කෙස් කලු කරනවා වෙනුවට සුදු නොවෙන්න වගබලාගන්න

0
12


ඉස්සර නම් කොණ්ඩය සුදු වෙන්න පටන් ගන්නෙ කෙනෙක් වයසට යන්න පටන් ගත්තමයි. වයසට යනවා කියන එකට වයසක් නැති බව ඇත්තයි. හැම උපන්දිනයක් එක්ක ම හැම කෙනෙක් ම වයසට යනවා. ඒත් වයස අවුරුදු පනහක් හැටක් වුණාම තමයි සාමාන්‍යයෙන් කෙනෙක්ගෙ කොණ්‍ඩයෙ සුදු කෙස් මතුවෙන්න පටන් ගන්න එක සාමාන්‍ය දෙයක් හැටියට සමාජය පිළිගන්නෙ.

කන බොන ආහාරවර්ග, වැරදි ජීවන රටාවන්, සමහරවිට පාවිච්චි කරන සබන් වර්ග, ෂැම්පු වර්ග, විශේෂ බෙහෙත් ඖෂධ වර්ග, වායු සමනය කළ ස්ථානවල දවසේ වැඩි කාලයක් ගත කිරීම, අවේලාවේ නෑම, අධික මානසික වෙහෙස, දහඩිය දැමීම අධිකවීම වැනි විවිධ කරුණු නිසා දැන් දැන් බොහෝ දෙනාගේ කෙස් සුදු වන වයස හරියට ම නිශ්චය කරන්න බැහැ. බාල, තරුණ මහලු හැම කෙනෙක් අතර ම මේ ගැටළුවට මුහුණ දෙන අය විශාල පිරිසක් ඉන්න බවයි වාර්තා වෙන්නේ.

බාල සහ තරුණ වයසේ අය අතරෙ හිස කෙස් සුදුවන විට අකලට කෙස් සුදු වී ඇති බව තමයි හැමෝම කියන්නෙ. අකලට හිසකෙස් සුදුවීම බොහෝ දෙනාට සමාජයට මුහුණ දෙන්න පවා අසීරු ගැටළුවක්. ඉතින් එහෙම වුණාම ඕනම කෙනෙක් බලන්නෙ මොනම ක්‍රමයකින් හරි තමන්ගෙ සුදු වූ කෙස් කලු කරගන්න ක්‍රමයක්. තෙල් වර්ග, ක්‍රීම් වර්ග, බෙහෙත් වර්ග හොය හොයා බොහෝ දෙනා වෙහෙසෙන්නෙ එතකොටයි.

කිසිම බෙහෙත් ඖෂධයකට තමන්ගෙ සුදු වුණ කෙස් නිට්ටාවට ම කලු කර දෙන්න බැරි වුණාම තාවකාලික විසඳුම් හොයනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. ඒ තාවකාලික විසඳුම තමයි කොණ්ඩය ඩයි කරන එක. හෙයාර් කලර් වර්ග වෙළඳ පොළේ ඕනෑ තරම් තියෙනවා. සමහරු ප්‍රමිතිය ගැන හිතනවා වෙනුවට මිළෙන් අඩු කුමක් හෝ වර්ණකයක් මේ සඳහා යොදාගන්නවා.

වර්ණක භාවිතයෙන් හිසේ සමට දවසින් දවස සිදුවන හානිය ගැන බොහෝ දෙනා අමතක කරනවා. සෑම රසායනිකයක් ම යම් හෝ ආකාරයකින් සමට බලපෑම් ඇතිකරනවා. එය එම ආලේපන නිෂ්පාදන ආයතන පවා අවධාරණය කරන දෙයක්. ඒ නිසයි, කෘතිම වර්ණකයක් හිසට ආලේප කරන්නට පෙර සම මතුපිට ස්වල්පයක් ආලේප කර පූර්ව පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව ඒවා හිසට ආලේප කරන්නට උපදෙස් ලබා දෙන්නේ. සමහරු මේ කිසි දෙයක් බරපතල කොට සලකන්නේ නැහැ. විශේෂයෙන් ම සැලූන්වලින් මේ කටයුත්ත සිදුකරන විට බොහෝ සැලකිලිමත් වෙන්න ම වෙනවා. සමහර විට ඔවුන් ඔබේ කෙස් මත ආලේප කරන වර්ණක දින ඉකුත් වූ ඒවා විය හැකියි. විවර කර හුලං වැදීමෙන් පසු බොහෝ කෘතිම වර්ණකයන් අහිතකර රසායනික ප්‍රතික්‍රියාවන් සිදුවීමේ ඉඩක් තිබෙනවා. ඇතැම්විට කෙනෙකුට මේ තත්වය මරණය පවා ළඟා කරවිය හැකියි.

මේ නිසා ඔබ කෙස් සුදු කරගන්නට යොදාගන්නා ආලේපන වර්ගය ඔබම මිළ දී ගෙන එය ආරක්ෂිතව ආලේප කරවා ගැනීම වඩාත් සුදුසුයි. එසේ ආලේප කිරීම්වලින් පසුව වුවත්, නියමිත වර්ණාරක්ෂක ආලේපන ආදිය භාවිත කිරීම අවශ්‍යයි. එසේ නොවුණොත් ඔබේ හිස කෙස් දවසින් දවස ඔබ අතහැර යාවි. දවසින් දවස ඒවා වඩවඩාත් සුදු වන්නට පටන් ගනීවි. කෙස් සුදුවන තුරු කෙස් රැකගැනීම ගැන උනන්දු නොවූ නිසා ඔබට සිදුව ඇති අපහසුව කොතරම් ද? මේ නිසා ‍ඔබ කළ යුත්තේ සුදුවන්නට පෙර ඔබේ කලු කෙස් රැකගන්නට වෙහෙස වීමයි. නිවැරදි ජීවන පුරුදු, සෞඛ්‍යාරක්ෂිත ආහාර පාන, වගකීමක් සහ ප්‍රමිතියක් සහිත ඖෂධ වර්ග, ශීර්ෂාලේපන, තෙල් වර්ග, (අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන)  ඔබේ කෙස් නිරෝගී කරන්නට සමත් වේවි. ආයුර්වේද ඖෂධවලින් ඔබේ කෙස් ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහාත් අමතක නොකරම පළපුරුදු දක්ෂ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.

 – නිරංජලා –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here