දුම්රියක් දැක දැකම දුම්රිය පාර හරහා වාහනය දමන රියැදුරා නොම්මර එකේ ගොනෙකි. මේ වර්ගයේ ගොන් රියැදුරෙකු සිය කුඩා ලොරිය පාර හරහා දමන හැටිත්, ඒ දුම්රියට හැපී ලොරි පැටවා කුඩු වන හැටිත් අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මේ අනතුරේදී ලොරියේ රියැදුරා වාහනයෙන් දොර ඇරගෙන පැන පණ බේරා ගත් නමුත් අනෙකා බරපතළ ලෙස තුවාල විය. මෙතැන් සිට කතන්දරය කුමක්දැයි අපට ආරංචියක් නැත. මහපාරේ දකුණු පැත්තෙන් තරුණයෙක් ගමන් කරයි. තරුණයා පසුකර යෑමට එන වාහනයක් පාලනය කර ගැනීමට රියැදුරාට බැරිවෙයි. වාහනය තරුණයාගේ ඇඟ උඩින් යන අතර, ඔහුට බරපතළ තුවාල සිදුවෙයි. මේ වාහනයේ සුක්කානම කැරකැවූ රියැදුරා නොම්මර දෙකේ මෝඩයකු බව ගොනෙකු බව අපගේ වැටහීමයි. අනතුරක් වළක්වා ගැනීමට නොහැකි වීම නීතිවිරෝධී කාරණයකි. ඒ නිසා ලොරි කේස් එකේ රියැදුරාට මෙන්ම මේ දෙවන කේස් එකේ රියැදුරාට ද දඬුවමක් හිමි ය.
ලංකාව දිනෙන් දින රිය අනතුරුවලින් ස්වයංපෝෂණය වෙමින් පවතී. ඒ අනුව අපේ රට ජාතික නිෂ්පාදිතයට දායක වී ඇත්තේ රියඅනතුරුවලිනි. සාමාන්‍යයෙන් අවුරුද්දකට රථවාහනවලට හැපී හෝ යටවී මහමඟ ගමන් ගන්නෝ හත්සිය අනූදෙකක් මැරෙති. යතුරුපැදිකරුවෝ අටසියවිස්සක් මැරෙති. සාමාන්‍ය රියැදුරෝ එකසිය අසූනවයක් මැරෙති. රථවාහනවල ගමන් කරන මගීහු තුන්සිය දාහතරක් මැරෙති. පාපැදිකරුවෝ දෙසිය විසිහයක් මැරෙති. මෝටර් සයිකලයේ පිටුපස ආසනයේ ගමන් කරන්නෝ එකසිය අසූනවයක් මැරෙති. ඉහත සඳහන් ගණන් හිලව් ඉදිරිපත් කරන්නේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය විසිනි. ඒ නිසා මේවා කිසිසේත්ම බොරු නොවන බව සියලු දෙනා මතකතබාගත යුතු ය. අපේ රටේ දෛනික රිය අනතුරුවලින් මියයන පිරිස මේ ආකාරයෙන් ඉහළ ගියොත් මතුයම් දවසක දී ලංකාව ජනතාවගෙන් හිස්වී එක එක තැන්වල නැවැත්වූ රථවාහනවලින් සමන්විත මළවුන්ගේ රාජධානියක් බවට පත්වෙනවා ඇත. කොරෝනා වසංගතය පටන්ගෙන අවුරුදු පහක් පමණ යනතුරු ලංකාවට අලුත් රථවාහන ගෙන්වීමට ආණ්ඩුව ඉඩ දුන්නේ නැත. එහෙත් අවසානයේ දී පිටරටින් රථවාහන ගෙන්වීමට ලංකාවට සිදුවිය. මේ රට පිටස්තර ලෝකය සමග වෙළහෙලදාම් කරන රටකි. එසේම අයි.එම්.එෆ්. එක සමග ණය ගනුදෙනු කරන රටකි. ලේ බැංකුවෙන් සහ ඇස් බැංකුවෙන් හැර වෙනත් ඕනෑම බැංකුවකින් මුදල් ණයට ගන්නා රටකි. මේ නිසා තමන් ලංකාවට ණයට දෙන ඩොලර්වලින් සැලකිය යුතු කොටසක් තම කලාපයට එනු දැකීම අපගේ ජාත්‍යන්තර ණය හිමියන්ගේ අරමුණ වේ. ජාත්‍යන්තර වෙළඳාම හරියාකාරව දුවන්නේ එවිට ය. මේ නිසා වාහන ආනයනය තවදුරටත් තහනම් නොකරන ලෙස අයි.එම්.එෆ්. සංවිධානය ආණ්ඩුවට කීවේ ය. ඒ අනුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් වාහන ගෙන්වීමට පටන්ගන්නා ලදී. එකුත් මාස තුන ඇතුළත අලුතෙන් වාහන 37,000ක් රෙජිස්ටර් කර තිබේ. මෙයින් වැඩිම ප්‍රමාණය ඉලෙක්ටි්රක් මෝටර් රථ බව දැන ගැනීමට ද තිබේ. ඉතා පළල මේ මෝටර් රථ දිගින් ද වැඩි නිසා පාරේ ගමන් කරන විට “පාරෙන් එකයි” යන කියමනට හොඳාකාරවම ගැළපෙයි. ලංකාව වර්ග සැතපුම් 25,332 ක් විශාල රටකි. මේ භූමි ප්‍රමාණය තුළ කිලෝ මීටර් 12,255 ක් දිග ප්‍රධාන පාරවල් තිබේ. මේ ප්‍රධාන පාරවල් ‘ඒ’ ක්ලාස් සහ ‘බී’ ක්ලාස් යනුවෙන් කොටස් දෙකක් ලෙස වර්ග කර ඇත. මේ පාරවල් සමූහයෙහි පාලම් 4,270 ක් ඇත.
මේ රටේ මහාමාර්ග කිලෝ මීටර් ප්‍රමාණය විශාල වුවද රට තුළ ඇති සියලු වාහන එක පෙළට තැබූ කල්හි කිලෝ මීටර් 7,000 ක දුරක් ඉක්මවන බව සමහරුන්ගේ මතයයි. හැබැයි මෙසේ වීම සඳහා කිසිකෙනකු කිසිදවසක එක විට වාහන සියල්ලම මහපාරට දමන්නේ නැත. සාමාන්‍යයෙන් රටේ වාහනවලින් 60% ක් පමණ උදේ 6.00 සිට රාත්‍රී 8.00 පමණ දක්වා ධාවනය කෙරේ. මේ වාහනවලින් වැඩිම ප්‍රමාණයක් දුවන්නේ කොළඹ සහ නගරාසන්න ප්‍රදේශවල පාරවල්වල ය. අපේ රියැදුරන්ට පුදුම හදිසියක් තිබේ. ඔවුන් නිතරම ඉඳගෙන සිටින්නේ දිමිගොට්ටක් උඩ ය. එබැවින් දිමියන් කන වේගයට ඔවුහු රථවාහන එලවති. මේ අසාමාන්‍ය වේගය ද ප්‍රයිවට් බස්කාරයන්ගේ තරගය ද ත්රීවිලර්කාරයන්ගේ ඔල්මාදය ද නිසා නිතර අනතුරු හටගනී. විශේෂයෙන්ම වැඩි අනතුරු සිදුවන්නේ ලොකු වාහනවලිනි. කන්ටේනර් හෝ ටිපර් රථ එකට ගැටුණු විට සිදුවන අනතුර ඉතා විශාල ය. ඒ අතර බස් රථයක් අධික වේගයෙන් ගොස් හෙළකට පෙරළුණු විට විශාල හානියක් සිදුවේ. මෙවැනි වාහන ඇල්ලීමට පොලිසියට නොහැක. පොලිසිය කරන්නේ ලයිසන් නැති ත්රීවිලර්කාරයකු හෝ අසරණ මෝටර් සයිකල්කාරයකු අල්ලා ඔහු මිරිකා කීයක්හරි කපා ගැනීමට බැලීමට ය. ලොකු වාහනවල ගමන් කරන අය සමහර අනතුරුවලදී පොලිසියට ජරාවක් දී පැන ගනිති. නීත්‍යානුකූල පොලිස් නිලධාරියෙක් ලොකු වාහන හිමි මිනීමරු රියැදුරකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ගියොත් මෙතෙක් තිබූ ආණ්ඩුවල ලොක්කන් කළේ නන්දිකඩාල් කලපුවේ පොලිසියක් හදා එම නිලධාරියා එතැනට මාරු කිරීම ය. අලුත් ආණ්ඩුවේ ද එවැනි අවකල් ක්‍රියා තිබෙන බව පෙනේ. කිසිදු හේතුවක් නැතිව හොඳ පොලිස්කාරයන් හිටපු ගමන් තූත්තුකුඩියට මාරු ලබති.
රිය අනතුරුවලින් විනාශයට පත් වන්නේ මනුෂ්‍ය ජීවිතයි. මනුෂ්‍ය ජීවිතයක් යනු ඉතා වටිනා ආයෝජනයකි. මේ ආයෝජනයෙන් ගතහැකි ලාභයේ සීමාවක් නැත. ඒ නිසා අප ආණ්ඩුවෙන් ඉල්ලන්නේ වනචාරී රියැදුරන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ය. නැතහොත් අප පෙර කීවාක් මෙන් මතු අනාගතයේ දවසක වාහන සහ භූමිය පමණක් ඉතිරිවන මළවුන්ගේ රාජ්‍යයක් බිහිවනවා ඇත.
Saru FM Media