ප්‍රමාද නොකර වැනසිය යුතු මත්ද්‍රව්‍ය වසංගතය

0
3

පොලිසියේ සිදුකළ දැවැන්ත මෙහෙයුමක්……

වර්තමාන සමාජය මුහුණ දෙන ප්‍රබලතම අභියෝගයක් වන්නේ මත්ද්‍රව්‍ය උවදුරයි. මෙම ව්‍යසනයෙන් වැඩිම පීඩාවට පත්ව සිටින්නේ රටක අනාගතයට වගකීම් දරන්නට නියම වන තරුණ පරපුරයි. ඔවුන්ගේ ශක්තිය, දැනුම සහ නිර්මාණශීලීත්වය රටේ දියුණුවට යෙදවිය යුතු වුවත්, අවාසනාවකට මෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා එම හැකියාවන් නිසරු වී ගොස් ඇත. මත්ද්‍රව්‍ය යනු හුදෙක් පුද්ගලික ගැටලුවක් නොව, සමස්ත සමාජයටම බලපාන භයානක සමාජ ව්‍යසනයකි. තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යවලට යොමුවීමට විවිධ හේතු බලපායි. බොහෝ විට එය ආරම්භ වන්නේ මිතුරන්ගේ බලපෑමෙනි. යහළුවන් අතර ජනප්‍රියවීමට හෝ ඔවුන්ගේ කණ්ඩායමට අනුගතවීමට ඇති ආශාව නිසා බොහෝ තරුණයන් මත්ද්‍රව්‍ය පළමු වරට අත්හදා බලයි. තවත් සමහරු මානසික පීඩනයෙන් මිදීමට මඟක් ලෙස මත්ද්‍රව්‍ය භාවිත කරයි. විභාග, රැකියා, පවුල් ගැටලු වැනි කරුණු නිසා ඇතිවන පීඩනය ජය ගැනීමට නොහැකි වූ විට, මත්ද්‍රව්‍ය තුළින් ක්ෂණික සහනයක් සොයන්නට ඔවුහු පෙළඹෙනු ලබයි. ආර්ථික දුෂ්කරතා, රැකියා විරහිතභාවය සහ පවුල තුළ ඇතිවන ගැටුම් වැනි සාධක ද මත්ද්‍රව්‍ය භාවිතයට බලපාන ප්‍රබලතම හේතුවක් බවට පත්කර ගෙන තිබේ. ඇතැම් විට දෙමාපියන්ගෙන් නිසි අවධානයක් නොලැබෙන දරුවෝ මානසික වශයෙන් තනිවී මත්ද්‍රව්‍යවලට ගොදුරු වේ. සමාජීය සහ ආර්ථික වශයෙන්ද මෙම තත්ත්වය බරපතළ ලෙස බලපෑමක් ඇති කරනු ලබයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් අධ්‍යාපනය අතහැර දැමීමට පෙළඹෙන අතර, රැකියා ස්ථානවලදී ද අකාර්යක්ෂම වේ. මත්ද්‍රව්‍ය සඳහා මුදල් සොයා ගැනීම සඳහා අපරාධවලට යොමු වන අතර මේ නිසා සොරකම්, මංකොල්ලකෑම් බහුලව දක්නට ලැබේ. තවද, පවුල් ආරවුල් සහ දික්කසාද වැනි සමාජීය ගැටලු ද ඉහළ ගොස් ඇත්තේ මෙකී තත්ත්වය තුළය.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන රෝගාබාධ බොහෝමයක් හඳුනාගත හැකි වේ. ඒවා මත්ද්‍රව්‍යයේ වර්ගය අනුව, භාවිත කරන ප්‍රමාණය අනුව සහ පුද්ගලයාගේ ශාරීරික තත්ත්වය අනුව වෙනස් වේ. ප්‍රධාන වශයෙන්ම, මෙම රෝගාබාධ ශාරීරික හා මානසික වශයෙන් වර්ග කළ හැකියි. මත්ද්‍රව්‍ය භාවිතය ශරීරයේ විවිධ අවයව පද්ධතිවලට සෘජුවම හානි කරයි. මත්ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමේදී අක්මාවට හා වකුගඩුවලට දැඩි පීඩනයක් එල්ල වේ. දීර්ඝකාලීන භාවිතය නිසා අක්මාවේ සිරෝසිස් සහ වකුගඩු අකර්මණ්‍ය වීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි. එසේම උත්තේජක මත්ද්‍රව්‍ය භාවිතය නිසා හෘද ස්පන්දනය වැඩි වීම, අධි රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇතිවිය හැකිය. මත්ද්‍රව්‍ය එන්නත් කිරීම මගින් හෘදයේ ආසාදන ඇතිවිය හැකිය. දුම්පානය කරන මත්ද්‍රව්‍ය කංසා වැනි මත්ද්‍රව්‍ය භාවිතය නිසා නිධන්ගත බ්රොන්කයිටිස් සහ පෙනහළු ආසාදන වැනි රෝග ඇතිවිය හැකිය. එන්නත් මගින් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස අතර අපිරිසිදු ඉඳිකටු භාවිතය නිසා හෙපටයිටිස් B සහ හෙපටයිටිස් C‍ වැනි භයානක රෝග බෝවීමේ ඉඩකඩ ඉතා ඉහළ වේ. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් නිසි ලෙස ආහාර නොගැනීම නිසා ඔවුන්ට පෝෂණ ඌණතා ඇතිවන අතර, එය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීමට ද ලක් වේ. දිගුකාලීන මත්ද්‍රව්‍ය භාවිතය නිසා මොළයේ ස්නායු සෛලවලට හානි විය හැකිය. මේ නිසා මතකය, අවධානය සහ තීරණ ගැනීමේ හැකියාව දුර්වල වේ. ආඝාතය ඇතිවීමේ අවදානම ද වැඩි වේ. මත්ද්‍රව්‍ය තුළින් ශාරීරික රෝගාබාධවලට අමතරව, මත්ද්‍රව්‍ය මානසික සෞඛ්‍යයට ද දැඩි බලපෑමක් ඇති කරනු ලැබේ. බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භ කරන්නේ මානසික අවපීඩනයෙන් මිදීමට වුවත්, දීර්ඝකාලීන භාවිතය නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකියි. මානසික අවපීඩනය සහ කාංසාව වැනි තත්ත්වයන්ටද ගොදුරු වේ. බොහෝ දෙනකු මත්ද්‍රව්‍ය භාවිතය ආරම්භ කරන්නේ මානසික අවපීඩනයෙන් මිදීමට වුවත් දීර්ඝකාලීන භාවිතය නිසා මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකිය. ඇතැම් මත්ද්‍රව්‍ය භාවිතයන් නිසා විශේෂයෙන් කංසා අධික ලෙස භාවිත කිරීම නිසා භින්නෝන්මාදය වැනි බරපතළ මානසික රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ. එසේම ඇතැම් උත්තේජක මත්ද්‍රව්‍ය සහ හලූසිනෝජන් භාවිතය නිසා මායාවන් සහ මානසික විකාර තත්ත්වයන් ඇති විය හැකිය.

2024 ශ්‍රී ලංකාවේ දත්ත වාර්තාවට අනුව මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට ගැනීම් පිළිබඳව විමසීමේදී ශ්‍රී ලංකාවේ ජාතික මත්ද්‍රව්‍ය නියාමක මණ්ඩලය NDDCB සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් 2024 වසරේ මුල් භාගයේදී (ජනවාරි සිට ජූනි දක්වා) සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම්වලට අනුව, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පුද්ගලයන් 43,717 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මුළු පිරිසෙන් වැඩිම පිරිසක් එනම් 10,052ක් පමණ වයස අවුරුදු 25 ත් 29 ත් අතර පිරිස වේ. මෙය සමස්ත අත්අඩංගුවට ගැනීම්වලින් 23% ක් පමණ වේ. අත්අඩංගුවට ගත් අයගෙන් 48.8%ක් පමණ කංසා භාවිත කරන්නන් වන අතර, එයින් වැඩිම ප්‍රමාණයක් තරුණයන් වේ. මීට අමතරව, අයිස් (Methamphetamine) භාවිතය ද තරුණයන් අතර වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට වාර්තා පළ වේ. මෙම දත්තවලින් පැහැදිලි වන්නේ මත්ද්‍රව්‍ය උවදුර ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ බරපතළ ගැටලුවක් බවත්, විශේෂයෙන්ම තරුණ පරම්පරාව මෙම ව්‍යසනයට වැඩි වශයෙන් ගොදුරු වී සිටින බවත්ය. මෙම තත්ත්වය පාලනය කිරීමට නම්, රජය, පවුල සහ සමාජය එකමුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙම දත්ත මගින් තවදුරටත් තහවුරු කරයි.

දරුවන් සහ දෙමාපියන් අතර පවතින විවෘත සන්නිවේදනය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වා ගැනීමට ඇති ප්‍රබලම මාර්ගයකි. මත්ද්‍රව්‍යවල අහිතකර බලපෑම් ගැන නිවැරදි තොරතුරු දරුවන්ට ලබා දීම සහ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම වැදගත් වේ. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමාපියන්, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයෙන් වැළකී යහපත් ආදර්ශයක් දිය යුතුයි. දරුවන් වැඩි වශයෙන් අනුකරණය කරන්නේ වැඩිහිටියන්ගේ හැසිරීම් රටාවන් වන නිසාවෙනි. එසේම තරුණ වියේදී ඇතිවන මානසික පීඩනය, විභාග සහ රැකියා ගැටලු වැනි දේ නිසා ඇතිවන මානසික අවපීඩනයට විසඳුම් ලෙස මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීමට දෙමාපියන් සහ සමීපතමයන් විසින් මානසික සහයෝගය සහ මඟපෙන්වීම ලබා දිය යුතුය. ක්‍රීඩා, කලාව, සංගීතය වැනි නිර්මාණශීලී ක්‍රියාකාරකම් සඳහා තරුණයන් යොමු කිරීමෙන් ඔවුන්ගේ ශක්තිය ඵලදායී අයුරින් යොදාගත හැකියි. මේ මගින් ඔවුන්ගේ පෞරුෂය වර්ධනය වන අතර, මත්ද්‍රව්‍යවලට යොමුවීමේ අවශ්‍යතාවය ද අඩු වේ. පාසල් අධ්‍යාපනය තුළ දැනුවත් කිරීම් තුළ පාසල් විෂය නිර්දේශයට මත්ද්‍රව්‍යවල අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දැනුම ඇතුළත් කිරීම සහ ඒ සඳහා විශේෂ වැඩසටහන් පැවැත්වීම ඉතා වැදගත් වේ. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රමාණවත් සහ ඵලදායී පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා ඒවායේ සේවාවන් වැඩිදියුණු කළ යුතුය. ජනමාධ්‍ය භාවිතය තුළ රූපවාහිනි, ගුවන්විදුලි සහ සමාජ මාධ්‍ය හරහා මත්ද්‍රව්‍යවල අන්තරාය පිළිබඳව පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කළ හැකිය. තරුණයන්ට සමාජයට වැඩදායී පුද්ගලයන් ලෙස දායක වීමට අවස්ථාව සලසන ක්‍රීඩා සමාජ, ස්වෙච්ඡා කණ්ඩායම් වැනි සංවිධාන ශක්තිමත් කිරීමට හැකි වේ. එසේම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදාහැරීම සහ ජාවාරම්කරුවන්ට එරෙහිව පවතින නීති දැඩිව ක්‍රියාත්මක කිරීම සහ අලුත් නීති රීති හඳුන්වා දීමද වැදගත් වේ. මෙකී සියලු ක්‍රියාමාර්ග එකට ක්‍රියාත්මක කිරීමෙන් අපට මත්ද්‍රව්‍ය උවදුර පරාජය කර නිරෝගී සහ ශක්තිමත් තරුණ පරපුරක් බිහි කිරීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් වර්තමාන සමාජය තුළ තරුණයන්ට සාපේක්ෂව තරුණියන්ද මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී සිටීම තරුණ ප්‍රජාවගේ තාරුණ්‍යයේ අවාසනාවක් වීම කනගාටුවට කරුණකි. පාසල් දරුවන් අතරද ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වී ඇත. විවිධ ටොෆි වර්ග, මත් පෙති වැනි දෑ ඔවුන් අතර ව්‍යාප්ත වී ඇත. මේ තුළින් ගිලිහෙන්නේ තරුණයගේ තාරුණ්‍යයේ හොඳම කාලවකවානුවයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හුදෙක් පුද්ගලික ගැටලුවක් නොව, සමස්ත සමාජයම සහ රටේ අනාගතයම විනාශ කළ හැකි බරපතළ ව්‍යසනයකි. තරුණ පරපුර යනු රටක ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සම්පත වන අතර, ඔවුන්ගේ ශක්තිය හා හැකියාවන් මත්ද්‍රව්‍ය නිසා අකාලයේ විනාශ වී යයි. මෙම උවදුරෙන් ඔවුන් මුදා ගැනීම සඳහා පවුල, අධ්‍යාපන ආයතන, සමාජය සහ රජය යන සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු වේ. මේ තුළින් තාරුණ්‍ය බිලි ගන්නා මත් රකුසාගෙන් තරුණ ප්‍රජාව මුදාගත හැකි වේ.

කෞශල්‍යා විජයනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here