රජය, 06 ශ්‍රේණිය දරුවන්ට අසාධාරණයක් නොවෙන්න වග බලා ගන්නවා – අගමැති – Saru News | සිංහල

0
4

රජය, 6 ශ්‍රේණිය දරුවන්ට අසාධාරණයක් නොවීමට වග බලා ගන්නා බවත්, ප්‍රශ්න ගත මොඩියුලය සම්බන්ධයෙන් තීරණයක් ගෙන අවසන් බවත්, මොඩියුල මුද්‍රණය නිසා රජයට කිසිදු පාඩුවක් සිදුවී නැති බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

අගමැති මේ බව ප්‍රකාශ කරනු ලැබූවේ, පෙළපොත් මුද්‍රණය සහ මොඩියුල සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නගන ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“2020 සිට 2022 දක්වා වසරවල පෙළ පොත් ඇණවුම් කිරීම සඳහා දත්ත පද්ධතියක් තිබුණේ නැහැ. පාසල්වලට ලබා දුන් ඇණවුම් ලේඛනයක් මගින් ඇණවුම් ලබා ගෙන තිබෙන්නේ. පාසල්වල සහ වෙනත් ආයතනවල ඉතිරිව තිබු පෙළ පොත් ගණනය කර ලේඛන ගත කර  තිබුණේ නැහැ. ඒ නිසා ඉතිරි ප්‍රමාණය සහ එහි මුල්‍ය වටිනාකම් ගණනය කිරීමට නොහැකි වෙලා තිබෙනවා.

2023 සිට 2025 දක්වා පෙළ පොත් ඇණවුම් කිරීම දත්ත පද්ධතියක් මගින් සිදු කළා. ඒ නිසා එහි ගණනය කිරීම් සිදු කර තිබෙනවා. වර්ෂය ආරම්භයේදීම ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පෙළ පොත් දත්ත පද්ධතිය හරහා ලබා ගන්නවා. එම දත්ත පද්ධතියත්, ඉතිරි පොත් ප්‍රමාණයත් අනුව අළෙවිය සහ හදිසි ආපදාවකදී සිදුවන අවශ්‍යතා වෙනුවෙන් භාවිත කරන්න අවශ්‍ය පරිදි පෙළ පොත් මුද්‍රණය කරනවා.

පෙළපොත් බෙදා හැරීමට ගතවන කාලයත්, මුද්‍රණය කිරීමට ගතවන කාලයත් සළකා බලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරනවා. රාජ්‍ය අංශයත් පෞද්ගලික අංශයත් එක්ව අවශ්‍යතා සලකා බලමින් පෙළ පොත් මුද්‍රණය කිරීම සිදු කරන්නේ. ගබඩාවට පෙළ පොත් මුද්‍රණය කර ලැබෙන ආකාරය අනුව කඩිනමින් පෙළපොත් බෙදා හැරීම් සිදු කරනවා.

පෙළපොත් සහ මොඩියුල කියන්නේ දෙකක්, මේ වනවිට මුද්‍රණය කර ඇති පෙළපොත් බෙදාහැර තිබෙනවා. යෝජිත ප්‍රතිසංස්කරණ අනුව 06 ශ්‍රේණියේ පළමු වාරය සඳහා මොඩියුල මුද්‍රණය කළා, ඒ මොඩියුල් සියල්ලම අපි ඉවත් කර නැහැ. 2027 වසරේදී 06 ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සිදු කරන්න යෝජිතයි. ඒ අනුව අදාළ මොඩියුල භාවිත කරන්න සැලසුම් කර තිබෙනවා.

ප්‍රශ්නයක් ඇති වූ මොඩියුලය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග අපි තීරණය කර තිබෙන්නේ. නමුත් මොඩියුල ඉවත් කර නැහැ. රජයට පාඩුවක් වන ලෙස කිසිදු තීරණයක් අපි අරගෙන නැහැ. 06 ශ්‍රේණියේ දරුවන්ට අවශ්‍ය පෙළපොත් පෙබරවාරි මාසයේ අපි බෙදා හරිනවා.”

06 ශ්‍රේණියේ දරුවන්ට කිසිදු ලෙසකින් අසාධාරණයක් නොවෙන්න වගබලා ගන්නා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here