හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අයථා ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණයට සහාය ලබා දුන්නේ යැයි අත්අඩංගුවට ගන්නා ලද මැණික් ව්‍යාපාරිකයෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
අල්ලස් කොමිසම විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලද මේ සැකකරු කෙහෙළිය මහතාගේ ඥාති සොයුරෙකු බව පැවසේ.
අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍යවරයා සමග මුදල් විශුද්ධිකරණ කටයුතුවලට සම්බන්ධ වී ඇති බවට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටියේය.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් මේ අවස්ථාවේදී සැකකරුට ඇප ලබාදුනහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරින් අධිකරණය හමුවේ පැවසීය.
ඒ අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
සබැඳි පුවත්:
Saru News










