එක් නිලධාරියකුගේ වැඩ තහනම්
5 දෙනකුගෙන් ප්‍රකාශ ගැනේ
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස්දෙදෙනකු සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ඊයේ (06දා) වනවිට එහි නිලධාරීන් 5 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දෙහිවල පොලිසියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.
එම සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරියකුගෙන් ආරක්ෂක නිලධාරීන්ගෙන් සේවකයන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද හෙතෙම කීය.
අදාළ සොරකම පසුගිය 4 වැනිදා රාත්‍රී සිදුවී ඇතැයි ද පොලිසිය පවසයි.
මෙම සොරකම සම්බන්ධයෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ මහතා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන අරඹා තිබේ.
මෙම සිදුවීමෙන් පසු පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරියකු ද එම සත්ත්වෝද්‍යානයට ගොස් පරීක්ෂණ සිදු කර තිබේ.
මෙම පරෙවියන් රඳවා තිබූ කූඩුව කඩා අදාළ පරෙවියන් සොරාගෙන ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට නීතිවිරෝධීව රැගෙන එමින් තිබූ පරෙවියන් 63 දෙනකු පසුගිය ජූනි මාසයේදී පොලිසිය භාරයට ගෙන තිබූ අතර, මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි එම පරෙවියන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බාරදී තිබූ පසුබිමක එයින් පරෙවියන් තිස්දෙදෙනකු සොරාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගය යටතේ සත්ත්වෝද්‍යානයේ එම සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පියවරගෙන ඇතැයි සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හේමන්ත සමරසේකර මහතා පැවැසීය.
ඊයේ සවස් වනතුරුත් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයතු ගැන හෝ පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් හෝ දැනගන්නට නැතැයි පොලිසිය කියයි.
මේ පිළිබඳව දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගෙදර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
මෙම සත්ත්වෝද්‍යානයේ මීට පෙර ද නිල්, රතු, මැකෝ ගිරව් සොරා ගැනීමේ සිද්ධීන් කිහිපයක් ද වාර්තා විය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ පින්සිරි ආරියරත්න – රත්මලාන
Saru FM Media