ඝාතනයක් යැයි වසර ගණනාවකට පෙර පරීක්ෂණවලින් හෙළිවෙලා
ඝාතනයට ටී 56 දුන්නේ සම්පත් මනම්පේරි
තාජුඩීන් ඝාතනය වනවිට කජ්ජාගේ පුතුට අවුරුදු 3යි
අවුරුදු 13ක් තිස්සේ සීඅයිඩියට අඳුරගන්න බැරි පුද්ගලයා කජ්ජාගේ බිරිඳ අඳුරගෙන
දහතුන් වසරක් තිස්සේ මැරි මැරී ඉපදෙන සුපිරි රගර් තරුව මොහොමඩ් වසීම් තජුඩීන් නැවතත් හදිසියේම උත්ථානය ලබා සිටියි. ඒ ඝාතනයට ලක් වූ මිද්දෙණියේ කජ්ජාගේ බිරිඳ විසින් හෙළි කළ ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමත් සමගය.
මේ හෙළිදරව්ව දේශපාලන පොරපිටිය පමණක් නොව මුළු රටම නැවතත් කළඹවන තත්ත්වයකට පත් කිරීමට සමත් වුණේය.
මේ හෙළිදරව්වත් සමගම ගැරඬින්ට භූමිතෙල් ගැසුවාක් මෙන් කලබලයට පත් වූ ඇතැම් දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගත්හ. ඇතැමුන් වසීම් තාජුඩීන්ට සාධාරණයක් ඉටුකර දියයුතු බව කියමින් මොර දෙන්නට වූහ.
මේ කොයිහැටි වෙතත් වසීම් තාජුඩීන්ටවත් ඔහුගේ පවුලේ ඥාතීන්ටවත් මේ වනතුරුත් කිසිදු සාධාරණයක් ඉටු වී නැති බව නම් සැබෑය. වසර දහතුනක් තිස්සේ මහ පොළොවේ අඩි හයක් යට සැතපී සිටින වසීම් තාජුඩීන් නැවතත් ජීවත් වන්නට පටන් ගෙන ඇති බව පමණක් පැහැදිලිය.
දහතුන් වසරක් තිස්සේ දේශපාලන වේදිකාවේ තිබූ ප්‍රධානම මාතෘකාවලින් එකක් වූයේ වසීම් තාජුඩීන්ගේ අභිරහස් ඝාතනයයි. වසීම් තාජුඩීන්ට සාධාරණයක් ඉටුකර දෙන බව කියමින් දේශපාලන වේදිකා දෙවනත් කළ දේශපාලනඥයන් බලයට පත්වීමත් සමගම නිහඬ වූහ. එය ඇතැම් දේශපාලන පක්ෂ බලයට පත්වීමට පමණක් භාවිත කළ මාතෘකාවක් බවට පත්ව තිබුණේය.
වර්තමාන රජය බලයට පත්වන්නේද තාජුඩීන්ට සාධාරණයක් ඉටුකර දෙන බව කියමින්ය. වර්තමාන රජය බලයට පත්වි වසරක් ගෙවී යනතුරුත් තාජුඩීන් ගැන කතාවක් තිබුණේ නැත. එහෙත් පසුගියදා හදිසියේම වසීම් තාජුඩීන් නැවත කරළියට ආවේය. ඒ කජ්ජාගේ බිරිඳ සිදුකළ රට කළඹවන හෙළිදරව්වත් සමගය.
තමන් රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස දීර්ඝ කාලයක් තිස්සේ සිටි බව කජ්ජා විසින් චමුදිත සමරවික්‍රමගේ යූටියුබ් නාලිකාව හරහා හෙළි කර තිබුණේය. දකුණේ සිදුවූ අභාරහස් ඝාතන මෙන්ම ආන්දෝලනාත්මක අපරාධ රැසක් පිළිබඳව චමුදිතගේ යූටියුබ් නාලිකාව හරහා කජ්ජා හෙළිදරව් කළේය. අවස්ථා දෙකකදී මේ හෙළිදරව් කිරීම් කර තිබිණි.
තවත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් සිදුකිරීමට පෙර කජ්ජා ඝාතනයට ලක්විය. ඒ පසුගිය පෙබරවාරි 19 වැනිදා රාත්‍රි කාලයේදීය. පාතාල අළුගෝසුවන් විසින් කජ්ජා පමණක් නොව ඔහුගේ අහිංසක නොදරුවන් දෙදෙනා ද මහ මඟ වෙඩි තබා ඝාතනය කර දැමුවේ මුළු රටම කම්පාවට පත් කරමින්ය.
කජ්ජා ඝාතනයේ රහස් එළියට
මේ ඝාතනය ඒ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටි බැකෝ සමන් සහ තැඹිලි ලහිරු විසින් මෙහෙය වූ බව පසුව හෙළි විය. මත්ද්‍රව්‍ය ආරවුලක් ඊට මුල් බවද එදා හෙළි වී තිබිණි.
තැඹිලි ලහිරු බැකෝ සමන් ඇතුළු පාතාල නඩය ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු කජ්ජා ඝාතනයේ රහස් එළියට එන්නට පටන් ගත්තේය. සම්පත් මනම්පේරි නමැත්තා ද කරළියට එන්නේ ඒ අතරතුර දීය.
රාජපක්ෂ පවුලේ තවත් සුවච කීකරු ගෝලයකු වූ සම්පත් මනම්පේරි පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයකු ද විය. මනම්පේරිගේ අපරාධ ගිණුම් විවෘත වන්නට පටන් ගැනීමත් සමගම ඔහු පොහොට්ටු පක්ෂයෙන් පන්නා දැමුවේය.
විමර්ශනවලින් අනාවරණය වූයේ කජ්ජා ඝාතනයට යොදාගත් ටී 56 ගිනි අවිය කුලී ඝාතකයන් වෙත ගෙන ගොස් දී තිබුණේ සම්පත් මනම්පේරි විසින් බවය. අවසානයේදී මනම්පේරි ද එය පිළිගත්තේය. එකින් එකට සම්බන්ධ මේ සියලු කරුණු කාරණා විශ්ලේෂණය කිරීමේදී එක් දෙයක් පැහැදිලි වෙයි. ඒ කජ්ජා ඝාතනය පිටුපස විශාල අභිරහසක් තිබෙන බවය.
කජ්ජා ඝාතනය වනවිට ඔහුගේ බිරිඳ සිටියේ ඩුබායි රාජ්‍යයේය. කජ්ජා ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ එය සැඟවී ගිය සත්‍ය කතාව හෙළි කරගැනීම සඳහාය.
තජුඩීන් ඝාතනය කරළියට ඒම
කජ්ජාගේ බිරිඳගෙන් සහ 16 හැවිරිදි වැඩිමහල් දරුවාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළහ. ඒ මීට මාස 05කට උඩදීය. එහිදී කජ්ජා විසින් චමුදිතගේ යූටියුබ් නාලිකාව හරහා කළ හෙළිදරව්වකට අදාළව ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කෙරිණි.
තාජුඩීන් ඝාතන සිද්ධිය කරළියට එන්නේ එහිදීය. වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දින ඔහු ගමන් ගත් මෝටර් රථය ලුහුබැඳ යන ඩිපෙන්ඩර් රථයේ සිටි සංවිධානාත්මක පිරිසක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර සොයාගෙන තිබුණේය. ඒ සීසීටීවී දර්ශන හරහාය. එම පිරිස අතර සිටි එක් පුද්ගලයකු වසර 13ක් තිස්සේ හඳුනාගෙන තිබුණේ නැත. අදාළ සීසීටීවී දර්ශන පෙළ කජ්ජාගේ බිරිඳට පෙන්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළහ.
එම දර්ශනවල සටහන්ව තිබුණේ වසීම් තාජුඩීන් සිය මෝටර් රථයෙන් තිඹිරිගස්යාය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් වෙත පැමිණෙන අයුරුය. තාජුඩීන් එහි පැමිණෙනවිට සුපිරි වෙළෙඳසැල අසල නාඳුනන පුද්ගලයකු බියර් කෑන් එකක් පානය කරමින් සිටියේය.
තාජුඩීන් සුපිරි වෙළෙඳසැලෙන් වතුර බෝතලයක් මිලදී ගෙන නැවත සිය මෝටර් රථයේ එසේ නැඟී යද්දී අර නාඳුනන පුද්ගලයා ඩිපෙන්ඩර් රථයේ නැඟී ඔහු ලුහුබඳින අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබුණේය.
එහෙත් මේ සීසීටීවී දර්ශන ඉතාම අපහැදිලි ඒවා විය. තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර පැවැති විමර්ශනවලදී මෙම සීසීටීවී දර්ශන මොරටුව විශ්වවිද්‍යාලය වෙත යවා එහි සිටින පුද්ගලයන් හඳුනාගැනීමට ගත් උත්සාහයන්ද ව්‍යාර්ථ වී තිබිණි.
මෙම සීසීටීවී දර්ශන පෙළ කජ්ජාගේ බිරිඳට පෙන් වූ අවස්ථාවේ ඇය විසින් කිසියම් හඳුනාගැනීමක් කළාය.
අවුරුදු 17ක් තිස්සේ එකට පවුලේ කාපු මනුස්සයව මම අඳුනගන්න බැරිද එයාට කොන්දේ අමාරුවක් තියෙනවා ඒ නිසා එයා කොයි වෙලාවෙත් අත පිටුපසට දාලා කොන්ද අතගානවා. ඒ වගේම එයාගෙ හැඩරුවෙන් මට එයාව අඳුනගන්න පුළුවන්.
කජ්ජාගේ බිරිඳ සීසීටීවී දර්ශන නැරඹීමෙන් පසු එහි සිටින්නේ තම සැමියා බව ස්ථීර කළාය. ඒ හඳුනාගැනීම සිදුවන්නේ හැඩරුවෙන් සහ ඔහුගේ අංග චලනයන් නිරීක්ෂණය කිරීමෙන්ය. අධිකරණය ඉදිරියේ ඒ සාක්ෂිය කොයිතරම් දුරට පිළිගැනීමක් හිමි වේද කියා පැහැදිලි නැත.
කජ්ජාගේ බිරිඳ විසින් කළ මේ අනාවරණයට මහා ප්‍රසිද්ධියක් ලැබුණේය. ඒ පොලිසියේ වැඩබලන මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් මේ බව රටටම හෙළි කිරීමෙන් අනතුරුවය.
කජ්ජාගේ වැඩමිල් පුතාගෙන් හෙළිදරව්වක්
කජ්ජාගේ බිරිඳගේ මේ හෙළිදරව්වේ උණුසුම මැකී යන්නට මත්තෙන් ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ද මුල්වරට කරළියට ආවේය.
තම මවගේ එහෙමත් නැත්නම් කජ්ජාගේ බිරිඳගේ අනාවරණය අමූලික බොරුවක් බව ඔහු හෙළි කළේ විමර්ශන නිලධාරීන් පමණක් නොව මුළු රටේම ජනතාව අන්දුන් කුන්දුන් කරමින්ය.
“තාත්තට වෙඩි තියලා මරණ කොට අම්මා ඩුබායිවල හිටියේ. ඒ වෙන මිනිහෙක් එක්ක. තාත්තගේ ඝාතනයට අම්මත් හවුල්. අම්මා මාවයි නංගිවයි මල්ලිවයි තාත්තවයි දාලා රාමනායක කියලා මිනිහෙක් එක්ක පැනලා ගියා. ඒ මිනිහා අපේ වාහනයේ ඩ්‍රයිවර්.
තාජුඩීන්ගේ මරණයට මගේ තාත්තා සම්බන්ධ නැහැ. මම මැය ගැන හොඳට දන්නවා අම්මා තාත්තා එක්ක තිබුණු තරහට තමයි එය කතාව කියන්නේ. තාජුඩීන් මරණ කාලේ වෙනකොට මගේ තාත්තා බස් කොන්දොස්තර කෙනෙක්. එයා ඔය පාතාල වැඩවලට සම්බන්ධ නැහැ.
කජ්ජාගේ පුත්‍රයා, ප්‍රසිද්ධ නාලිකාවක් හමුවේ පෙනී සිටිමින් මේ සියල්ල ගිරා පෝතකයකු මෙන් කියාගෙන ගියේ මුළු රටම මොහොතකට තුෂ්නිම්භූත කරමින්ය. තාජුඩීන් ඝාතනය වන්නේ ඉකුත් 2012 වර්ෂයේ දීය. ඒ වනවිට කජ්ජාගේ වැඩිමහල් පුත්‍රයා යන්තම් අවුරුදු 3-4ක වයසේ පසුවූ හයහතර නොතේරෙන දරුවෙකි. තම පියා අපරාධකාරයෙක් ද ඔහු වැඩ කරන්නේ කාටද යන්න පිළිබඳව මේ හය හතර නොතේරෙන දරුවාට තේරුමක් නොතිබූ බව පැහැදිලිය. ඔහු දන්නේ තම පියා බස්රථයක එල්ලී ගොස් ටිකට් කැඩූ අයකු බව පමණය. එබැවින් කජ්ජාගේ පුත්‍රයා කරන මේ හෙළිදරව්ව ද පැහැදිලි නැත. කෙසේ වෙතත් ඔහු කිසියම් පිරිසක් විසින් මෙහෙයවන බව නම් පැහැදිලිය.
ඒ අතරම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ ද මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් ආණ්ඩුවට දෝස්මුරයක් එල්ල කළේය. තාජුඩීන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා සිටියේය.
නාමල්ගෙන් චෝදනාවක්
තාජුඩීන් අසාධාරණයකට ලක්වෙලා තියෙනවානම් ඔහු වෙනුවෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා ඔහුට සාධාරණයක් කරන්න. සී.අයි.ඩී. එක බොරු සාක්‍ෂි හදලා ආණ්ඩුව සතුටු කරන්න හදනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්න ඕනේ මේ වගේ හෙළිදරව්වක් කළාම ඒක අධිකරණයට එහෙම නැතුව මාධ්‍ය ඉස්සරහට ඇවිත් විමර්ශන ගැන හෙළිදරව් කරන එක නෙවෙයි.
කජ්ජාගේ බිරිඳ හරහා සී.අයි.ඩී.ය කර තිබූ අනාවරණය ගැන නාමල් රාජපක්ෂ සැරෙන් කතා කළේය. කෙසේ වෙතත් තාජුඩීන්ගේ ඝාතන විමර්ශන නැවත කරළියට ඒමත් සමගම ඊට හවුල් වූ අපරාධකාරයන් කලබල වී ඇති බව නම් පැහැදිලිය.
එහෙත් වසර දහතුනක් තිස්සේ විවිධ හැළහැප්පීම්, බලපෑම් යටගැසීම් සාක්‍ෂි විභාග කිරීම් මැද්දේ සිදු වූ තාජුඩීන් ඝාතන විමර්ශනය කොයිතරම්දුරකට සාර්ථකව ඉදිරියට කරගෙන යෑමට හැකිදැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණය.
ඒ මන්ද යත් තාජුඩීන් ඝාතනය පිටුපස සිටින දේශපාලන අදිසි හස්තයන් මේ විමර්ශන වසර ගණනක් තිස්සේ උඩු යටිකුරු කර තිබූ නිසාය. වර්තමාන ආණ්ඩුව යටතේවත් තාජුඩීන්ට සාධාරණයක් ඉටු නොවුණොත් ඔහුට සිදුවන්නේ අසාධාරණයට ලක්වූවන්ගේ ලැයිස්තුවට එක්වෙමින් සදාකාලිකව මහ පොළොව යට සමාදානයේ සැතපී සිටීමටය.
වසීම් තාජුඩීන්ට කමක් සිදුවූයේද කියා මුළු රටම දන්නා එහෙත් තවමත් අභිරහසක්ව පවතින මේ ඝාතනය සිදුවන්නේ ඉකුත් 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා හිමිදිරි පාන්දරය. ඝාතනයට ලක්වනවිට තාජුඩීන් 28 හැවිරිදි වියේ පසු වූ අවිවාහකයෙකි. අද ඔහු ජීවතුන් අතර සිටියා නම් 41 හැවිරිද පුද්ගලයෙකි.
වසීම් තාජුඩීන් අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේය. වැල්ලවත්ත මුරුගන් පාරේ පදිංචිව සිටි තජුඩීන් පවුලේ බාලයා විය. ඔහුට වැඩිමහල් සොහොයුරිය දන්ත වෛද්‍යවරියකි. වැඩිමහල් සොහොයුරා ව්‍යාපාරිකයකු වන අතර ඔහු සිටියේ විදෙස්ගතවය.
තාජුඩීන් සිය වැඩිමහල් සොහොයුරිය සහ පවුලේ සාමාජිකයන් සමග වැල්ලවත්ත මහගෙදර පදිංචිව සිටියේය. කුඩා කල සිටම රගර් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ තාජුඩීන් ශාන්ත තෝමස් විද්‍යාලයේ රගර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය. පුංචි කාලේ සිටම අමුතුම චරිතයක් වූ තාජුඩීන් පාසලේ කා අතරත් ජනප්‍රිය ශිෂ්‍යයකු විය.
ලොකුකම් මහන්තත්තකම් ඔහුට රිස්සුවේ නැත. පොළොවේ පය ගසා සිටි තරුණයකු වූ තාජුඩීන් අසාධාරණයට එරෙහිව හැමවිටම නැඟී සිටියේය. තාජුඩීන් පාසල් යන සමයේ ඔහුගේ සම වයසේ සිටි ශිෂ්‍යයන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයන් තිදෙනා වන නාමල් යෝෂිත සහ රෝහිත රාජපක්ෂ ද අධ්‍යාපන ලැබූවෝය.
නාමල් යෝෂිත සහ රෝහිත රාජපක්ෂවරුන් තිදෙනාම රගර් ක්‍රීඩාවට දැඩි ලෙස ඇල්මක් දැක්වූවෝය. පාසලේ මෙන්ම රගර් කණ්ඩායමේ සමකාලීන මිතුරන් ලෙස තාජුඩීන් රාජපක්ෂ සහෝදරවරුන් තිදෙනාව ඇසුරු කළේය. ඒ වනවිට මහින්ද රාජපක්ෂ රටේ පෙරළිකාර දේශපාලනඥයකු ලෙස ප්‍රසිද්ධව සිටියේය. මහින්ද රාජපක්ෂගේ දරුවන් කියා රාජපක්ෂ සොහොයුරන් තිදෙනාට ද පාසලේ ලැබී තිබුණේ ඉහළ තැනකි. එහෙත් වසීම් තාජුඩීන් මේ සොහොයුරන් තිදෙනාවම ගණන් ගත්තේ නැත. ඔවුන් තිදෙනා ද අනෙක් සම වයසේ මිතුරන් ලෙස ඇසුරු කළේය. කිසිවිටෙකත් රාජපක්ෂ පුතුන්ට හිස නැමුවේ නැත.
අසාධාරණකම් හමුවේ තාජුඩීන් ඔවුන් සමග ගැටුණේය. කියන්න කියන දේ මුහුණටම කීම ඔහුගේ හැටිය. මේ කාරණ නිසා රාජපක්ෂ සොහොයුරන් තජුඩීන්ට කුඩා කල සිටම ඒ තරම් දිරෙව්වේ නැත.
තාජුඩීන් රගර් ක්‍රීඩාවට
පාසල් අධ්‍යාපනයෙන් පසු රගර් ක්‍රීඩාව අත්නොහල තාජුඩීන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සමග ගිවිසුම් ගත වුණේය. මේ කාලවකවානුව වනවිට මහින්ද රාජපක්ෂ දේශපාලන කරළියේ හිනිපෙත්තටම ගමන් කරමින් සිටියේය. රාජපක්ෂ සොහොයුරන් ද සිටියේ ඒ දේශපාලන හයිය උපරිමයෙන් ලබාගෙනය. තමන්ට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් ඔවුන් ඉටුකර ගත්හ. ඒ වනවිට යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳී සිටි අතර ඔහු නාවික හමුදා රගර් කණ්ඩායමට ක්‍රීඩා කළේය. නාමල් රාජපක්ෂ නාවික හමුදාවට මෙලෝ සම්බන්ධයක් නැති වුවද ඔහු ද එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේ තම දේශපාලන හයිය උපරිමයෙන් පාවිච්චි කරමින්ය. රාජපක්ෂ පවුලේ බාලයා වූ රෝහිත එහෙමත් නැත්නම් චිචීද ඇතැම් අවස්ථාවල නාවික හමුදා ක්‍රීඩා සමායට ක්‍රීඩා කළේය.
ඒ වනවිට නාවික හමුදා රගර් කණ්ඩායම රටේ ප්‍රධානම පෙළේ කණ්ඩායම් කිපය අතරට ගෙන ඒමට රාජපක්ෂ සොහොයුරන්ට හැකි විය. කොටින්ම රග්බී, රගර් ටීම් එක කියූ පමණින්ම ඔවුන්ට අසීමිත හයියක් ලැබී තිබිණි.
හැව්ලොක් කණ්ඩායම ද ඒ වනවිට රගර් කණ්ඩායම් අතර පෙරමුණේ සිටියේය. වසීම් තාජුඩීන් එහි ප්‍රබලම චරිතය විය. කොයිතරම් දේශපාලන බලයක් තිබුණ ද වසීම් තාජුඩීන් රාජපක්ෂ සොහොයුරන් ගණන් ගන්තේ නැත. ඒ වනවිටත් තාජුඩීන් රාජපක්ෂ සොහොයුරන් තම පාසලේ සිටි මිතුරන් පමණක්ම විය. අනෙක් සියලුදෙනා රාජපක්ෂ සොහොයුරන්ට කඩේ යද්දී ඔවුන් පසුපස වැඳ වැටෙමින් යද්දී තාජුඩීන් එසේ නොකිරීම ඔවුන්ගේ උදහසට ලක් වී තිබිණි.
තාජුඩීන්ගේ පෙම් හුටපටය
මේ අතර ගෑනු හුටපටයක් ද කරළියට ආවේය. තාජුඩීන්ට ඒ වනවිට සුරූපි තරුණියන්ගේ ආකර්ෂණය නොවඩුව ලැබී තිබිණි. ඉතාම කඩවසම් මනබඳිනාසුලු රූපයක් හිමි නිසා තාජුඩීන්ගේ ආදරය පතා ආ සුරූපිනියන් රැසකි. ඒ වනවිටත් පෙම්වතියන් කීපදෙනකුම ඔහු ඇසුරු කළේය.
කලක් ඇසුරු කළ පෙම්වතියක් තාජුඩීන්ගෙන් වෙන්වී රාජපක්ෂ සොහොයුරකු සමග පෙමින් බැඳුණාය. මේ පෙම්වතියගේ ඇසුර තාජුඩීන් සහ රාජපක්ෂ සොහොයුරා අතර ආරවුලක් දක්වා දුරදිග ගොස් තිබුණේය. පෙම්වතියගේ ශරීර ලක්ෂණ ගැන තාජුඩීන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් මේ ආරවුල් ජාලයට හේතු විය.
හැව්ලොක් රගර් හුටපටය
තාජුඩීන් ඝාතනයෙන් පසු සිදු කළ පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබූ තොරතුරුවලට අනුව හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හිමිකාරිත්වය ලබාගැනීම සම්බන්ධයෙන් රාජපක්ෂ සොහොයුරන්ගේ මැදිහත්වීමක් සිදු වී තිබිණි.
ඒ වනවිට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රබල චරිතයක් වී සිටි වසීම් තාජුඩීන් මේ හිමිකාරත්වයේ වෙනසට තදින් විරුද්ධ වුණේය.
හැව්ලොක් එක ගන්න උන්ට ඉඩ තියන්නෙ නැහැ මම ඉන්නකල්. උන් මේක ගත්තොත් අපි සේරම ඉවරයි. උන්ගෙ පදේට අපිට නටන්න වෙනවා. වසීම් තාජුඩීන් මේ බව සිය සමීප මිතුරන්ට කියා තිබුණේය. කෙසේ වෙතත් හැව්ලොක් ක්‍රීඩා සමාජයේ වැඩි සාමාජිකයන් පිරිසකගේ කැමැත්ත වූයේ එහි හිමිකාරිත්වයේ වෙනසක් සිදුවිය යුතුය යන්නය. එහෙත් වසීම් තාජුඩීන් ඇතුළු සුළු පිරිසක් ඊට තදින් විරුද්ධ වූහ. ඔවුන්ගේ හඬ වඩා බලවත් විය. මේ හැලහැප්පීම් නිසා හැව්ලොක් ක්‍රීඩා සමාජයේ හිමිකාරිත්වය මාරු කිරීම දිනෙන් දින කල්යන්නට විය. ඊට ප්‍රධානම හේතුව වී තිබුණේ වසීම් තාජුඩීන්ය.
මේ අතර හැව්ලොක්ස් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම අතර තීරණාත්මක රගර් තරගයක් හැව්ලොක් පිටියේ පැවැත්විණි. නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් රාජපක්ෂ සොහොයුරන් ක්‍රීඩා කළෝය. හැව්ලොක් කණ්ඩායමේ ප්‍රධානම තුරුම්පුව වී සිටියේ වසීම් තාජුඩීන් ය.
හැව්ලොක් පිටියේ පැවති මේ තරගය නැරඹීමට ශිරන්ති රාජපක්ෂ ද පැමිණ සිටියේ සිය පිරිවර ද සමගය. තම පුත්‍රයන් ක්‍රීඩා කරන සෑම තරගයක්ම නරඹා ප්‍රීති ප්‍රමෝදයට පත්වීම ඇගේ සිරිතක් විය.
නාවික හමුදාව සහ හැව්ලොක් අතර කරට කර ඉතාම උණුසුම් තරගයක් පැවතිණි. තරගයේ අවසන් අදියර ළං වනවිට නාවික හමුදාව ජයග්‍රාහි මාවතට පැමිණ සිටියේය. ඒ වනවිට දසතින්ම නාවික හමුදා කණ්ඩායමට උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තිබුණේය. තම දරුවන් ක්‍රීඩා කරන කණ්ඩායම ජයග්‍රාහි මාවතට පැමිණ සිටිනු දැකීමෙන් ශිරන්ති රාජපක්ෂ ද සිටියේ මහත් වූ ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුවය.
එහෙත් ඒ සියලු ප්‍රීති ප්‍රමෝදයන් සුනුවිසුනු වී යන්නට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. තරගය නිමවීමට මිනිත්තු ගණනක් තිබිය දී රගර් බෝලය අතට ගත් වසීම් තාජුඩීන් සියලු ක්‍රීඩකයන් අබිබවා යමින් උත්සාහක දිනුමක් වාර්තා කළේ හැව්ලොක්ස් කණ්ඩායමට ජයග්‍රහණය අත්කර දෙමින්ය.
නාවික හමුදාව පරදා හැව්ලොක් කණ්ඩායම අවසන් මොහොතේ ලැබූ ජයග්‍රහණයෙන් සියල්ල උඩු යටිකුරු වුණේය. ක්‍රීඩාංගණය පුරා පැවති ඔල්වරසන් හඬ සැණෙකින් නතර විය. හැව්ලොක්ස් ක්‍රීඩකයන් සියලුදෙනා එක්ව ජයග්‍රහණය සමරද්දී වසීම් තාජුඩීන් රගර් බෝලය ද රැගෙන ක්‍රීඩාංගණයේ ප්‍රධාන පීඨිකාව දෙසට දිව ගියේය. මුළු ක්‍රීඩාංගණයේම රැස්ව සිටි සියලුදෙනාගේම දෑස් යොමු වී තිබුණේ තාජුඩීන් දෙසටය. ක්‍රීඩාංගණයේ සිට දිව ආ තාජුඩීන් ප්‍රධාන පීඨිකාව ඉදිරිපිට අසුන්ගෙන සිටි ප්‍රධාන අමුත්තන් ඉදිරියේ නතර වුණේය.
එකවරම තාජුඩීන් සිය පස්සා පැත්ත ප්‍රධාන අමුත්තන් දෙසට හරවා කලිසම පහත් කර පශ්චාත්භාගය ප්‍රදර්ශනය කළේය.
කිසිවකුත් නොසිතූ අවස්ථාවක තාජුඩීන් විසින් සිදුකළ මේ ක්‍රියාව රැස්ව සිටි ප්‍රභූන්ට කනේ පහරක් එල්ල කළාක් බඳු විය. රැස්ව සිටි ප්‍රභූන් මුහුණෙන් මුහුණ බලා ගත්තේ තමන්ට සිදුකළ අවමන් සහගත ක්‍රියාව ගැන ඇති වූ කෝපයෙන් යුතුවය.
මේ සිදුවීම තම ජීවිතයේ ඉරණම තීන්දු කරනු ඇතැයි තාජුඩීන් එදා මොහොතකටවත් නොසිතෙන්නට ඇත.
මේ එකිනෙක සිදුවීම් දිගහැරී වැඩි කාලයක් ගත වුණේ නැහැ. තාජුඩීන් අභිරහස් අන්දමින් මියගියේ ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරමින්ය. ඔහුගේ සිරුර කිරුළපොන ශාලිකා ක්‍රීඩාංගණය ආසන්නයේ මෝටර් රථයක් තුළ පිළිස්සෙමින් තිබියදී පොලිසියට හමු වුණේය.
වසීම් තාජුඩීන්ගේ අභිරහස් මරණය සිදුවන්නේ 2012 වර්ෂයේ මැයි මස 17 වැනිදා අලුයම් කාලයේදීය. ඊට පෙරදින එනම් 16 වැනිදා සවස තාජුඩීන් සිය රගර් පුහුණුවීම් නිමකර නිවසට ආවේය. රාත්‍රි 7.00 වනවිට රාත්‍රි ආහාර ගෙන නිම කිරීම ඔහුගේ පුරුද්දක් විය. එදින ඔහුට සාදයකට යෑමට අවශ්‍යතාවක් තිබුණේ නැත. ඒ නිසා තාජුඩීන් සිය රථය ගරාජය තුළ දමා රාත්‍රි 7.00 වනවිට තම ආහාර ද ගෙන අවසන් කළේය. ඒ වනවිට තාජුඩීන්ගේ වැඩිමහල් සොහොයුරිය වන දන්ත වෛද්‍යවරිය ද නිවසට පැමිණ සිටියාය. තාජුඩීන් සාදයක් සඳහා රැගෙන යෑමට මිතුරන් කීපදෙනෙක් නිවසට එන්නේ ඔය අතරතුරදීය.
මේ සාදයට රැගෙන යෑම ද තාජුඩීන් ඝාතන කුමන්ත්‍රණයේ එක් කොටසක් බව පොලිසිය පසුව කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේය.
මිතුරන්ගේ ඉල්ලීම මත නාරාහේන්පිට ඇන්ඩසන් මහල් නිවාසය වෙත තාජුඩීන් යන්නේ සිය සොහොයුරියට අයත් මෝටර් රථය රැගෙනය. එහිදී මත්පැන් පානය කර පැය කීපයක් ගත කළ තාජුඩීන් ආපසු සිය නිවස බලා එන්නට පිටත්වන්නේ පසුදා හිමිදිරි පාන්දරය.
ඒ වනවිට ඝාතකයන් ක්‍රියාත්මක වෙමින් සිටියහ. කිසියම් පිරිසක් තමන් ලුහුබඳින බව තාජුඩීන්ට තේරුම් ගොස් තිබුණා වියයුතුය. ඔහු ඒ ගැන සැක හැර ගැනීමට නිවස ආසන්නයේ පිහිටි සුපිරි වෙළඳසැලකට යන්නේ අවශ්‍යතාවකට නොවේය. වතුර බෝතලයක් මිලදී ගත් තාජුඩීන් ආපසු සිය මෝටර් රථයට ගොඩ වුණේ නිවස බලා යන අරමුණු ඇතිවය.
පසුගිය දිනවල ඔය කියන කජ්ජා කරළියට එන්නේ ඒ සුපිරි වෙළෙඳසැල අසලදීය. තාජුඩීන්ගේ මෝටර් රථය ලුහුබැඳ යන කණ්ඩායමට කජ්ජා එක් වුණා කියන්නේ එතැන් සිටය. එතැන් සිට සිදුවූයේ කුමක් ද කියා මේ වනතුරුත් කිසිවකු දන්නේ නැත.
පසුදා එනම් මැයි 17 වැනිදා උදෑසන නාරාහේන්පිට පොලිසිය විසින් ගිනිගෙන විනාශ වී ගිය මෝටර් රථයක් සොයා ගත්තේය. රථය තුළ වසීම් තාජුඩීන් මියගොස් සිටි බව හෙළිවන්නේ ඉන්පසුවය.
ඒ වනවිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිටියේ අනුර සේනානායකය. තාජුඩීන්ගේ මරණයේ සියලු විමර්ශන කටයුතු සිදුවන්නේ අනුර සේනානායකගේ මැදිහත්වීම මතය. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයේ අවසන් ප්‍රතිඵලය වූයේ තාජුඩීන් මෝටර් රථ අනතුරකින් මියගොස් ඇති බවයි. එහෙත් බැලූ බැල්මට එය මෝටර් රථ අනතුරක් නිසා සිදුවූවක් නොවන බව පෙනෙන්නට විය. එහෙත් ඒ ප්‍රසිද්ධියේ කීමට බොහෝදෙනකු ඉදිරිපත් වූයේ නැත. ඒ මන්ද ඒ වනවිට තිබූ දේශපාලන බලය මේ සියලු දේ අබිබවා ගොස් තිබූ නිසාය. ඒ තරමට දේශපාලන භීතිකාවක් රට වෙලාගෙන සිටියේය.
තාජුඩීන්ගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් පවා කියැවුණේ මෙය හදිසි අනතුරක් නිසා සිදුවූ මරණයක් බවයි. වසර 3ක් තිස්සේ මේ බොරුව ඒ අයුරින්ම ඉදිරියට ගියේය. තාජුඩීන් ඝාතනය කළ බවට විශාල මතයක් ගොඩනැඟෙමින් තිබුණ ද ඒ සියල්ල දේශපාලන බලය හමුවේ යටපත් වී තිබුණේය.
2015 වර්ෂයේ ජනාධිපතිවරණය එන්නේ ඔය අතරතුර දීය. මේ මැතිවරණ වේදිකාවේ ප්‍රධානම මාතෘකා කීපය අතරට තාජුඩීන්ගේ මරණය ද එක්වී තිබුණේය. එදා විපක්ෂ දේශපාලනඥයන් වේදිකා දෙවනත් කරමින් තමන් බලයට ආවොත් තාජුඩීන්ට සාධාරණයක් ඉටු කරන බව කීවෝය. ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාලන සිරිසේන බලයට ආවේය. රාජපක්ෂ බලය මුළුමනින්ම බිඳ වැටුණේය. යහපාලන රජය තාජුඩීන්ට සාධාරණයක් ඉටු කිරීමේ කාර්යයට අතගැසුවේය.
තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය. මේ විමර්ශනය ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. තාජුඩීන්ගේ මරණය මිනීමැරුමක් ලෙස ඔප්පු කිරීමට තිබූ සාක්ෂි බොහොමයක් ඒ වනවිට විනාශ කර දමා තිබුණේ ඉතාම සැලසුම් සහගත ලෙසය.
අනතුරට ලක් වූ මෝටර් රථයේ පිළිස්සී ගිය තාජුඩීන්ගේ සිරුර තිබුණේ රථයේ වම්පස අසුණේය. තාජුඩීන් තනිවම වාහනයේ ගිය නිසා ඔහුගේ සිරුර තිබිය යුත්තේ රියැදුරු අසුණේය. එයින් පැහැදිලි වූයේ තාජුඩීන් වෙනත් ස්ථානයකදී ඝාතනය කර ඔහුගේ සිරුර මෝටර් රථය ඉදිරිපස අසුනේ තබාගෙන වෙනත් පුද්ගලයකු එය රැගෙන ගොස් දමා ඇති බවයි.
තාජුඩීන්ගේ සිරුරේ තිබූ සියලු තුවාල අස්ථි බිදීම් මොට ආයුධවලින් පහර දීම නිසා ඇති වූ ඒවා බව අලුතින් සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය විය. ඔහුගේ රහස් ප්‍රදේශවලට ද බරපතළ හානි සිදුවී තිබුණේය.
තාජුඩීන්ගේ මුඛයේ දත් තුනක් කැඩී තිබූ අතර එම දත්වල කොටස් මෝටර් රථය තුළ තිබුණේ නැත. රථය අනතුරට පත්වී තාජුඩීන් තුවාල වූයේ නම් ඒ දත්වල කොටස් රථය තුළ තිබිය යුතුය.
එමෙන්ම තාජුඩීන්ගේ මරණය මෙම අනතුරින් පසු රථයේ ගිනි ගැනීම නිසා සිදුවූයේ නම් ඔහුගේ පෙණහලු තුළ කාබන්මොනොක්සයිඩ් වායුව තිබිය යුතුය. එහෙත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ තාජුඩීන්ගේ පෙණහලුවල කාබන්මොනොක්සයිඩ් වායුව නොතිබූ බවයි. ඉන් පැහැදිලි වූයේ ඔහුගේ මරණය මේ රථය තුළදී සිදුවී නොමැති බවය.
ඒ අනුව තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අලුතින් සිදුකළ මරණ පරීක්ෂයෙන් හෙළිවූයේ එය මිනීමැරුමක් බවය. ඒ මරණ පරීක්ෂණය සිදු කළේ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් විසින්ය.
වසීම් තාජුඩීන්ගේ මුල් මරණ පරීක්ෂණය සිදු කළේ අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරකෝන්ය. විවිධ උප්පරවැට්ටි යොදමින් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් නිසා සිදුවූවක් බවට ඒත්තු ගැන්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙන්ම එදා රාජකාරි කළ බොහෝ උසස් නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වී සිටියහ. එහෙත් පසුව ඒ සියල්ල හෙළි විය. අලුතින් කළ මරණ පරීක්ෂණය ඒ සියල්ල බොරු කළේය.
මේ මහා අපරාධය යට ගැසීමේ චෝදනාව මත එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මෙන්ම බොරු මරණ පරීක්ෂණ වාර්තා දුන් අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරකෝන් ද අත්අඩංගුවට ගන්නා ලදී.
වසීම් තාජුඩීන් පැහැරගෙන ගොස් තිබුණේ එවකට රජයේ බලවත්ම කාන්තාවක් විසින් පාවිච්චි කළ ඩිපෙන්ඩර් වර්ගයේ රජයේ ජීප් රථයකින් බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණේය. එමෙන්ම තාජුඩීන් ඝාතනයට හවුල් වූ ප්‍රභූ ආරක්ෂක අංශයක සාමාජිකයන් පිරිසක් ද හඳුනා ගැනීමට විමර්ශකයන් සමත්ව සිටියහ.
මේ අතර තාජුඩීන් ඝාතන සැලසුම ක්‍රියාත්මක වන අවස්ථාවේ මෙන්ම ඊට පෙර සහ පසුව සිදුවූ රහසිගත දුරකථන සංවාදවලට අදාළ තොරතුරු ද විමර්ශකයන් සොයාගත්හ. ඒ දුරකථන සංවාද සිදුවී තිබුණේ එවකට රජයේ සිටි ප්‍රබලම තරුණ දේශපාලනඥයකු සහ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් පිරිසක් අතරය.
මෙම විමර්ශන ක්‍රියාත්මක වෙද්දී යහපාලන රජයේම ඇතැම් දේශපාලනඥයන් ඒ විමර්ශන අඩපණ කිරීමට උත්සාහ ගත්තෝය. ඒ සියල්ල සිදුවන්නේ දේශපාලන අවශ්‍යතාවන් මතය. මේ බලපෑම් නිහඬ විමර්ශන දිගටම ක්‍රියාත්මක වුණේ නැත. තාජුඩීන් ඝාතනයේ නියම අපරාධකාරයන් කොටු වුණේ ද නැත. 2019 ආණ්ඩු පෙරළියත් සමගම මේ සියලු විමර්ශන නැවතත් කනපිට පෙරළුණේය. විමර්ශන කළ නිලධාරීන් දේශපාලන උදහසට ලක්විය. තාජුඩීන් නැවතත් අඩි 06ක් පොළොව යට සැඟවුණේය.
වර්තමාන ආණ්ඩු පෙරළියත් සමගම තාජුඩීන් නැවත උත්ථානය ලබා සිටියි. නීතිගරුක පුරවැසියන් සියල්ල දෑස් දල්වාගෙන බලා සිටින්නේ තාජුඩීන් ඝාතනයේ නියම අපරාධකාරයන් අත්අඩංගුවට ගන්නා දිනය එළැඹෙන තුරුය.
තාජුඩීන් ඝාතනය මෙහෙයවූවන් සහ ඊට උඩගෙඩි දුන් පුද්ගලයන් දැනට කෙරෙන විමර්ශන අඩපණ කිරීමට දන්නා සියලු උප්පරවැට්ටි යොදමින් සිටිති. තාජුඩීන් ඝාතනය යට ගැසීමට කටයුතු කළ එදා සිටි දුෂ්ට දේශපාලනඥයන් නීතිගරුක නිලධාරීන්ගේ මෙන්ම පුරවැසියන්ගේ ද පිටකොඳු කඩා දමා ඔවුන් සදාකාලිකව නිහඬ කර තිබුණේය. වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරක් ලෙස සදාකාලිකව වැළලී යෑමට ඉඩහැර තිබුණේය. තාජුඩීන්ට සාධාරණයක් ඉටු කර දීමට කාලය එළැඹ ඇත. මේ අවස්ථාවේ තාජුඩීන්ට සාධාරණයක් ඉටු නොවුණොත් යළි කිසිදිනක ඔහුට සමාදානයේ සැතපී සිටීමට ඉඩ ලැබෙන්නේ නැත.
ඉෂ්ට කෲර පාලකයන්ගේ අවශ්‍යතාව මත ඔවුන් වටා සිටි යමපල්ලන් විසින් විනාශ කර දැමූ ඒ කීර්තිමත් ක්‍රීඩකයාට සාධාරණයක් ඉටුවිය යුතුය. ඔහුගේ පවුලේ අයට ද එය සැනසීමක් වනු ඇත්තේය.
කරන්දෙණියේ කජ්ජාගේ බිරිඳ විසින් කළ ආන්දෝලනාත්මක හෙළිදරව්වෙන් පසුව රටේම අවධානය නැවත යොමු වී තිබෙන්නේ තාජුඩීන් නැමැති ඒ කීර්තිමත් රගර් ක්‍රීඩකයාගේ ඝාතනය පිළිබඳ පැවැත්වෙන විමර්ශන වෙතය.
පසුගිය දිනක කොළඹ පැවති උත්සවයකදී තාජුඩීන්ගේ මාමා විසින් බොහොම ආවේගශීලි කතාවක් කළේය.
“තාජුඩීන් පුතාගේ මුල් මරණ පරීක්ෂණ වාර්තාවෙ තිබුණෙ එයා අධික ලෙස බීමත්ව ගිහින් වේගයෙන් රිය ධාවනය කරලා ඇක්සිඩන්ට් එකකින් වාහනය ගිනි අරගෙන විසදුම ආග්‍රහණය වෙලා එයා මැරුණා කියලා. අධික වේගයෙන් ගියා නම් මේ ඇක්සිඩන්ට් එක මීට වඩා වෙනස් විදිහට වෙන්න ඕනෙ.
වසීම් තාජුඩීන් ඝාතනය හැම දේශපාලන වේදකාවෙම ප්‍රධාන මාතෘකාවක් වුණ වසීම්ව මරපු විදිහ එක එක දේශපාලනඥයන්ගේ දේශාපලන වේදිකාවල කතා කළා.
යහපාලන ආණ්ඩුව වෙලාවෙ පොලිසිය ඉල්ලුවා පුතාගෙ මිනිය ගොඩ අරන් පරීක්ෂණ කරන්න අවසර දෙන්න කියලා. අපි එක්ට අවසර දුන්නා. ඒ පාර අධිකරණ වෛද්‍ය වාර්තාව දුන්නා පුතා මැරුණෙ ඇක්සිඩන්ට් එකකින් නෙවෙයි එයාට ගහලා දස වධ දීලා මරලා පුච්චලා දාලා කියලා.
එයා රගර් ක්‍රීඩකයෙක්. අපිට කිසිම රජයකින් වසීම්ට සාධාරණයක් වුණේ නැහැ. අපිට මේ රජයෙන්වත් සාධාරණයක් ලැබුණෙ නැත්නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ සාධාරණයක් ලැබෙයි කියලා.
නමුත් මේ ආණ්ඩුවෙනුත් සාධාරණයක් ලැබුණෙ නැත්නම් අපිට කියන්න වෙන්නෙ මුන් ඔක්කොම යාළුවො මල්ලී කියලා විතරයි” යැයි වසීම් තාජුඩීන්ගේ මාමා මාධ්‍ය හමුවේ කියා සිටියේය.
හේමන්ත රන්දුණු
Saru FM Media