දින දෙකට රිය අනතුරු 7කින් මරණ 10ක්

0
3

නාරම්මලදී බට්ටා ලොරිය ලංගම බසයේ ගැටී එකම පවුලේ 3 ක් මරුට

මවක් හා දරු දෙදෙනා තුවාල ලබා රෝහලේ

පාසල් සිසුවෙක් – තරුණ යුවළක් තරුණියක් මියගිය අය අතර

දිවයින පුරා ගතවූ දින දෙක (04, 05) තුළ සිදු වූ මාරක රිය අනතුරු 7කින් 15 හැවිරිදි පාසල් සිසුවකු, තරුණියන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් 10 දෙනකු මරුමුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

මෙම රිය අනතුරුවලින් සිදු වූ මරණ ගම්පහ, හොරණ, නාරම්මල, පින්නවල, තිරුක්කෝවිල්, කටුවන, මධ්‍යම කඳවුර යන පොලිස් වසම්වලින් වාර්තා වේ.

ගම්පහ පොලිස් වසමේ වීදියවත්ත මංසන්ධියේදී යකඩ පටවාගෙන ඉතා වේගයෙන් ධාවනය වූ ලොරි රථයකට යටවීමෙන් ටියුෂන් පන්ති ගොස් එමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු පෙරේදා (04දා) මියගොස් තිබේ.

ඉතා අවාසනාවන්ත අයුරින් මෙලෙස මියගොස් තිබුණේ ගම්පහ, වීදියවත්ත පදිංචි උඩුගම්පළ සෙනරත් පරණවිතාන ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අලවතුරගේ කශේන් පෙරේරා නමැති 15 හැවිරිදි සිසුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හොරණ – මොරගහහේන මාර්ගයේ කනන්විල ප්‍රදේශයේදී පෙරේදා දැඩි වර්ෂාව මධ්‍යයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණ අඹු-සැමි යුවළක් යතුරුපැදිය පාලනය කරගත නොහැකි වී යෑමෙන් විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරින් අඹු-සැමි යුවළ එතැනම මරුමුවට පත්ව ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව පදිංචිව සිටි අවුරුදු 24 හා 21 යන වයස්වල පසුවන යුවළකි. මොවුන් හොරණ නගරයේ සාප්පු සවාරි ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයක් හා ලංගම බස් රථයක් ගැටී සිදුවූ මාරක රිය අනතුරින් එකම පවුලේ තිදෙනකු මරුමුවට පත්ව ඇතැයි නාරම්මල පොලිසිය පවසයි.

ඊයේ (5දා) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ පොළොන්නරුව පදිංචිව සිටි අවුරුදු 41, 80 හා 82 වයස්වල පසුවන තිදෙනෙකි.

බලන්ගොඩ දෙස සිට පින්නවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළී ගොස් විරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පසුපැදිකාරිය මරුමුවට පත්ව ඇතැයි පින්නවල පොලිසිය පවසයි.

පෙරේදා සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අරණායක පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.

තිරුක්කෝවිල් පොලිස් වසමේ අතුරු මාර්ගයක විනයාගපුරම් දෙස සිට තිරුක්කෝවිල් – පොතුවිල් ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී සිදුවූ අනතුරින් පාපැදිකරු බරපතළ තුවාල ලබා මරුමුවට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ නයාගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි අයෙකි.

මේ අතර සියාරපිටිය – වැලිපිටිය මාර්ගයේ තුන්දොළ පාලම අසලදී ත්‍රිරෝද රථයක් රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තුන්දොළ පාලමෙන් පහතට වැටී ත්‍රිරෝද රථ රියැදුරු මරුමුවට පත්වී සිව්දෙනකු තුවාල ලබා තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ ඌරුබොක්ක පදිංචිව සිටි 66 හැවිරිදි අයෙකි.

මේ අතර මධ්‍යම කඳවුර – උහන මාර්ගයේ 18 ජනපදය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණුපස අයිනේ ගමන්ගත් පදිකයකුගේ ගැටී සිදුවූ අනතුරින් පදිකයා මරුමුවට පත්වී තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වීරගොඩ පදිංචිව සිටි 75 හැවිරිදි අයෙකි.

නාරම්මල – කුරුණෑගල මාර්ගයේ නාරම්මල නගරය ආසන්නයේදී ඊයේ (5දා) අලුයම කුඩා ලොරි (බට්ටා) රථයක්, ලංගම බස් රථයක ගැටී සිදුවූ මාරක අනතුරකින් එකම පවුලේ තිදෙනකු මරුමුවට පත්වී දරුවන් දෙදෙනකු ඇතුළු තවත් තිදෙනකු රෝහල්ගත කර ඇතැයි නාරම්මල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පොළොන්නරුවේ පදිංචිව සිටි අවුරුදු 41, 80, 82 යන වයස්වල පසුවන තිදෙනෙකි. එම ලොරියේම ගමන් කළ 40 හැවිරිදි කාන්තාවක හා අවුරුදු 16 හා 9 වයස්වල දැරියන් දෙදෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.

කුරුණෑගල දෙස සිට නාරම්මල දෙසට ධාවනය වූ ලොරි රථය රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ දකුණු පසට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් කටුනායක සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.

ලොරි රථයේ සිටි පිරිස ජාඇළ ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.

අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

මියගිය අය අතර ලොරි රථයේ රියැදුරු ද රියැදුරුගේ බිරිඳගේ මව සහ පියා ද වන බවත් තුවාල ලබා ඇත්තේ ලොරි රියදුරුගේ බිරිඳ හා දරු දෙදෙනා බවත් පොලිසිය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ධම්මික සල්වතුර සහ ධර්මසේන වැලිපිටිය සහ කවිනි මධුෂා – අලව්ව

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here