කඨින පින්කම් ඇරැඹි වගයි

0
3

කඨින චීවර පූජාව මහ පොළොව මෙන් කිසි කලෙකත් කම්පා නොවන, මහාමේරු පර්වතය මෙන් අධික සුළඟින් නොසෙල්වෙන, ඒකඝන වජිර පර්වතය මෙන් නොබිඳෙන ස්ථාවර ගරු පුණ්‍ය කර්මයකි. බුදුරදුන් දවස වැඩ සිටි නාගිත තෙරණුවන්ගේ උතුම් චරිත කතාව දෙස බැලීමේදී කඨිනයෙහි ආනිශංස මනාව වටහාගත හැකිය. නාගිත තෙරණුවෝ එක් භවයක කඨින පූජාවක් සිදුකොට එහි ආනිශංසය නිවන් මඟට හේතු වේවා! යි, ප්‍රාර්ථනා කළහ. එතැන් සිට සතර අපායේ නොඉපිද සදෙව් ලොව හා මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන්හි දෙව් – මිනිස් සැප වින්දහ. අවසාන භවයෙහි ඒහිභික්ඛු භාවයෙන් පැවිදිව අර්ථ, ධර්ම, නිරුක්ති සහ පටිභාණ යන සිව් අවබෝධය ද සහිතව සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.

සිරිලක කඨින පින්කම්

පුරාතන සිරිලක සමාජ පරිසරය තුළ රටවාසීන් සෑම දෙනකුගේම සහභාගිත්වයෙන් යුක්තව කඨින පූජෝත්සව සිදු කෙරිණි. ඊට රාජ්‍ය පාලකයන්ගෙන් ලැබුණේ ද පූර්ණ අනුග්‍රහයකි. එදාමෙදාතුර වස්සාන සමයේදී විහාරස්ථානයන්හි දායකකාරකාදීන් ස්වකීය හැකියාව හා අභිමතය පරිදි විවිධාකාර වූ පින්කම් සංවිධානය කරති. මෙම පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. විහාරස්ථානයක වර්ෂයක් තුළ සිදුකෙරෙන වඩාත් චිත්තාකර්ෂණීය පින්කම මෙකී කඨින පූජෝත්සවයයි.

පූජා චාරිත්‍ර රැසක්

කඨිනය හා සමගාමීව පෙරහැර, පූජා නැටුම්, සැරසිලි, පහන් පූජා, බෝධි පූජා, පිරිත් දේශනා, ධර්ම දේශනා, සඟසතු දාන පූජා, කප් රුක් පූජා ආදී විවිධාකාර පූජා චාරිත්‍ර සිදු කෙරේ. ඒ ඒ පළාත්වලට ආවේණික වූ ලක්ෂණ අනුව එම පූජා චාරිත්‍රයන්හි විශේෂතා දැකිය හැකිය. මේවා අතර ඇතැම් අංග කාලානුරූපීව සකස්ව ඇති අතර ඇතැම් අංග සාම්ප්‍රදායිකව පවත්නා පෞරාණික චාරිත්‍රවිධීන් ගණයට අයත් වේ.

කඨින චීවර පූජාව පවත්වන දිනයේ අලුයම ඒ සඳහා සකස් කළ චීවරය හෝ ප්‍රමාණවත් වස්ත්‍රයක් විහාරස්ථානයට වැඩමවීම සාම්ප්‍රදායික චාරිත්‍රයයි. ඒ වෙනුවෙන් ගමන් කරන පෙරහැර සඳහා කැපකරු දායක පක්ෂයේ හැකියාව අනුව අලි ඇතුන්, හේවිසි, තූර්ය වාදන, නැටුම් ආදී විවිධ සංස්කෘතිකාංග එක්වන බැව් පෙනේ. භික්ෂූන් වහන්සේ වස් විසූ ආරාමයට අයත් ගොදුරුගම් හා ඒ අවට ගම් ආවරණය වන පරිද්දෙන් මෙම කඨින පෙරහැර වීථි සංචාරය කරයි. මෙවන් පෙරහැරක් පැවැත්වීමෙහි මූලික පරමාර්ථය වනුයේ කඨින පින්කමෙහි ආනිශංස විශාල පිරිසකට අනුමෝදන්වීමට ඉඩප්‍රස්තාව සැලසීමයි. ඇතැම් ප්‍රදේශවල කඨින වස්ත්‍රය මොහොල්ගසක ඔතා දෙදෙනකු කර තබාගෙන උඩුවියන් යටින් ගමින් ගමට ගෙනයනු දැකිය හැකිය. මේ නිසා කඨින පෙරහැර මඟ දෙපස රැස්වන සැදැහැතියන්ට කඨින වස්ත්‍රය සියතින්ම ස්පර්ෂ කොට පින් අනුමෝදන්වීමේ භාග්‍යය හිමි වෙයි.

සියල්ල එකම දිනක

මෙලෙස තුන්යම් රාත්‍රිය පුරාම ගමින් ගමට වීථි සංචාරය කළ කඨින පෙරහැර අලුයම විහාරස්ථානයට ළඟා වෙයි. නාගරික පරිසරය තුළ බොහෝ අවස්ථාවල එය ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රිය ඉකුත්ව ගිය පසුවය. කොස් කොළයේ හෝ අඹ කොළයේ නැට්ට පෙනෙන තරමට සාමාන්‍ය පරිදි හිරු උදාවීම කඨින පෙරහැර විහාරස්ථානයට ඇතුළුවීම සඳහා නිශ්චිත වේලාව බව පුරාතනයේ පටන්ම පිළිගෙන තිබිණ. මෙසේ මහත් උත්සවාකාරයෙන් වැඩමකර වූ කඨින වස්ත්‍රය පිළිගන්නා භික්ෂූන් වහන්සේලා දායක පක්ෂයෙහි ද අභිමතය පරිදි එහි කඩ කපා කඨින චීවරය සකස් කරති. අතීතයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කඨින චීවරය ගෙත්තම් කිරීම (මැසීම) සිදු කෙරිණි. එහිදී බොහෝ සැදැහැවත්හු නූල් ඇමිණීම, මැසීම් ආදී කටයුතු සියතින්ම සිදු කිරීමට මහත් රුචිකත්වයක් දැක්වූහ. කඨින චීවරය සකස් කිරීම, පූජා කිරීම හා ඇතිරීම යන සියල්ලක්ම එකම දිනක් තුළ සිදු කළ යුතු වෙයි.

විනයානුකූලව පැවරීම

කඨින චීවරය මසා නිම කිරීමෙන් පසුව එය සුදු පැහැති වස්ත්‍රයක් නම් සෝදා පිරිසිදු කොට පඬු පෙවීම සිදු කළ යුතුය. මේ සඳහා සිවුරු රෙද්දක් භාවිත කළේ නම් එහි පඬු පෙවීම සංකේතවත් කිරීම්වස් සිවුරෙහි කොනක් සේදීම පුරාතන චාරිත්‍රයයි. මෙම විශේෂ අවස්ථාවන්හිදී හේවිසි, හෙරණෑ වාදනය කිරීමෙන් ශබ්ද පූජා පැවැත්වීම ද පුරාතනයේ සිදු කෙරිණි.

මේ අනුව ගෙත්තම් කොට පඬු පොවා වේළා සකස් කරගත් කඨින චීවරය කඨින පූජා මණ්ඩපයෙහි උස් ආසනයක තැන්පත් කෙරෙහි. අනතුරුව එහි රැස්වූ භික්ෂුන් වහන්සේලාට කඨින චීවරය පූජා කරනු ලබන්නේ දායකාරකාදීන් විසිනි. එහිදී පෞද්ගලිකව නොව උභතෝ සංඝයාට කඨිනය පූජා කිරීම පිළිගත් විනය ප්‍රඥප්තියයි. ඒ අනුව කඨිනය පිළිගත් භික්ෂුන් වහන්සේලා කඨින චීවරය සඟසතු කොට තමන් අතරෙන් එය ලැබීමට සුදුසු භික්ෂුන් වහන්සේ නමක් තෝරා විනයානුකූලව එය පැවරීම සිදු කරති.

කඨින බණ

මෙසේ සංඝ සම්මුතියෙන් කඨින චීවරය ලබා ගත් භික්ෂුන් වහන්සේ එහි කප් බින්දුව තැබීම නම් වූ චාරිත්‍රය ඉටු කරති. මොනර ඇසක තරම් ප්‍රමාණයේ කවාකාර බින්දු තුනක් සිවුරේ එක් කොනක තැබීම කප් බින්දුව තැබීම නම් වේ. මෙය සාමාන්‍යයෙන් සටහන් කරනුයේ බුලත් කොළයක් සිවුරේ යටින් තබා ඒ මත උඩින් කවාකාර යතුරකින් තද කිරීමෙනි. මේ තුළින් අලුත් වස්ත්‍රයක් කෙරෙහි ඇතිවන ආශාව යටපත් කිරීම අදහස් කෙරෙයි.

කඨින පූජා චාරිත්‍ර සියල්ලක්ම නිමවනුයේ කඨිනත්ථාරක භික්ෂුන් වහන්සේ විසින් සාම්ප්‍රදායික වශයෙන් පවත්වනු ලබන කඨිනානිශංස ධර්ම දේශනාව සිදු කිරීමෙන් පසුවයි. වප් පොහෝදා සිට ආරම්භ වන කඨින පින්කම් ඉල් පොහෝදා වන විට නිමාවට පත් කළ යුතු වෙයි.

එකල ලක්දිව විහාරස්ථාන අඩු ප්‍රදේශවල සැදැහැවතුන් එකතුව භික්ෂූන් වහන්සේ නමකට වස් විසීමට යෝග්‍ය ස්ථානයක් පිළියෙල කොට එහි වස් වැසවීම සාමාන්‍ය සිරිතක්ව පැවතිණ. වස් සමය නිමවීමෙන් පසුව එම ස්ථානය ස්ථිර විහාරස්ථානයක් බවට පත් වුණි. ලක්දිව බොහොමයක් විහාරස්ථාන ආරම්භ වී තිබෙන්නේ මේ ආකාරයටය. පුරාතනයේ මෙන්ම අදටත් ඇතැම් සැදැහැවතුන් අභිනවයෙන් නිවසක් ඉදි කළ විට පළමුව එහි භික්ෂූන් වහන්සේ නමක් හෝ දෙතුන් නමක් සිරිත් පරිදි වස් වැසවූහ. නිවස භාවිතයට යොදා ගන්නේ වස් සමය නිමවා කඨින චීවර පූජාවත් සිදු කිරීමෙන් පසුවයි.

මෙසේ භික්ෂූන් වහන්සේලා සහ සැදැහැවත් ගිහි සමාජය අතර අත්‍යන්ත සමීප සබැඳියාවක් ඇති වූයේත් ආරාමික දිවි පෙවෙත ක්‍රමානුකූල පදනමක් ඔස්සේ සංවර්ධනය වූයේත් වස් විසීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

● ඌරුගමුවේ අස්සජි හිමි

සංස්කරණය – සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here