තවත් මවකට බරපතළයි
මෝටර් රථය පැදවූ කතක් අත්අඩංගුවට
ගම්පොළ, දොළුව ප්‍රදේශයේ මාර්ගය හරහා මාරුවෙමින් සිටි කාන්තාවන් (සිල් අම්මලා) පිරිසක් ඊයේ (06දා) වප් පොහෝ දා කාන්තාවක විසින් පැදවූ මෝටර් රථයක හැපීමෙන් සිදුවූ මාරක අනතුරකින් කාන්තාවන් තිදෙනකු මරුමුවට පත්වී තවත් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කළ බව ගම්පොළ පොලිසිය පවසයි.
ඊයේ දහවල් 12.50ට පමණ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ ගම්පොළ, දොළුව, නවගොළුකැලේ පදිංචිව සිටි අවුරුදු 67, 68, 70 යන වයස්වල පසුවූ සිල් අම්මාවරුන් තිදෙනෙකි.
අනතුරින් තුවාල ලැබූ 56 හැවිරිදි තවත් කාන්තාවක් ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ වප්පුනු පොහෝ දා මෙම පිරිස ප්‍රදේශයේ විහාරස්ථානයක සීල සමාදාන වැඩසටහනකට එක්ව සිට ඇත. දහවලේ මොවුන් විහාරස්ථානය අසල මාර්ගයෙන් එහා පැත්තේ ඇති වැසිකිළියට යෑමට පාර මාරුවීමට පැමිණ ඇත. පසුව ඔවුන් පාර මාරුවන අවස්ථාවේ මෙම අනතුරුට මුහුණ පා ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
රිය පැදවූ අදාළ කාන්තාව තම සැමියා හා දරු දෙදෙනා සමග පැමිණෙමින් සිටියදී රථය පාලනය කරගත නොහැකි වී යෑමෙන් මෙම අනතුර සිදුව ඇතැයි හෙළි වූ බවද පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය පැදවූ කාන්තාව හා රථය අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. ඊයේ වප් පොහෝ දා සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් ගම්පොළ, දොළුව ප්‍රදේශවාසීහු දැඩි කම්පාවට පත්ව සිටිති.
මේ පිළිබඳව ගම්පොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත කාංගර මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නන්දන කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ගම්පොළ සුරංග දිල්හාන්
Saru FM Media