කෘතවේදීත්වයේ අගය වටහා දුන් වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

0
3

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ කෘතවේදීත්වයේ අගය වටහා දුන් වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

එසේම පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පොහෝ දින සිදුවීමද විශේෂත්වයකි.

වස් කාලය සැලකෙන්නේ වැසි බහුල කාලය ලෙසයි. වැස්ස බහුලවීම නිසා පොළොව මතුපිට පණුවන් කෘමීන් වැනි කුඩා සත්වයින් විශේෂ බහුල ලෙස මතුපිටට පැමිණෙනවා. මේ නිසාම සතුන්ගේ ජීවය රැකීම පිණිස ඇවිදීමෙන් වැළකී සිටීම එකල බමුණන්ගේ පිළිවෙතක් විය. මේ නිසා වැසි සමයේ එක් තැනකට වී සිටි නිසා ඔවුන් ගෙයින් ගෙට ගමන් කිරීමක් සිදුවූයේ නැහැ. එහෙත් භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වැඩීමට, ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම එකල සමාජයේ විරෝධතාවක් එල්ල වී තිබේ. එසේම වර්ෂා කාලයේ පිඩුසිඟා වැඩීම ධර්ම ප්‍රචාර කටයුතුවල යෙදීම භික්ෂුන් වහන්සේලාට දුෂ්කර වූ බැවින් වස් සමය හෙවත් වප් මාසය පන්සලේ හෝ ආරණ්‍ය සේනාසනයේ හෝ වැඩ වාසය කරමින් භික්ෂුන් වහන්සේලාට කල්ගත කරන මෙන් බුදුන් වහන්සේ අනුදැනු වදාළහ. ඉන්පසුව වස් විසීම ආරම්භ කළහ.

වස් පවාරණය කරනු ලබන භික්ෂුන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජාව සිදු කරනු ලබන්නේද මෙම පුන් පොහෝ දිනයි.

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති,
උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමි

කඨින චීවර පූජාව බෞද්ධ ජනතාව මහත් බැති සිතින් සිදු කරනු ලබන පූජාවකි. මෙය උදා වන්නේ වසරේ එක් පෝය දිනක දී පමණක් වීමද විශේෂත්වයකි. කඨින චීවර පූජාව උතුම් පූජාවක් ලෙස සැලකීම ථෙරවාදී බුදුදහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්‍රයකි.එම සාම්ප්‍රදායික චාරිත්‍රයට අනුව අප රට තුලද කඨින චිවර පූජාව දැකගත හැකිය. වසරකට සැරයක් එක් පන්සලකදී ඒක් කඨින චීවරයක් පිරිනමන නිසාම මෙහි ආනිශංසය වැඩි බව බෞද්ධ ප්‍රජාවගේ මතය වන්නේ. මේ නිසා කඨින පූජාවන් සඳහා හතර පේරුවේ දායක කරකාදීන් මහත් ඇල්මෙන් දායක වෙනවා. මේ නිසා වප් පොහොය කඨින පොහොය ලෙසද ජනතාව හඳුන්වයි.

සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාලාභී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්වන්නේ ද වප් පුර පසළොස්වක පොහෝ දිනකය.

අනාගතයේ බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ පන්සියයක් පිරිස සමඟ පැවිදි දිවියට ඇතුළත් වන්නේ ද මේ උතුම් පොහෝ දිනකය.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩමවීමෙන් පසු භික්ෂුන් වහන්සේලා කැඳවා විනය සංගායනාවක් පවත්වන්නේද අද වැනි දිනක වීමද විශේෂත්වයකි.

දේවානම්පියතිස්ස රජතුමා ධර්මාශෝක අධිරාජ්‍යයා වෙත අරිට්ට කුමරු ඇතුළු දූත පිරිසක් පිටත් කර හැරීමත් එහිදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීමට සැලසුම් කිරීම සහ සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අරමුණු වන්නේ ද මෙවන් පුන් පොහෝ දිනකය.

සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දෙව්ලොවින් නික්ම නැවත දඹදිව සංකස්සපුරයට වැඩම කරන්නේ ද වප්පුර පසළොස්වක පොහෝ දිනක වීම ශාසනික වශයෙන් සිදුවූ විශේෂ සිදුවීමකි.

මහා ප්‍රජාපතී ගෝතමිය බුදුරජාණන් වහන්සේගේ සුළු මෑණියන් ය. බෝසතාණන් වහන්සේ ඉපිද දින හතෙන් මහමායා දේවිය කළුරිය කළේය. එතැන් පටන් කිරි පොවා බෝසතාණන් වහන්සේ හදා වඩා ගත්තේ මහා ප්‍රජාපතී ගෝතමියයි. ඇය පිරිනිවන් පෑමෙන් පසු ආදාහන පූජෝත්සවය සිදු කරන තැන තෙක් මව් ගුණ සිහිපත් කරමින් බුදුහිමි පසු ගමන් කර ගෞරව දැක්වූයේ මව් ගුණයට උපකාර වශයෙනි. බුදුවරු කිසිවකුත් වෙනුවෙන් පෙර ගමන් හෝ පසුගමන් නොයති. එහෙත් දෙමව්පියන් වෙනුවෙන් බුදුහිමි එසේ ගෞරව දැක්වීම ආදර්ශමත් උතුම් ක්‍රියාවකි.

බෝසතාණන් වහන්සේ බුදු වීමේ පුවත සුදොවුන් රජතුමාට දැනගන්නට ලැබුණු අවස්ථාවේ බුදුහිමි දැකීමේ ආශාවක් ඇතිවිය. එම අදහස පණිවුඩකරුවන් මගින් බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්හ. බුදුරජාණන් වහන්සේ පිය ගුණය සලකා පා ගමනින් සැට යොදුනක් ගෙවා රජු බැහැ දැකීමට රහතුන් පිරිවරා මාළිගාවට වැඩමකොට ධර්ම දේශනා කර මාර්ගඵල අවබෝධය ලබාදීමට කටයුතු කළේ මාපිය ගුණයට කෘතවේදී බව දැක්වීමටය.

බුදුබව ලබා ගැනීමෙන් පසු ප්‍රථම මංගල ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා පස්වග තවුසන් සොයා යොදුන් ගණනාවක් ගෙවා මිගදායේ ඉසිපතනා රාමයට වැඩම කළේ පස්වග තවුසන්ගෙන් කලක් උදව් උපකාර ලැබූ නිසා කෘතවේදීත්වය සැලකීම සඳහා ය.

බෝසතාණන් වහන්සේට බුදු බව ලබා ගැනීම සඳහා ඇසතු වෘක්ෂය සෙවණ පමණක් ලබාදුනි. බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ මේ ගැන අවබෝධ කරගෙන වජ්‍රාසනයෙන් නැඟී සිට සත් දිනක් අනිමිස ලෝචන පූජාව පැවැත්වූයේ මේ උතුම් ගුණයේ ශ්‍රේෂ්ඨත්වය ලෝකයට කියා දීමටය. බුදුන් වහන්සේලා මේ බෝසත් ගුණ වඩා එය වචනයට සීමා නොකර ක්‍රියාවට නඟා පෙන්නුම් කළේ හොඳ පවුලක්, සමාජයක්, රටක්, ලෝකයක් සුවපත් කිරීම සඳහා ය. මේ හැම භූමිකාවක් තුළ ජීවත් වන්නවුන් මේ ගැන විශේෂ අවධානය යොමුකර තම වගකීම ඉටු කිරීමට පුරුදු පුහුණු විය යුතුය.

දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරන්නේ හොඳ දරුවෙකු හදා වඩා ගැනීමටය. එය ඔවුන්ගේ සතුටයි. බලාපොරොත්තුවයි. දෙමාපියන් තම දරුවන් වෙනුවෙන් මවන මේ සිහින ඇතැම් දරුවන් සුණු විසුණු කර දමයි. පාප මිත්‍ර සේවනය නිසා තම ජීවිතයද විනාශ කර ගනිමින් දෙමාපියන් නොසලකා හරියි. ලෙඩට දුකට පිහිට නොවෙයි. ආහාරපාන ඇඳුම් පැළඳුම් සපයා නොදෙයි. දෙමාපියන් තමන්ට කරදරයක් යැයි සිතන ඇතැම් දරුවන් හිතක් පපුවක් නැතිව ගස් යට, මහ මඟ, පාලම් බෝක්කු යට මහලු මඩම්වල දෙමාපියෝ දමායති. දරුවකු බඩට ආ දා පටන් රැකවරණය ලබා දෙමින් කවා පොවා උස්මහත් කර අධ්‍යාපනය, රැකීරක්ෂා, විවාහ සිදුකර ලස්සන ජීවිතයක් ගොඩනඟා දුන්නද ගෙදර බුදුන් අම්මා තාත්තා යැයි කීවද තුට්ටුවක තරම්වත් මායම් නොකරති. එවැන්නක් බුදු හිමි පෙන්නුම් කළේ “තංපරා බව තෝ මුඛං” පිරිහෙන පුද්ගලයන් ලෙසත් වසල පුද්ගලයන් ලෙසත්ය.

සමාජයක් ලස්සන වෙන්න සාරධර්ම ගුණධර්ම රකින පුද්ගලයන් සිටිය යුතුය. එවැනි පුද්ගලයන් තමන් ගැනම නොසිතා අනුන්ගේ යහපත ගැනද සිතයි. දිළින්ඳන් වෙනුවෙන්, ඉගෙන ගන්නවුන් වෙනුවෙන් රෝගී වූවන් වෙනුවෙන් ගෙවල් දොරවල් තනාදීමෙන් ආහාරපාන ලබා දෙමින් ඇඳුම් පැළඳුම් සපයා දීමෙන් පොත්පත් ලබාදෙමින් බෙහෙත් හේත් ලබාදෙමින් පිහිට වෙති. කාලයාගේ ඇවෑමෙන් සමහරක් මේ උපකාර අමතක නොකර සුදුස්සෙකු වූ පසු උපකාර කළවුන් සොයා ගොස් පෙරළා උපකාර කරති. ඔවුන් ගුණ දන්නවුන් ලෙස හැඳින්විය හැක.

තවත් සමහරක් කළ උපකාරය මුළුමනින්ම අමතක කර දමයි. කතා කළත් නොඇසුණා සේය. බැලුවත් නොබැලුවා සේය. සිනාසුණත් සිනා නොවුණා සේය. සමාජයේ වැඩි හරියක් පිරී ඇත්තේ මෙබඳු පුද්ගලයන් ගෙන්ය. ඔවුන් සෙවණ ලබාදුන් ගස්වල අතු ඉති කපා දමන අවම ගති ලක්ෂණ ඇති ගුණමකුවෝය. සමාජය හැම විටම මෙබඳු අය ප්‍රතික්ෂේප කරනු ලබයි.

සිඟාලෝවාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සදිසා නමස්කාරය තුළ දෙමාපියන්, අඹු දරුවන්, ගුරුවරුන්, හිත මිතුරන්, ස්වාමි භාර්යා, ස්වාමියා සේවකයා, පැවිදි උතුමන් අතර එකිනෙක සමාජ කොටස්වලට ඉටු විය යුතු යුතුකම් හා වගකීම් පෙන්වා දී තිබේ. එවැනි යුතුකම් හා වගකීම් නිසි ලෙස ඉටු වන්නේ නම් අප බලාපොරොත්තු වන යහපත් සමාජයක් බිහි කරගත හැක.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර හා ගාථා ධර්ම තුළ මාපිය උවටැන ගැන බහුලව දේශනා කිරීමට හේතු පාදක වූයේ සමාජයේ ඇතැම් දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවූ අසාධාරණයන් දැක දෙමාපියන් එයින් අත මුදවා ගැනීම සඳහා ය. අජාසත්ත, දේවදත්ත වැන්නවුන්ගේ කතා මීට හොඳම නිදසුන් ලෙස පෙන්වා දිය හැක. දෙමාපියන්ට වධහිංසා පමුණු වන තාඩන පීඩන පමණුවන මරණයට පත්කරන අකුසල කර්ම හඳුන්වා ඇත්තේ පංචානන්තරීය කර්ම ලෙසටය. එවැන්නවුන් මළ පසු සතර මහා අපායේ උපදියි. එයින් ගැළවීමක් නැත.

බුදුරජාණන් වහන්සේ දෙමාපිය වටිනාකම් මේ ආකාරයෙන් හඳුනාගෙන කළ උපකාරයන් සිහිකොට සෑම දූ දරුවෙක්ම ඒ උතුම් මඟ යමින් ජීවිත වාසනාවන්ත කර ගැනීමට මේ පෝදා අධිෂ්ඨාන කර ගනිමු.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here