දුප්පත්කම ඉහවහ ගිහින්

0
3

2024 දී දරිද්‍රතා අනුපාතය සියයට 24.9 ට නැගලා

තවත් සියයට 10 ක් දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නයේ – ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව 2024 දී දරිද්‍රතා අනුපාතය සියයට 24.9 දක්වා ඉහළ ගොස් ඇත.

එසේම තවත් ජනතාව දරිද්‍රතාවට වැටීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත්, ජනගහනයෙන් තවත් සියයට 10 ක් ජීවත් වන්නේ දරිද්‍රතා රේඛාවට ඉතා ආසන්නව බවත් එහි සඳහන් වේ. ලෝක බැංකුව විසින් ඊයේ (07) නිකුත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම’ නම් වූ නවතම වාර්තාවේ මේ බව සඳහන් වේ.

ආහාර මිල ගණන් අඛණ්ඩව ඉහළ යෑම සැලකිය යුතු බෙදාහැරීමේ අභියෝග මතු කරන අතර අඩු ආදායම්ලාභී පවුල් ධනවත් පවුල්වලට වඩා ඔවුන්ගේ වියදම්වලින් තුන් ගුණයක් පමණ ආහාර සඳහා වෙන් කිරීම සහ ආහාර අනාරක්ෂිත භාවය තවමත් ඉහළ මට්ටමක පැවතීම මෙයට හේතුව බව ද ලෝක බැකුව ඊයේ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම වැටුප් වැඩි වෙමින් පැවතුනද, ඔවුන්ගේ සැබෑ ඉපැයීම් 2022 වසරට පෙර වාර්තා වූ මට්ටමට වඩා අඩු මට්ටමක පවතින අතර, ගෘහස්ථ මිලදී ගැනීමේ හැකියාව තවමත් අර්බුදයට පෙර මට්ටම් කරා යථා තත්ත්වයට පත්ව නොමැති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

මේ අතර දරිද්‍රතා අනුපාතය 2024 දී පැවති සියයට 24.9 සිට මේ වසරේ (2025) සියයට 22.4 දක්වා අඩු වනු ඇතැයි ද පුරෝකථනය කර ඇත. ආහාර මිල ඉහළ මට්ටමක පැවතුනද ආර්ථික වර්ධනය ඉහළ විකල්ප මට්ටමක ඇත.

උද්ධමනය හේතුවෙන් 2025 දී මෙසේ දරිද්‍රතාව පහත වැටෙනු ඇතැයි ද ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. ප්‍රධාන අභියෝග තවදුරටත් පවතින බැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික මුළුමනින්ම යථා තත්ත්වයට පත්ව නැත.

දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහා හදිසි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ කාර්යක්ෂම රාජ්‍ය වියදම් සිදු කිරීම තීරණාත්මක බව ද ලෝක බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික ක්‍රියාකාරිත්වය ශක්තිමත් වී ඇත. එසේ තිබුණත් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම මුළුමනින්ම සිදුව නැති අතර, ආර්ථික වර්ධනය තවමත් අර්බුදයට පෙර මට්ටම්වලට වඩා පහළින් පවතී. දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, හදිසි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ වඩාත් කාර්යක්ෂම, වඩා හොඳින් ඉලක්ක කරගත් රාජ්‍ය වියදම් දැරීම අවශ්‍ය වනු ඇතැයි ද ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුව විසින් ඊයේ (07) නිකුත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංවර්ධන යාවත්කාලීන කිරීම’ නම් වූ නවතම වාර්තාවට අනුව මේ වසරේ (2025) දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 4.6 කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ සඳහා කර්මාන්ත අංශයේ සුළු ප්‍රකෘතිමත් වීමක් සහ සේවා අංශයේ ස්ථාවර වර්ධනයක් මගින් දායක වී ඇත.

ලබන වසරේ (2026) දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනය සියයට 3.5 දක්වා මන්දගාමී වේ. මෙම ඉදිරි දැක්ම ඉදිරිපත් කර ඇත්තේ ඉහළ යන ගෝලීය අවිනිශ්චිතතාව ඇතුළු ඉහළ යන අවදානම්වලට යටත්ව බව ද ලෝක බැංකුව කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here