මිහිතලයට ආදරය බෙදූ ළතෙත් හදවතක හිමිකාරිය

0
3

ඒ, ලතෙත් හදවතෙහි හිමිකාරිය තව දුරටත් අප‘තර නැත.

“වැලරි ජේන් ගුඩෝල්” එසේත් නැත්නම් ලෝකයම දන්නා “ජේන් ගුඩෝල්” කීර්තිමත් විද්‍යාඥවරිය, සත්ත්ව විද්‍යාඥවරිය මෙන්ම මානව විද්‍යාඥවරිය ඔක්තෝබර් 1 වැනිදා මිහිතලයෙන් සමුගත්තාය. ඒ පුවත අසා කම්පා වූ, කෙනකු නැති තරම්ය. ඇය ජීවිතයම කැපකළේ සත්ත්ව හැසිරීම් රටා සහ හැඟීම් පළ කිරීම් පිළිබඳ අධ්‍යයනය කිරීමටත් ඔවුන් දරුවන් මෙන් රැක ගැනීමටත්ය. 91 ක් හැවිරිදි වියෙහිත් ජේන් සතුන් වෙනුවෙන් කාලය මිඩංගු කළාය. අවසන් මොහොත දක්වාම ඇය ඒ වෙනුවෙන් කැපවූවාය. ආචාර්ය ජේන් ගුඩෝල් මියයෑමට සතියකට පෙර නිව්යෝර්ක්හි සම්මුඛ සාකච්ඡාවකට එක් වූවාය. ඇය ජීවිතයෙන් සමුගන්නේ ඔක්තෝබර් 3 වන දින කැලිෆෝනියාවේදී දේශනයකට සහභාගීවීමට නියමිතව සිටියදීය. ගතින් දුබල වුවත් සත්වයන් කෙරහි ද, සමස්ත මිහිතලය කෙරෙහිද ඇය දැක්වූ කරුණාව නිසාදෝ ඇය දිනෙන් දින සිතින් තරුණ වූවාය.

ජේන් උපදින්නේ එංගලන්තයේ බෝන්මවුත් හිදීය. ඒ 1934 අප්‍රේල් 3 වැනි දිනය. ඇය උපතින්ම සත්ව ප්‍රේමියක වූවාය. එය ඇයගේ ජානගත උරුමයකි. කුඩා දැරියක වුවත් ඇය නිවෙසේ බිත්ති හතරට කොටුවී සිටීමට වඩා කැමැති වූයේ ගෙමිදුලේ ගස් වැල් අතරේ දුව පැනීමටය. ඇය සුනඛ සුරතලුන්ට ඉතා ප්‍රිය කළාය. පෝනියන්, ගෙම්බන් කුඩා ජේන්ට මිතුරන් හා සමාන විය. සිය සුරතල් සතුන්ට නම් තැබුවේ ඇයය.

ජේන්ගේ පරිසර, සත්ව ප්‍රේමී බව කෙතරම් උතුරා ගොස් තිබුණාද කිවහොත් ඇය වඩාත් උනන්දුවක් දැක්වූයේ සතුන් ගැන කතා කියවීමටය. ටාසන්, ඩොක්ටර් ඩූලිට්ල් පොත් පෙළ ඇය අතින් බිම තැබුවේම නැති තරම්ය. මේ කතා කියවද්දී අප්‍රිකාව ගැන ඇයට ඇති වූයේ පුදුමාකාර ආදරයකි. “මං කවරදා හරි අප්‍රිකාවට යනවා.” ඇය සෑම දිනකම මැතිරුවාය. උපාධිය ලබා ගැනීමේ අදහස අත්හැරීමෙන් පසු ඇය යතුරුලියන්නියක, පොත් තබන්නියක, ලඝු ලේඛිකාවක වශයෙන් විවිධ රැකියාවල නියැලුණේ අප්‍රිකාවට යන සිහිනය සැබෑකර ගැනීමටය. වයස අවුරුදු 23 දී ඇය අප්‍රිකාවට ගියේ මිතුරියක මුණගැසීමටය. සතුන් පිළිබඳ ඇති ආදරය වගාකර ගැනීමට ජේන්ට අපූරු පසුබිමක් තැනුණේ මේ ගමනේදීය. කීර්තිමත් මානව විද්‍යාඥයකු මෙන්ම පුරාවිද්‍යාඥයකු වූ ආචාර්ය ලුවිස් සේමෝ බාසෙට් ලීකි හමුවී ඇත්තේ ඒ ගමනේදීය.

ඇයට කිසිදු සුදුසුකමක් නොතිබුණ ද, ලීකි ඇගේ හැකියාවන් හඳුනාගත්තේය. මුලින්ම ඔහු ඇයට කෙන්යාවේ ස්වාභාවික කෞතුකාගාරයේ රැකියාවක් සොයා දුන්නේය. ඉන්පසු ලීකේ ඇයව 1960දී ටැන්සානියාවේ වනාන්තර වෙත ඇගේ පළමු පර්යේෂණ චාරිකාව සංවිධානය කිරීමට උපකාර කළේ ය. ලීකේ ඇය ගැන පූර්ණ විශ්වාසයක් තැබුවේය. ඇය නවකයකු ලෙස පර්යේෂණයකට යැවීමෙන් ලබාගත හැකි වාසි බොහෝය. වයස්ගත අයගේ මෙන් ඇයගේ මනස විවිධ මිථ්‍යා මතවාදවලින් කුරුවල් වී නොතිබිණි. ඒ වාගේම අඩු දැනුම නිසා ඇය කුතුහලයෙන්, දැනුම පිපාසයෙන් සිටීම ද පර්යේෂණය වඩාත් සාර්ථකව කිරීමට අත්වැලක් විණි. ලීකේ සිතුවාක් මෙන්ම ඇය චිම්පන්සි පර්යේෂණ ක්ෂේත්‍රයේ පෙරැළිකාර සොයා ගැනීම් රැසක් සිදු කළේය. ච්ම්පන්සියා අපේ සමීතම වානර ඥාතියාය. ඇය 1958 දී මවුබිම වූ එංගලන්තයට ගිය අතර ඇය ලන්ඩන් සත්වෝද්‍යානයේ ග්‍රැනාඩා රූපවාහිනි පුස්තකාලයේ සේවය කළේය. ලැබෙන විවේකයේදී ඇය කළේ සත්වෝද්‍යානයට ගොස් චිම්පන්සින්ගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමය. පර්යේෂණය සඳහා අරමුදල් ලැබුණු පසු ලීකේ නැවත ජේන්ව කැඳවා ගත්තේය. ඒ 1960 වසරේය. ඒ වන විට ගොම්බේ වනාන්තරයේ පර්යේෂණ පැවැත්වීම තබා එහි අඩියක්වත් තැබීම පවා අනතුරුදායක විය. ගිය අලුතම ජේන්ට මැලේරියාවට සමාන උණක් වැළඳිණි. ඇය ඉන් සුවය ලැබුවත් අභියෝග පිට අභියෝග එල්ලවීම වළක්වාලිය නොහැකි විය. ඝන කැළෑවේ සැතපුම් ගණනාවක් යනතුරු චිම්පන්සියකු ඇයගේ ඇස ගැටුණේ නැත. අවසානයේ ඇයට වයස්ගත චිම්පන්සියකු මුණ ගැසිණි. ජේන් ඌට ඩේවිඩ් ග්‍රේබියර්ඩ් ලෙස නමක් ලබා දුන්නේය. සතුන් අංකවලින් නම් කිරීමේ එතෙක් පැවැති සිරිත ජේන් වෙනස් කළාය. ඇය නම් කළ ඩේවිඩ් ග්‍රෙබියර්ඩ් කෝටුවක් භාවිත කරමින් පස් ඉවත් කර වේයන් හාරමින් සිටියේය.

චිම්පන්සින් සමග ඇතිකරගත් බැඳීම මියෙන තෙක්ම ඇය පවත්වාගෙන ගියාය.

ඇගේ පර්යේෂණ ප්‍රමුඛ පෙළේ සඟරා මගින් ප්‍රකාශයට පත් කරන ලදී., 1965දී ඇයගේ රුව නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ මුල් කවරයට ද ඇතුළත් කෙරිණි. මෙලෙසින් ඇය වානරයන්ගේ චිත්තවේගීය හා සමාජයීය හැසිරීම් ලොවට හඳුන්වා දුන්නා ය.

සතුන් ශක්තිමත් පවුල් බැඳීම් ගොඩනඟා ගන්නා බවත්, භූමිය වෙනුවෙන් යුද්ධවල පවා යෙදෙන බවත් ඇය ලොවට හෙළි කළා ය. ඇය ඕර්සන් වෙල්ස් විසින් නිෂ්පාදනය කරන ලද රූපවාහිනි වාර්තා චිත්‍රපටයක පෙනී සිටියා ය. එහිදී ඇය ළදරු චිම්පන්සියන් සමග සෙල්ලම් කරමින් පොරබදිනු දැකීම ප්‍රේක්ෂකයාට දුලබ, සොඳුරු දසුන් මැවීය. ඇය චිම්පන්සීන් මෙවලම් භාවිත කරන බව, මස් පිණිස සත්ව දඩයමේ යෙදෙන බව සොයා ගැනීම ජේන් පර්යේණයෙන් නෙළාගත් සාර්ථක ප්‍රතිඵලය.

ඇය අධ්‍යයනය කළ සතුන් ඉතා සමීපව ඇසුරු කිරීම, ඔවුන්ට නම් තැබීම සහ ඔවුන් “මගේ මිතුරන්” ලෙස පවා හැඳින්වීම එකල පිරිමි විද්‍යාඥයන් විසින් සමච්චලයට ලක් කරන ලදී. ඇය ප්‍රථම උපාධියක් හෝ පෙර විද්‍යාත්මක පුහුණුවක් නොතිබුණ ද, ඇගේ සොයාගැනීම් මත පදනම්ව ආචාර්ය උපාධියක් ලබා ගත්තා ය.

ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් පසු ඇය ක්‍රියාකාරිනියක බවට පත්වූ අතර, සත්වෝද්‍යානවල හෝ වෛද්‍ය පර්යේෂණ සඳහා සිරගත කර ඇති චිම්පන්සියන් නිදහස් කිරීමට කටයුතු කළා ය. පසුව සතුන් දිවි ගෙවන ස්වාභාවික වාසස්ථානවලට සිදුවන පුළුල් විනාශය හමුවේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියා ය.

“අපි හය වන මහා වඳවීමේ ක්‍රියාවලියක් මැද ඉන්නේ… සොබාදහම යථා තත්ත්වයට පත් කිරීමට සහ පවතින වනාන්තර ආරක්ෂා කිරීමට අපට වැඩි යමක් කරන්න පුළුවන් නම්, ඒක ලෝකයට හොඳ යි,” ඇය 2024දී බීබීසීයට පැවසුවා ය.

1985 වසරේදී ලෝක වනජීවී අරමුදලේ වැඩසටහනක් ඇතුළුව චිම්පන්සියන් ආරක්ෂා කිරීම සඳහා ආචාර්ය ගුඩෝල් උපදේශිකාවක ලෙස කටයුතු කළා ය.

1977දී ආරම්භ කරන ලද ඇගේ ජේන් ගුඩෝල් ආයතනය, චිම්පන්සියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර සතුන්ට සහ පරිසරයට ප්‍රතිලාභ සැලසීම අරමුණු කර ගත් ව්‍යාපෘති සඳහා ඉන් සහාය ලබාදෙයි.

ආචාර්ය ගුඩෝල් බ්‍රිතාන්‍යයෙන් ආර්යාව (ඩේම්) යන ගෞරව නාමයෙන් පිදුම් ලද අතර 2025දී එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන නිදහස් පදක්කමින් ද පිදුම් ලැබුවා ය. ඇය තම මෙහෙවර උදෙසා කෙතරම් කැප වූවාද කිවහොත් 2022දී ටයිම්ස් පුවත්පතට පැවසුවේ 1986 සිට සති තුනකට වැඩි කාලයක් එකම ඇඳක නිදාගෙන නොමැති බවය. ඇය එපමණටම සංචාරවල නියැලුණාය. වනාන්තර හෙළි පෙහෙළි කිරීම සත්ව ජීවිතවලට විශාල තර්ජනයක් වී ඇති බව සම්මන්ත්‍රණවලදී දැනගත් ඇය ඉන්පසු වැඩි අවධානයක් යොමු කළේ වනාන්තර සුරක්ෂිත කිරීම පිළිබඳවය. හඬක් නැති සතුන් වෙනුවෙන් නිබඳවම හඬ නැඟූ ඇයගේ වියෝවෙන් ලොවම කම්පා විය. සසෙක්ස්හි ආදිපාදවරයා හැරී කුමරු සහ ආදිපාදවරිය මෙගන් ආචාර්ය ගුඩෝල්ට උපහාර දක්වමින්, ඇය ස්වභාවධර්මයේ ආරක්ෂාව සඳහා “වෙහෙස නොබලා පෙනී සිටි” බව සිහිපත් කළහ.

ආචාර්ය ජේන් ගුඩෝල් දූරදර්ශී මානවවාදියෙක්, විද්‍යාඥවරියක්, පෘථිවියට මිතුරියක් සහ අපටත් මිතුරියක් වූවා.” හැරී කුමරු සහ මේගන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියහ.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, “අපගේ පරිසරය ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාව කෙරෙහි ගෝලීය අවධානය යොමු කිරීම” වෙනුවෙන් 2002 වසරේ සිට එක්සත් ජාතීන්ගේ සාම දූතවරියක ලෙස ඇය කළ මාහැඟි සේවය ප්‍රශංසාවට ලක් කළේ ය.

ආචාර්ය ගුඩෝල්ට උපහාර දැක්වූවන් අතර, හිටපු එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා ද සිටියි. ඔහු කියා සිටින්නේ, ඇය “විද්‍යාවට සම්බන්ධ කාන්තා පරම්පරා ගණනාවකට දොරටු විවෘත කළ” බවය. හොලිවුඩ් නළු සහ පරිසර ක්‍රියාකාරික ලියනාඩෝ ඩිකැප්‍රියෝ පවසන්නේ, ඇය “මිලියන ගණනක් දෙනාට සැලකිලිමත් වීමට, ක්‍රියා කිරීමට සහ බලාපොරොත්තු තබා ගැනීමට පෙළඹවීමක් ලබා දුන්” බව සහ ඇය

“පෘථිවිය වෙනුවෙන් කටයුතු කළ සැබෑ වීරවරියක්” ලෙස හැඳින්විය හැකි බවය.

ඇයගේ සමකාලීනයකු වූ ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ, සමාජය දැනුවත් කිරීම කෙරෙහි ඈ තුළ වූ නොපසුබට උත්සාහය සිහිපත් කළේ ඇය පරිසර සංරක්ෂණයට උරදුන් ශ්‍රේෂ්ඨ තැනැත්තියක බව පවසමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආචාර්ය ගුඩෝල්ගේ වියෝව ගැන ශෝකය පළ කරමින් පැවසුවේ, ඇය “අපේ ග්‍රහලෝකය සහ එහි සියලු වැසියන් වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කළ අතර, මනුෂ්‍යත්වයට සහ සොබාදහමට අසාමාන්‍ය උරුමයක් ඉතිරි කළ” බව ය. ස්වාභාවික පරිසර විද්‍යාඥ ක්‍රිස් පැක්හැම්, ඇය වීරවරියක බව බීබීසීයට පැවසුවේය. ඇය “විප්ලවීය” සහ “විශිෂ්ට” පුද්ගලයකු ලෙස ද ඔහු හඳුන්වා දී ඇත. උදාවී තිබෙන්නේ මිනිසා විසින් පරිසරය වනසා තමන් ද නැසෙන කාලයකි. එනිසාම ජේන් ගුඩෝල් වැනි පරිසර හිතකාමී පුද්ගලයන් වඩාත් අවශ්‍ය යුගයක් එළඹ තිබේ. පරිසරයටත් සතුන්ටත් ඇයගේ හඬ නිහඬ වීමේ අඩුව කිසිදිනක පියවීමට නොහැකි වනු ඇත.

සී. ඩී. කුලසිංහ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here