සිරිමාවෝ බණ්ඩාරනායක නම් දේශයට ආදරය කළ වීර මාතාව

0
3

ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය දැයෙන් සමුගෙන අදට වසර 25කි.

බාන්ස් රත්වත්ත ඩයස් මුදලිතුමාගේ හා රත්වත්ත කුමාරිහාමි යුවළගේ දියණිය වශයෙන් 1916 අප්‍රේල් 17 දා රත්නපුර, බටුගෙදර, පුස්සැල්ලියැද්ද වලව්වෙදි උපතලත් සිරිමාවෝ රත්වත්ත ඩයස් කුමාරිහාමි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. ඇය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධුරයට පත්වෙතැයි දෙමාපියන් හෝ කිසිවෙක් නොසිතන්නට ඇත.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමග ඇය විවාහ වන විට එතුමා එවකට පළාත් පාලන, සෞඛ්‍ය ඇමැතිවරයා විය. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් 1956 දී අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ පසු ඇය මහිලා සමිති ව්‍යාපාරයට ද එක්වූවාය.

සුනේත්‍රා, චන්ද්‍රිකා යන දියණියන් ද අනුර පුත්‍රයා ද තමා ද තනි කරමින් 1959 දී එතුමා ඝාතනයවීමත් සමග අසරණ වූ එතුමිය ජනතාවගේ බලවත් ඉල්ලීම මත 1960 මැයි 07 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයට පත්වූවාය. ලංකා සමසමාජ පක්‍ෂය, කොමියුනිස්ට් පක්‍ෂය සමග නිතරග ගිවිසුමක් මත 1960 ජූලි මැතිවරණයට මුහුණ දී සෙනෙට් මන්ත්‍රීවරියක ලෙස පත්වී ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වශයෙන් අභිෂේක ලැබූ ඇය කීර්තිමත් නාමයක් ශ්‍රී ලංකාවටම ලබා දෙන්නට ජාතියේ නායකත්වය ද භාර ගත්තාය.

1961 ඔක්තෝබර් මාසයේ ලන්ඩන් නුවර පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මේලනයට සහභාගි වූ අතර සැප්තැම්බර් මාසයේදී බ්‍රිල්ගෙඩ්හි පැවති නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වී 1962 චීනයට ගොස් චීනය හා ඉන්දියාව අතර දීර්ඝ කාලයක් තිබූ දේශ සීමා අර්බුදය විසඳීමට මැදිහත්වීම මගින් දෙරටේම මිත්‍රයන් බවට ශ්‍රී ලංකාව පත්කරවීය.

පෞද්ගලික පාසල් රජයට පවරාගෙන මහජන බැංකුව, ලංකා බැංකුව, රක්‍ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව ජනසතු කළ අතර වතු කම්කරු ප්‍රශ්නය විසඳීමට සීරිමා – ශාශ්ත්‍රි ගිවිසුම අත්සන් තබා ක්‍රියාත්මක කරන ලදී.

ධනපති පංතිය වියරු වැටුණු අතර 1962 හමුදා ප්‍රධානීන් කිහිපදෙනෙක් මෙහෙයවූ කුමන්ත්‍රණය ද සාර්ථක ලෙස එතුමිය මැඬපවත්වන ලදී.

1964 සී. පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුක්ත බලවේගය එ. ජා. පක්‍ෂය සමග එක්වී වන රක්‍ෂණ කතා විවාදයේදී ඡන්දයෙන් පරාජයට පත් කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් ලෙස බලයේ රැඳී නොසිට 1964 දෙසැම්බර් 04 ජාතිය අමතා කතා කර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.

1965 මැතිවරණයට මුහුණ දී එතුමිය අත්තනගල්ලෙන් ජයග්‍රහණය කළ අතර විරුද්ධ පක්ෂ නායිකාව බවට පත්වූවාය.

1968දී වාමාංශික ප්‍රධාන පක්ෂ දෙක සමග ගිවිසුමක් ඇති කරගනිමින් 1970 මහ මැතිවරණයට මුහුණ දී අත්තනගල්ලේදී වැඩි ඡන්ද 21,723ක් ලබා ගනිමින් ජයග්‍රහණය කර 02 වැනි වරට ද අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවාය.

1970 සැප්තැම්බර් 06 දා ලුසාකා නගරයේ පැවති රටවල් 52කින් යුත් නොබැඳි ජාතියේ සමුළුවේ සභාපති ධුරයට පත් වූවාය. 1971 එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී ඉන්දීය සාගර කලාපයන් සාමය ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවලට අන්තර් ජාතික සහයෝගය ලබාදුන් අතර දේපළ කර්මාන්ත පාලනය රජයේ පස් අවුරුදු සැලැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව චීන රජයේ ත්‍යාගයක් ලෙස ලබා ගැනීමට එතුමිය සමත් වූ අතර පක්ෂයට අඩුපාඩුවක්ව පැවැති මහල් කිහිපයකින් සමන්විත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට 1970 සැප්තැම්බර් මස 02 වැනි දා මුල්ගල තබන ලදී.

1971දී නොමඟ ගිය තරුණයන් ආරම්භ කළ කැරැල්ල මැඬපැවැත්වූයේ දයාබර මාතාවක් ලෙසය. 14,000ක් පමණ දෙනා පුනරුත්ථාපනය කළ අතර එය ඊට වර්ෂ ගණනාවකට පසු භීෂණය ඇති කර, තරුණයන් දහස් ගණනක් මරා දැමූ පාලකයන්ට ද කදිම පාඩමකි.

එම කැරැල්ල සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කළ අතර එම තරුණයන් දැනට ද විශේෂ වූ ස්ථානවල රැකියා කටයුතු කරයි.

1972 අපරාධ යුක්ති විනිශ්චය කොමිසම් සභාව සම්මත කළ අතර 1972 මැයි 22දා ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් කිරීමේ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කළාය. කතරගම මනම්පේරි තරුණිය ඝාතනය එතුමිය බලවත් කම්පනයට ලක් වූ අතර චූදිතයන් අධිකරණය හමුවට ගෙන ඒමට විශේෂයෙන්ම කටයුතු කරන ලදී. කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අත්කර ගැනීමට එතුමිය ඉන්දියාව සමග ක්‍රියා කළ අන්දම ඇගේ රාජ්‍ය තාන්ත්‍රික අවබෝධය මැනවින් ප්‍රකට කළ අවස්ථාවකි.

1966 වැඩ වර්ජනය නිසා සේවය අහිමි වූ සියලු වෘත්තීය සමිති සාමාජිකත්වයට හිඟ වැටුප් සමග රැකියා ලබා දී එතුමිය මිය යනතුරු වෘත්තීය සමිතිවල අදහස්වලට නිරතුරුවම කන්දුන්නාය. පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය සපයා මහවැලි ජලය පොල්ගොල්ලෙන් උතුරට හරවා මහවැලි ව්‍යාපාරයට අත්තිවාරම දැමුවාය.

1976 අගෝස්තුවේදී එතුමිය 05 වැනි නොබැඳි ජාතිීන්ගේ සභාපති වශයෙන් ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්, ඉන්දියා අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනිය, සයිප්‍රසයේ අගරදගුරු මකාරියොස් මහදන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් පත්වීම උසස් රාජ්‍යතාන්ත්‍රිකව ලැබුණු ගෞරවයක්ම විය. එය ශ්‍රී ලාංකිකයන්ට පළමුවරට මෙවැනි උත්තරීතර තනතුරකට පත්වූ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වීම සියලු අයටම කීර්තියක් විය.

1975 වාමාංශික එක්සත් පෙරමුණ බිඳවැටුණු අතර 1977 මහ මැතිවරණයට එතුමිය මුහුණ දුන්නේ එතරම්ම සංවිධානයක් කර නොවේ.

1977 බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගේ මෙන්ම වෘත්තීය සමිතිවල අයගේ ගෙවල් ගිනි තබා ස්ථාන මාරු කරමින් දරුණු වධ හිංසාවලට ලක් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාදැමීමට නොයෙක් කුමන්ත්‍රණ කරන ලදී. දරුණුම කාලසීමාවකට මැතිනිය මුහුණ දුන් අතර ලෝකයේ කීර්තිමත් රාජ්‍ය නායිකාවක් පක්ෂ නායිකාවක් මෙන්ම ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ජේ. ආර්. ජයවර්ධන ප්‍රමුඛ රජය කටයුතු කළ අතර එයට විරුද්ධව මහාමාර්ගයට අවතීරණය වූ වෘත්තීය සමිති නායකයන්ව සිරභාරයට යවන ලදී.

සෝමපාල සහෝදරයා වැනි වෘත්තීය සමිති නායකයන් අමු අමුවේ මරා දමන ලදී.

1982 ජනාධිපතිවරණයට ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා ඉදිරිපත් වීමට නොහැකි වූ අතර දිරිය දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය විජය කුමාරතුංග මැතිතුමා සමග හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ඡන්ද සටන දියත් කළ නමුත් එතුමා පරාජයට පත්විය. මැතිවරණය අවසන් වූ වහාම විජය ද සිරගෙට යැවූ අතර පක්ෂය බේරාගැනීමට මැතිනියට ද බලවත් පරිශ්‍රමයක් දැරිමට ද සිදුවිය.

එවකට පැවැති රජය 1983දී කළු ජූලිය ඇති කරමින් කළ සම්පූර්ණ විනාශය නිසා ජන වාර්ගික යුද්ධය නිමා කිරීමට අපොහොසත් වී ඇත.

එම රජය භීෂණ යුගය ද ආරම්භ කරමින් තරුණයන් විශාල සංඛ්‍යාවක් අමු අමුවේ මරා දමන ලද අතර 1971 කැරැල්ල මැතිනිය මැඬපැවැත්වූ ආකාරයට සම්පූර්ණ වෙනස් ලෙස භීෂණ යුගය ගෙන යන ලදී. 1988 දී රත්මලානේ මහජන රැස්වීමේදී එතුමියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ පසුගියදා කොළඹ නගර සභා පිටියේදී ජනාධිපතිතුමියට බෝම්බ එල්ල කිරීමට සමාන කරමිනි.

එතුමිය අසනීප තත්ත්වයට පත්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය 1994 මහ මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණ මෙහෙයවා අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවාය.

1994 නොවැම්බර් 09 වැනි දා පැවැති ජනාධිපතිවරණයෙන් ඡන්ද 4,709,205ක් හෙවත් සියයට 62.28 ක ප්‍රතිශතයක් ලබා ගත් එතුමිය ජනාධිපතිතුමිය වශයෙන් පත් වූ අතර මැතිනිය අග්‍රාමාත්‍ය ධුරයට නැවත වරක් පත්වූවාය.

සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය තම දූ දරුවන් ජාතියට හිමි කර දෙමින් 2000 ඔක්තෝබර් 10 දින නිට්ටඹුවේ සංඝබෝධි විදුහලට ගොස් ආපසු කොළඹ බලා ගමන් කරමින් සිටියදී, කඩවත පෞද්ගලික රෝහලකදී සදහටම ජාතියෙන් සමුගත්තාය.

සුනේත්‍රා හා චන්ද්‍රිකා, අනුර දරුවන්ට මෙන්ම ඊටත් වඩා තම මාතෘභූමියට ආදරය කළ ඇය 2000 ඔක්තෝබර් 25 වැනිදා සදහටම සමුගත්තාය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here