සමාජවාදී කියුබාවට එරෙහිව නැවත නැවතත් තර්ජන එල්ල කිරීමෙන් පසුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ මාධ්‍ය වෙත පවසා සිටියේ කියුබාව සමඟ ඛණිජ තෙල් ඇතුළු විවිධ කේෂ්ත්‍ර සම්බන්ධයෙන් ආවරණය වන “ගිවිසුමක්” අත්සන් කිරීමට සාකච්චා පවත්වමින් තිබෙන බවයි. මේ වනවිට ට්‍රම්ප් විසින් කියුබාවට තෙල් හා ආධාර යවන රටවලට එරෙහිව නව තීරු බදු ගැසීමේ තීරණයට එරෙහිව මෙක්සිකෝව, චීනය, රුසියාව, වියට්නාමය පමණක් නොව වතිකානුව පවා තම විරෝධය පල කරමින් සිටි.
ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ සමස්ත රටම යුදමය තත්වයකට ලෑස්ති කල කියුබාව ඇමරිකානු ප්‍රකාශ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර තම රට බලපෑම් හමුවේ දණ නොගසන බව ඉතා දැඩිව කියා සිටි. පසුගිය ජනවාරි 03 වනදා සිට කියුබාව සමස්ත රටම ඇමරිකන් ආක්‍රමණයට එරෙහිව සන්නද්ධ කර ජනතාව පෙළගස්වනු ලැබිණි.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ කියුබාව සමඟ ගිවිසුමකට එළඹීමට ආසන්න බවත් ඉන් පසුව කියුබාව නිදහස් රටක් බවට පවත්වනු ඇති බවයි.
“අපි කියුබානු ඉහළම නායකයින් හා රාජතාන්ත්‍රික නිලධාරීන් හා කියුබාවේ ජනතාව සමඟ කතා කරනවා, අපි බලමු මොකද වෙන්නේ කියලා, නමුත් මම හිතන්නේ අපි කියුබාව සමඟ ගිවිසුමකට එළඹෙයි. ඇමරිකාව කියුබාවට හා කියුබානු ජනතාවට සාධාරණයක් සිදු කිරීමට සුදානම්” යයි ඇමරිකානු ජනාධිපතිවරයා ෆ්ලොරිඩාවේ සිට මාධ්‍ය වෙත පැවසුවේය.
ට්‍රම්ප් දිගින් දිගටම පවසන්නේ කියුබාව එක්සත් ජනපදයේ ආරක්ෂාව සම්බන්ධයෙන් “විශේෂ තර්ජනයක්” එල්ල කරන බවයි. විශේෂයෙන් චීනය කියුබාවේ සිට ඇමරිකානු පරිපාලනයේ රාජතාන්ත්‍රික සංවාද වලට ඇහුම් කන් දෙන බවට චෝදනා කර සිටි. නමුත් මෙම චෝදනා චීනය හා කියුබාව ප්‍රතික්‍ෂේප කරන අතර පසුගිය ජනවාරි දා චීනය විසින් ඩොලර් මිලියන 80ක් හා සහල් ටොන් 60000ක් කියුබාව වෙත ලබා දෙනු ලැබුවේ 1962 සිට 65 වසරක සම්බාධක අවසන් කර කලාපයේ සාමය හා ආරක්ෂාව තහවුරු කරන ලෙස ඇමරිකාවට බල කරමිනි.
වෙනිසියුලාව තුල සිදු කල ඇමරිකානු කුමන්ත්‍රණයෙන් පසු, කියුබාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ කියුබාව “අසාර්ථක” සහ “අහිතකර” රාජ්‍යයක් බවත්, කියුබාවට “තවදුරටත් එයට සහාය දීමට වෙනිසියුලාව නොහැකි තත්වයක් තුල කියුබානු සමාජවාදී රජය බිඳ වැටීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවයි. නමුත් මේ සම්බන්ධයෙන් ඔබාමා ජනාධිපතිගේ උපදේශකයෙකු පවසා සිටියේ වෙනිසියුලාවේ රාජතාන්ත්‍රිකයන් මුදලට ගැනීමට හැකි වුවත්, කියුබාවේ නායකයින් මිලට ගැනීමට තමන්ද උත්සහ කල බවත් ඒවා අසාර්ථක වීම නිසා අත්හැර දැමූ බවත්ය. නමුත් ට්‍රම්ප් පවසා සිටියේ කියුබාවේ සමාජවාදී රාජ්‍යය පෙරලා දම තම රාජ්‍ය ලේකම් Marco rubio එරට ජනාධිපති ලෙස පත් කරන බවයි.
ජනවාරි 03 වනදා නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු කියුබාවට වෙනිසියුලානු තෙල් නැව්ගත කිරීම දැනටමත් නවතා දමා ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප්, 29 වන බ්‍රහස්පතින්දා විධායක නියෝගයකට අත්සන් කළේ හවානා වෙත තෙල් අලෙවි කරන රටවලට තීරුබදු පැන වීමට නියම කරමිනි. කියුබාව රුසියාව, චීනය, ඉරානය, හමාස් සහ හිස්බුල්ලා ඇතුළු “බොහෝ රටවල ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සහ එක්සත් ජනපදයට සතුරු ක්‍රියාකාරීන් සමඟ පෙලගැසී සහාය දක්වන” බවට වොෂින්ටනය කියුබානු බලධාරීන්ට චෝදනා කරයි. “එහි කොමියුනිස්ට් අදහස්, වැඩසටහන් සහ භාවිතයන් පතුරුවන” අතරම, “සංක්‍රමණ සහ ප්‍රචණ්ඩත්වය හරහා ලෝකයම අස්ථාවර කරන” බවට ද ට්‍රම්ප් කියුබාවට චෝදනා එල්ල කරන ලදී.
එයට ප්‍රතිචාරය ලෙස කියුබානු ජනාධිපති Miguel Diaz-Canel පෙබරවාරි පළමුවැනි ඉරිදා යලි ප්‍රතිචාර දැක්වූයේ “තම රට කිසිවෙකු කළ යුතු දේ හා නියෝග කරන හෝ නියම කරන දේ කිරීමට බැඳී නොමැති බවයි. කියුබාව “නිදහස්, ස්වාධීන ජාතියක්” යැයි ඔහු X හි සඳහන් කළේය.
“කියුබාව ආක්‍රමණශීලී රාජ්‍යයක් නොවේ. එය වසර 66 ක් පුරා එක්සත් ජනපදය විසින් ආක්‍රමණය කර ඇති අතර එයට එරෙහිව පෙරලා තර්ජනය කර නොමැත. අපි සැමවිටම අවසාන ලේ බිංදුව දක්වා මව්බිම ආරක්ෂා කිරීම සඳහා ආත්මාරක්ෂාව සඳහා සටන් කරමින් සිටිමු” යයි ඔහු අවධාරණය කරනු ලැබුවේය.
ට්‍රම්ප් ගේ මෙම නව තර්ජනය හමුවේ මේ දක්වා කියුබාවට තෙල් හා ආහාර ලබා දෙන මෙක්ෂිකෝව පවා තාවකාලිකව තම තෙල් අපනයනය නතර කල නමුත් අද පෙබරවාරි දෙවන දා මෙක්ෂිකානු ජනාධිපතිනි Sheinbaum මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ කියුබාවට තෙල් සපයන රටවලට තීරුබදු පැනවීමට එක්සත් ජනපදය තර්ජන වලට තමන් හිස නොනමන බවත්, එරට අවශ්‍ය තෙල්, ආහාර හා වෙනත් මානුෂීය ආධාර අද සිට යලි නැව්ගත කිරීම් ඔස්සේ කියුබාවට යවනු ලබන බවත්ය.
“කියුබාවට දැනටමත් ප්‍රවාහනය කරමින් පවතින මෙම ආධාර තුල ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් වන අතර, රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා මානුෂීය හේතූන් මත තෙල් බෙදා හැරීමට අදාළ සියල්ල අපි සංවිධානය කරමින් සිටිනවා. එවැනි නව අතිරේක තීරුබදු කියුබාව පුරා පුළුල් මානුෂීය අර්බුදයක් ඇති කරන්න පුළුවන්. විශේෂයෙන් මෙම අත්තනෝමතික පියවර හේතුවෙන් කියුබානු ජනතාවගේ රෝහල්, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන්ට සෘජුවම බලපානවා. ඇමරිකාව හා කියුබාව අතර රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සොයා ගන්නා තුරු කියුබානු ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙනවා”යයි මෙක්ෂිකානු වාමාංශික ජනාධිපතිවරිය Claudia Sheinbaum තවදුරටත් පවසා සිටියේ ට්‍රම්ප් ගේ නියෝග හෙලා දකිමින් හා මායිමකට ගණන් නොතකමිනි. ඇමරිකාව සමඟ වෙළඳාමෙන් 70% ක් අපනයනය කරන මෙක්ෂිකෝවට ඇමරිකානු තර්ජන දැඩි ලෙස බලපාන බව ආර්ථික විශේෂඥයින් ද පෙන්වා දේ.
මේ අතර කියුබාවේ ඓතිහාසික සගයා වන නමුත් ජනවාරි 3 වන දින ඇමරිකානු හමුදාව විසින් ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගන්නා ලද වෙනිසියුලාව ද ජනවාරි 30 වන සිකුරාදා කියුබානු රජය සහ එරට සහෝදර ජනතාව සමග තම රටේ සහයෝගීතාවය ප්‍රකාශ කළේ ඇමරිකාවේ “දඬුවම් සහගත පියවර” සහ හවානාට තෙල් අලෙවි කරන රටවලට තීරුබදු පැනවීමේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය දැඩිව විවේචනය කරමිනි. එයට පිළිතුරු ලෙස ට්‍රම්ප් යලි ප්‍රකාශ කලේ වෙනිසුවෙලාවට යලි තීරු බදු පනවන බවයි. එම ප්‍රකාශයත් සමග වෙනිසුවෙලානු තෙල් තමන් පාලනය කරන බව පැවසීම ට්‍රම්ප් ගේ තවත් හිස් ප්‍රකාශයක් බවට ඔප්පු වන බව දේශපාලන විචාරකයින් පෙන්වා දේ.
මේ අතර පෙබරවාරි 1 වන ඉරිදා ඇන්ජලස් යාච්ඤාව කියවීමෙන් පසුව, XIV වන ලියෝ පාප් වහන්සේ එක්සත් ජනපදය හා කියුබාව අතර නැවත රාජතාන්ත්‍රික සංවාදය ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේ, “ප්‍රචණ්ඩත්වය සහ ආදරණීය කියුබානු ජනතාවගේ දුක් වේදනා වැඩි කිරීමට ඉඩ ඇති ඕනෑම ක්‍රියාමාර්ගයක් වළක්වා ගැනීම සඳහා අවංක හා ඵලදායී සංවාදයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වගකිවයුතු තනතුරු දරන සියලු දෙනාට ඉතා දැඩිව ආරාධනා කරනවා” යයි ට්‍රම්ප් පරිපාලනයට බල කරමිනි. හවානා වෙත තෙල් සපයන රටවලට තීරුබදු පැනවීමට තර්ජනය කරන එක්සත් ජනපදයට එරෙහිව කියුබානු බිෂොප්වරු අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් තම නොසතුට පල කරනු ලැබුවේ එමගින් කියුබාව අන්ත අසරණ භාවයට පත් විය හැකි බවටද අවධාරණය කරමිනි.
කියුබාව පුරා විදුලිය ඇනහිටීම් නරක අතට හැරෙමින් පවතින අතර ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දිගු වෙමින් ගමනාගමනය, සෞඛ්‍යය, කෘෂිකර්ම කටයුතු දිනෙන් දින අඩපන වෙමින් පවතින බවට ද විදේශ මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.
සමස්ථ ජාත්‍යන්තරම කියුබාව සමග පෙළගැසෙද්දී ට්‍ර්ම්ප් පියවරක් පසුපසට ගනිමින් කියුබාව සමග ගිවිසුමක් සඳහා සාකච්චා ආරම්හ කල බව පෙබරවාරි 1 වනදා පවසා සිටියේ මුළු ලොවම මවිතයට පත් කරමිනි.
මේ සම්බන්ධයෙන් ඉරිදා සවස නිකුත් කරන ලද නිවේදනයක, කියුබානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තහවුරු කළේ හෝ ප්‍රතික්ෂේප කළේ නැත. කියුබානු විදේශ කටයුතු අමාත්‍යාංශය නැවතත් වරක් මාධ්‍ය වෙත පවසා සිටියේ කියුබාව “එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක්” යන්න තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ඇමරිකානු පර්යේෂණ මධ්‍යස්ථානයක් විසින් කරන ලද අධ්‍යයනයක් උපුටා දක්වමින් කියුබාව කිසිදු ආකාරයකින් “විදේශ හමුදා ලබා දීම හෝ බුද්ධි කඳවුරු සත්කාරකත්වයක් කිසිදු කණ්ඩායමකට හෝ රටකට නොදක්වන” බව කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් විශේෂයෙන් ප්‍රකාශ කළේ “මුළු ජාතියකටම අදාළ වූ දීර්ඝතම හා කුරිරුම ආර්ථික සම්බාධකවලට වසර 65 කට වැඩි කාලයක් යටත් කර ඇති කියුබාවට සහ එහි ජනතාවට එරෙහි මෙම කුරිරු ආක්‍රමණශීලී ක්‍රියාව අපි ලෝකය ඉදිරියේ හෙළා දකිමු,”යයි පවසමිනි.
“කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වයට ඇති එකම තර්ජනය සහ එකම ද්වේෂසහගත බලපෑම වී ඇත්තේ එක්සත් ජනපද රජය විසින් සිදු කරන අනිසි යුධ බලපෑම් පමණයි. ඇමරිකාව කියුබාව ඇතුළු සමස්ථ ලතින් ඇමරිකානු ජාතීන්ට සහ ජනතාවට එරෙහිව යුද්ධය ප්‍රකාශ කරලා තිබෙනවා. ට්‍රම්ප් පරිපාලනය සමඟ “ගෞරවනීය සංවාදයක් පවත්වා ගැනීමට” ඇති කැමැත්ත අප සැමවිටම ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන් “ත්‍රස්තවාදයට එරෙහි සටන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන සහ සයිබර් ආරක්ෂාව යන සංවේදී කේෂ්ත්‍ර සඳහා වූ තාක්ෂණික සහයෝගීතාව අලුත් කිරීමට අප යෝජනා කර සිටිනවා” යයි කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරමින් කියා සිටියේය.
මේ අතර අද දින පෙබරවාරි 02 වනදා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියුබානු රජයෙන් ඉල්ලා සිටියේ හවානාහි ඇමරිකානු භාරකාර මයික් හැමර්ගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට බාධා කිරීම සඳහා පුද්ගලයින් යැවීමේ මර්දනකාරී ක්‍රියා වහාම නතර කරන ලෙසය. ඊයේ දිනයේ දී කියුබානුවන් පිරිසක් 1962 සිට දිවයිනට පනවා ඇති එක්සත් ජනපද සම්බාධක ගැන සඳහන් කරමින් – මධ්‍යම කියුබාවේ කැමගුයි හි හෝටලයක් ඉදිරිපිට “මිනීමරුවා” සහ “සම්බාධක ඉවත් කරනු” යනුවෙන් ඔහුට කෑ ගැසූහ. දිවයිනේ අභ්‍යන්තර කටයුතුවලට “මැදිහත් වීම” සම්බන්ධයෙන් කියුබානු රජය විසින් දැනටමත් මයික් හැමර්හට තරවටු කර ඇති අතර ඔහු කියුබානු රජයේ විරුද්ධවාදීන්, මානව හිමිකම් ආරක්ෂකයින්, ආගමික නායකයින් සහ ප්‍රදේශවාසීන් හමුවීමට මාස ගණනාවක් තිස්සේ රටේ පළාත් පුරා සංචාරය කරමින් සිටී. මේ සම්බන්ධයෙන් මයික් හැමර් මාධ්‍ය වෙත පවසා සිටියේ ඔවුන් කියුබානු ජනතාව නියෝජනය නොකරන කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ (PPC) සාමාජිකයින් විය හැකි බවයි.
මෙවැනි සිදුවීම් මධ්‍යයේ කියුබාව හා ඇමරිකාව අතර සිදු වෙමින් පවතින සාකච්චා සාර්ථක වී යම් හෝ ගිවිසුමකට එළඹුනොත් එය එයතිහාසික සම්මුතියක් විය හැකි බව මේ පිළිබඳව අදහස් පල කරන දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දේ. තම සමාජවාදී විප්ලවය ආරක්ෂා කර ගැනීම සඳහා දීර්ඝ කාලීන විප්ලවීය යුද්ධයකට කියුබානු කොමියුනිස්ට් පක්ෂය සුදානම් වීමත්, තම රාජතාන්ත්‍රික විශිෂ්ටත්වය තුල සියළුම රටවල් ඔස්සේ හා වතිකානුව දක්වා යොදා ගනිමින් ට්‍රම්ප් පරිපාලනයට බලපෑම් කිරිමට් සමත් වීමත්, බෙදුණු ලෝකය තුල තව දුරටත් ආක්‍රමණය, බලහත්කාරය, නව යටත් විජිත භාවය වලංගු නොවන බවට මහා බලවතුන්ට මතක හිටින පාඩමක් කියා දීමට කියුබාව සමත් වී ඇතැයි ද ඔවුන් පෙන්වා දේ;
ඊයේ තවදුරටත් මාධ්‍ය වෙත අදහස් පල කරමින් ට්‍රම්ප් ඉල්ලා සිටියේ වෙනෙසුවෙලාවේ තෙල් ගවේෂණය හා සංවර්ධනය සඳහා චීනයට හා ඉන්දියාවට ආරාධනය කරන බවයි. ට්‍රම්ප් ගේ එම ප්‍රකාශය මගින් පෙන්වා දෙනුයේ ලෝකයේ සම්පත් බෙදා ගැනීම හා එහි ලාභ සමස්ථ ජනතාවට බෙදී යන නව සම්මුතියකට හා නව සංකල්පයකට ලෝකය ගමන් කර ඇතැයි තහවුරු වීම බව ඔවුහු තවදුරටත් පෙන්වා දේ.
5
Saru News










