පොලිසියෙන් බැහැර යන විට පොතේ සඳහන් රු. 2000 ට අමතරව තවත් රු. 5000 ක් ළඟ තිබිලා
කිළිනොච්චිය පොලිසියේ රථවාහන අංශයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් මත ඔවුන්ව සේවයෙන් ඉවත් කොට තිබේ.
මෙම නිලධාරීන් දෙදෙනා පුනරීන් ප්‍රදේශයේ රාජකාරි සඳහා යොදවා සිටියදී තමන්ගෙන් අල්ලස් ලබා ගත් බවට පාරේ ගමන් කළ පුද්ගලයකු කිළිනොච්චිය පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කොට තිබේ.
මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ පොලිස් අධිකාරිවරයා අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාව පරීක්ෂා කළ අවස්ථාවේදී ඔවුන් පොලිසියෙන් බැහැරව යන විට පොතේ සඳහන් කොට තිබූ රුපියල් 2000 ක මුදලට අමතරව තවත් රුපියල් 5000ක් ඔවුන් ළග තිබී ඇත.
එම රුපියල් 5000 ක මුදල ඔවුන් අල්ලස් වශයෙන් ලබාගෙන ඇති බවට ගොඩනැගී ඇති සැකය මත අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.
කිළිනොච්චිය පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් හා උපදෙස් මත මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ
Saru FM Media