යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් වංචා කළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම ජාවාරම සඳහා සෘජුව සම්බන්ධ වූ, විදේශ රැකියා අංශයේ වසර ගණනක පළපුරුද්දක් ඇති මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ලේදී හා කඩවත ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බව සඳහන්වේ.
කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනයක් ලෙස කටයුතු කරමින් මීගමුව ප්‍රදේශයේ වසර එක හමාරක කාලයක් පමණ පවත්වාගෙන ගිය FC International ආයතනය මගින් හංගේරියාව, නෙදර්ලන්තය හා ෆින්ලන්තය වැනි රටවල සාත්තු සේවා අංශයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අය කර ඇති අතර, මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 20ක් ලැබී ඇත.
එහිදී විමර්ශන නිළධාරීන් විසින් සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ රැකියා නියෝජිතායතනයට හංගේරියා රටට පමණක් රැකියා ඇණවුම් ලැබී ඇති නමුත් ඒ අතරට සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා නොමැති බවය.
අදාළ රැකියා නියෝජිතායතනයේ හිමිකාරිය, ඇයගේ සැමියා හා අදාළ ආයතනයේ මුදල් භාරව කටයුතු කළ කළමනාකරු මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසු විමර්ශන නිළධාරීන් මගහරිමින් සැඟවී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව හෙට (10) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
එමෙන්ම, විමර්ශන නිළධාරීන් මගහැර සැඟව සිටින පුද්ගලයින්ට විදේශ ගමන් තහනමක් පැනවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.
මෙම වංචාවට හසුවූ තවත් පුද්ගලයින්ගෙන් තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, ඊට අදාළව ද මේ වන විට විමර්ශන සිදුකරමින් පවතී.
එසේම අදාළ රැකියා නියෝජිතායතනයේ බලපත්‍රය අත්හිටුවීමටද මෙවන විට පියවර ගෙන තිබේ.
වංචනික විදේශ රැකියා ආයතන හෝ පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් 011 288 2228 අංකය ඔස්සේ කාර්යාංශ විශේෂ විමර්ශන අංශය යටතේ ස්ථාපිත පොලිස් ඒකකයට දැනුම් දෙන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Saru FM Media