ලංවිම ඉංජිනේරුවෝ රජයට දින 10ක් දෙති

0
2

ලංකා විදුලිබල මණ්ඩලය අවිධිමත් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය පළ කරමින් විදුලි වෘත්තීය සමිති ගෙන යන වෘත්තීය ක්‍රියා මාර්ග, තවත් දින 10ක් පමණ ඉදිරියට ගෙනයෑමට තීරණය කළ බව, විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ඒ අනුව අමාත්‍යාංශ නිලධාරීන් සමග ලිපි හුවමාරුව, සාකච්ඡාවලට සහභාගි නොවීම සහ ඔවුන්ගේ නියෝගවලට අනුගත නොවීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකදී විදුලි ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ඉංජිනේරු, ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවැසීය.

“අපි මේ ගෙන යන්නේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ගවල සිව්වෙනි අදියර. මේ ක්‍රියා මාර්ගවලට මාසයකට අධික කාලයක් ගත වුණත් රජයෙන් තාම සාධනීය ප්‍රතිචාර නැහැ. අපි තව දින 10ක් ලබා දෙනවා. ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණොත්, දැඩි ක්‍රියා මාර්ග වෙත යෑමට සාකච්ඡා කරනවා. අපි කම්කරු කොමසාරිස්වරිය සහ විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය සමග සාකච්ඡාවක් පැවැත්වූවා. දෙපාර්ශ්වයේ කරුණු විමසීමෙන් පසුව ඉදිරියේදී සිද්ධ කරන අවබෝධතා ගිවිසුම් සහ ඉදිරි ලිය කියවිලි සකස් කිරීමේදී සහාය දීමට කම්කරු කොමසාරිස්තුමිය පොරොන්දු වූවා” යැයි ද ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රජය බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණවලට විදුලි සේවකයන් විරුද්ධ නොවන බවත්, විරෝධය පළ කරන්නේ එය අවිධිමත්ව සිදු කිරීමට ගන්නා උත්සාහයට බවත්, විදුලි වෘත්තීය සමිති පවසයි.
සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here