
මානව හා භෞතික සම්පත් බෙදා හැරීමේදී ග්‍රාමීය හා නාගරික පාසල් අතර මෙන්ම ජනප්‍රිය හා සෙසු පාසල් අතර ද දැඩි විෂමතාවක් පවතියි. මේ අසාධාරණ ක්‍රමය වෙනස් කර ප්‍රමිතිගත ක්‍රමවේදයකට අනුව සියලුම පාසල් වෙත මානව හා භෞතික සම්පත් ජනගහන අනුපාතයට අනුව බෙදී යන ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම
වර්තමාන පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සිසුන් තුළ අනවශ්‍ය තරගයක් හා දැඩි පීඩනයක් ඇති කරයි. එබැවින් රටේ සියලුම පාසල්වලට එක හා සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහතික කළ යුතු ය. එසේ වුවහොත් මෙම ශිෂ්‍යත්වය අර්ථ විරහිත ව්‍යායාමයක් වනු ඇත.
ප්‍රාථමික හා ද්විතීයික පාසල් වෙන් වෙන්ව පවත්වාගෙන යෑම ප්‍රාථමික අධ්‍යාපනය ද්විතීයික අධ්‍යාපනයෙන් වෙන් කර ස්වාධීන පාසල් පද්ධති දෙකක් යටතේ පවත්වාගෙන යා යුතුය. මෙය, ජනප්‍රිය පාසල්, සංකල්පය බිඳ දමමින්, කෘත්‍රිමව නිර්මාණය වී ඇති ඇතැම් පාසල්වල ඉහළ මට්ටම ඉවත් කිරීමට ද උපකාරී වනු ඇත.
ටියුෂන් සංස්කෘතිය නිමා කිරීම
විභාග මත පදනම් වූ ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදය සහ ටියුෂන් පන්ති මත සිසුන් යැපීම හේතුවෙන් දරුවන්ගෙන් තුනෙන් එකක් පමණ පාසල් නොයන තත්ත්වයක් උද්ගත වී ඇත. ටියුෂන් මාෆියාව අධ්‍යාපනයේ මූලික ආචාරධර්ම පවා නොතකා හරියි. එය අඩු ආදායම්ලාභී පවුල්වලට මහත් ආර්ථික බරක්වී ඇත. බුද්ධිමත් අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් ස්ථාපිත කිරීම මගින් ටියුෂන් කර්මාන්තයේ අවශ්‍යතාව ස්වාභාවිකවම අහෝසි වී, විධිමත් පාසල් අධ්‍යාපනයේ වටිනාකම නැවත ප්‍රතිස්ථාපනය වනු ඇත.
STEAM අධ්‍යාපනයට මාරු වීම
මානව ශාස්ත්‍ර අධ්‍යයනයට වැඩි බරක් දෙන වත්මන් අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම STEAM
(Science,Technology, Engineering, Arts, and Mathematics) ක්‍රමය මත පදනම් වූ විෂය මාලාවකින් ප්‍රතිස්ථාපනය කළ යුතුය. මෙම වෙනස්කම් සඳහා ගුරුවරුන් නැවත පුහුණු කළ යුතු අතර ඔවුන්ගේ සමාජ හා වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට ද කටයුතු කළ යුතුය.
විෂය කරුණු ජාතික අරමුණු සමග පෙළගැස්වීම
අධ්‍යාපනයේ ජාතික අරමුණු, නිපුණතා, විෂයඅනුබද්ධ අරමුණු සහ විෂය කරුණු එකිනෙකට ගැළපෙන පරිදි සකස් කළ යුතුය. ගුරුවරයා සිසුවාට උගන්වන විෂය කරුණු අවසානයේ ජාතික අරමුණු සමග ගැළපෙන අයුරින් මෙය සැලසුම් කළ යුතුය.
ආචාර ධර්ම විෂය මාලාවට අන්තර්ගත කිරීම
පවතින අධ්‍යාපන ක්‍රමය ආචාර ධර්ම සහිත පුරවැසියකු බිහි කිරීමට අපොහොසත් වී ඇත. එබැවින් ආචාර ධර්ම විෂය මාලාවට සිරස්ව (පන්ති මට්ටම් හරහා) සහ තිරස්ව (විෂයයන් හරහා) අන්තර්ගත කළයුතුය.
පාසල් කාලය ප්‍රතිව්‍යුහගත කිරීම
දීර්ඝ පාසල් කාලය සහ අඩු විවේකය හේතුවෙන් පුරවැසියන්ට ඔවුන්ගේ සුන්දර යොවුන් විය අහිමි වී ඇත. එබැවින් සෑම පුද්ගලයකුටම වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද අවසන් කිරීමට හැකි වන පරිදි පාසල් කාලය ප්‍රතිව්‍යුහගත කළ යුතුය.
ඒ අනුව පුරවැසි සංවිධානය ප්‍රකාශ කරන්නේ
ශ්‍රී ලංකාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වනවා පමණක් නොව, එය අතිශයින්ම හදිසි අවශ්‍යතාවයක් ද බවයි. නිශ්චිත හා තීරණාත්මක ක්‍රියාමාර්ගයකින් තොරව අප තවදුරටත් අනෙකුත් රටවල් හා සසඳනවිට පසුපසට යනු ඇත. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතියේ ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා අනාගතයට ගැළපෙන ප්‍රතිපත්ති රාමුවක් වහාම සකස් කරන ලෙස සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් වගකීමෙන් යුතුව ඔවුහු ඉල්ලා සිටිති.
● මිහිරි නවෝදා වික්‍රමසිංහ
Saru FM Media