පනත සම්මතයි (ශිෂ්‍යයා ගුරුවරයාට නෙළයි?)

0
3

2025 ඔක්තෝබර් මස 05 වැනිදා ඉරිදා

මේ දිනවල ඉතා වැදගත් කතිකා දෙකක් සමාජගත වී තිබේ. ඉන් පළමුවැන්න සමරිසි ප්‍රජාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ගන්නා උත්සාහයක් ගැන කතාබහය. දෙවැන්න අවුරුදු 18 න් පහළ ළමයින්ට කායික හෝ වාචික දඬුවම් සහ වධහිංසා පැමිණවීම තහනම් කෙරෙන පනතකි. මේ පනත මේ වනවිට කෙටුම්පත් කර අවසන් වී ඇති අතර, පාර්ලිමේන්තුවේ දී විවාදයට ලක්වීමට නියමිත ය. සමරිසි සංචාරක සංචාරක කතාව දැනටමත් ආණ්ඩුව විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබ තිබේ. කෙසේ වුවද ඉහත සඳහන් කතන්දර දෙකම ලෙඩ ගොඩක් බව අපගේ අදහස වේ. ඒ අනුව වඩා ඵලදායී ලෙඩේ වන 18 න් පහළ ළමුන්ට හිංසාපීඩා කිරීම තහනම් කරන කතන්දරය දෙසට අවධානය යොමු කරමු. අපට හැඟෙන හැටියට ආණ්ඩුව මෙම පනත ගෙන ඒමට සැලසුම් කර ඇත්තේ ළමයින්ගේ ආරක්‍ෂාව පිණිස ය. එහෙත් එයට දේශපාලනඥයෝ ද මේ රටේ ගුරු සංවිධාන ද දැඩි ලෙස විරෝධය පළ කරති. මේ පනත තවමත් සම්මත වී නැතත් එය තමන්ට හැකි පරිදි සම්මත කර ක්‍රියාත්මක කිරීමට මේ රටේ පාසල් කිහිපයක දරුවෝ ඔක්තෝබර් පළමුවැනිදාට යෙදුණු ලෝක ළමා දිනයේ දී කටයුතු කළහ. උදාහරණයක් වශයෙන් මොනරාගල මහානාම ජාතික පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් ගුරුවරයකුට පහර දුන්නේ ය. එදිනම පාසල් සිසුන් පිරිසක් ලෝක ළමා දිනය සැමරීම සඳහා අරක්කු බී පාසලට පැමිණියහ. තවත් ළමයින් පිරිසක් පාසල් කාලය තුළදී මදන මෝදකය අනුභව කළහ. පළමුවන සිද්ධියේ දී වී ඇත්තේ එකොළොස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයා පවර්බෑන්ක් එකක් සාක්කුවේ දමාගෙන පාසලට පැමිණීම ය. මෙය දුටු ගුරුතුමෙක් පවර්බෑන්ක් එකට සම්බන්ධ ජංගම දුරකථනය පිළිබඳ ශිෂ්‍යයාගෙන් විමසීමක් කර ඇත. එහිදී හටගත් කතාබහක දී තරුණ ශිෂ්‍යයා විසින් ගුරුතුමාට නෙළා ඇත. මේ කතුවැකිය ලියන විටත් ගුරුතුමා සිටියේ රෝහලේ ය.

මේ රටේ ළමයි හැබෑ ලෙසම වැඩිහිටියන් වෙතින් අපහරණයට ලක්වෙති. සීයා, පියා, බාප්පා, මාමා සහ සහෝදරයා විසින් කුඩා දැරියන් දූෂණය කිරීම අදටත් මේ රටේ විශාල වශයෙන් සිදුවෙයි. මේ රටේ ගුරුවරුන් කෝපයට පත්වූ විට ළමයින්ට කතා කරන්නේ අමුතිත්ත කුණුහරුපයෙනි. සමහර ගුරුවරු වේවැල්වලින් ද අතින් පයින් ද ලී පතුරුවලින් ද පුටු කකුල්වලින් ද දරුවන්ට පහර දෙති. සමහර විට තරුණ ශිෂ්‍යාවන් පවා අව්වේ දණගස්වා තබති. ගුරුවරියක විසින් සිසුවියන් හතර දෙනකු පැය පහක පමණ කාලයක් ගිනිඅව්වේ දණගස්වා තැබීමේ සිද්ධියක් පසුගියදා දැනගන්නට ලැබිණ. අදාළ ගුරුවරියට රිමාන්ඩ් එකට යෑමට පවා සිදුවිය. තවත් සිද්ධියක දී ගුරුවරිය පහරදීම නිසා ශිෂ්‍යාවක මියගියාය. ඒ පහරදීම කළ ගුරු මෑණියෝ ද රිමාන්ඩ් බන්ධනාගාරගත වී කල්දේරම් බත් අනුභව කළාය. මේ රටේ වැඩිහිටි පරම්පරාවත්, ගුරු පියවරු සහ ගුරු මෑණිවරු කෝපගත් අවස්ථාවලදී දරුවන්ට හිරිහැර කරන්නේ ඒ දරුවන් මී හරක් ලෙස සලකා ය. ඒ දරුවන්ගේ සම, මී හරක් සමක් මෙන් ඝනකම් බව එම ගුරු මෑණිවරුත්, ගුරු පියවරුත් කල්පනා කරති. හැඳිගෑ තරමට හොද්ද රස වන බවට මෝඩ කියමනක් ශ්‍රී ලංකාවේ තිබේ. එසේ නම් හොද්ද හිඳෙනතුරුම පැය ගණනක් හැඳිගා අමෘතය වැනි රසවත් ආහාරයක් නිපදවිය හැකිය. හැඳිගෑ තරමට හොද්ද රසවන බවට ඇති මතයෙන් කියැවෙන්නේ ශාරීරික වධහිංසා කළ තරමට දරුවන් හදාගත හැකි බවය. ඉතා දරුණු වධයට ලක්වන සිසු දරුවෝ එක්කෝ ගුරුවරයාට පාසලේදීම පහරදෙති. නැතහොත් මගදී සෙට් වී පහරදෙති. සීමාව ඉක්මවා මෙසේ පහරකන ළමයි ඇතැම් විට පාසල අත්හැර ගොස් මිනීමරුවෝ බවට පත්වෙති. අප මෙයින් කියන්නේ ගුරුතුමාගෙන් ගුටිකෑම නිසා මිනීමරුවකු බිහිවන බව නොවේ. හතර පොහොයට සිල් ගන්නා ළමයි ද මිනීමරුවන් වන අවස්ථා ඇත. එහෙත් ප්‍රචණ්ඩත්වයට ලක්වන දරුවන්ගේ චරිතය භග්න වී මානුෂික විකෘතීන් ඇති වීමට පුළුවන. වැඩිහිටියා තමන්ට සැලකූ ආකාරය ඊටත් වඩා දරුණු ලෙස ඊළඟ පරම්පරාවට ගෙනයෑමට ළමයි උත්සුක වෙති.

1948 දී ලංකාවට නිදහස ලැබෙන විට බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ළමයින්ට කායික දඬුවම් දීම පිළිබඳ නීතියක් පනවා තිබිණ. මේ නීතියේ හැටියට, වරදක් කරන දරුවා කායික දඬුවමකට සුදුසු නම් එම දඬුවම දීමට පෙර විදුහල්පතිවරයා විසින් එම දරුවාගේ කායික තත්ත්වය පරීක්‍ෂා කළ යුතු ය. ඊළඟට දරුවාට පහරදීම සඳහා වේවැලක් යොදාගත යුතු ය. මේ වේවැල අඩි තුනකට වඩා දිගු නොවිය යුතු අතර අඟල් කාලකට වඩා ඝනකම් නොවිය යුතු ය. දරුවාට පහරදීම ප්‍රසිද්ධියේ කිරීම තහනම් ය. එය විදුහල්පති විසින් හෝ විනය පාලක ගුරුවරයා විසින් හෝ කරනු ලැබිය යුතු ය. සිසුවාට දිය හැකි උපරිම වේවැල් පහර ප්‍රමාණය 3 කි. ඉන්පසුව එම දරුවාට පහරදීම පිළිබඳ ලොග් සටහනක් යෙදීමට විදුහල්පති පියවර ගත යුතු ය. අද මේ රටේ සිටින ඇතැම් විදුහල්පතිවරු සතිපතා පැවැත්වෙන රැස්වීමේ දී වරදකාරී සිසුවන් කැඳවා ප්‍රසිද්ධියේ ඔවුන්ට පහරදෙති. මේ ප්‍රහාරය උදේම දකින ඇතැම් දරුවෝ ක්ලාන්ත වී බිම ඇදවැටෙති. ගුරුවරයා විසින් දරුවන්ට කායික හෝ වාචික දඬුවම් දීම 100% ක්ම බැහැර කළ යුතු යැයි අපි නොකියමු. ඒ දරුවන්ට කිසියම් දඬුවමක් තිබිය යුතු ය. හැබැයි ඒ දඬුවම අතින් පයින් හෝ පුටු කකුල්වලින් පහරදීමත්, දරුවාගේ අම්මාගේ හොරමිනිහා ගැන ප්‍රසිද්ධියේ කියමින් බැණවැදීමක් නොවිය යුතු ය. දණ්ඩනය යනු ආණ්ඩුව විසින් පිළිගන්නා දෙයකි. දණ්ඩනීති සංග්‍රහය ක්‍රියාත්මක වන්නේ එම පදනම උඩය. දරුවන් සම්බන්ධ දණ්ඩන කටයුතුවලදී වඩාත් නම්‍යශීලී විය යුතු බවට ආණ්ඩුවට තිබෙන අදහසට අප පක්‍ෂපාත ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here