මම නෙවෙයි සිස්ටම් එකයි වඳ කළේ!

0
3

වෛද්‍ය සේගු ෂියාබ්දින් මොහොමඩ් සාෆි අමාරුවේ වැටුණේ 2019 දීය. මේ සටහන ලියැවෙන මොහොත වෙද්දී වෛද්‍ය සාෆිට සිදු වූ අසාධාරණයේ දිග පළල බොහෝ දෙනකු හොඳින්ම දනී. අමුතුවෙන් එය අකුරු කරන්නට දෙයක් නැති තරම්ය. එහෙත්, පසුගිය සතියේ ‘රන්දෝණි’ නමින් වෛද්‍ය සාෆිගේ දියණිය ෂයිනාබ් සාෆි දැරියගේ කතාව කෘතියක් ලෙස එළිදැක්වීය. ඇය, දැන් වෛද්‍ය ශිෂ්‍යාවකි. අම්මා මෙන්ම තාත්තාගේ අඩි පාරේ යමින් ඇය වෛද්‍යවරියක ලෙස රටට සේවයක් කරන්නට ඉටාගෙන සිටී.

ෂයිනාබ් ඉන්නේ වෛරයෙන් නොවේ. ‘දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය- කටු පොකුර සිපගනිමි යළි මලක් වනු පිණිස’ යන සුන්දර රත්න ශ්‍රී විජේසිංහ කාව්‍ය පදය කියමින් ඇය තමන් ගැන කෘතිය එළිදැක්වූ අවස්ථාවේ ආදර්ශවත් කතාවක් කළාය.

එක මොහොතක කල්පනා කළේ, ශ්‍රී ලංකාවේ සිටින ආදර්ශවත්ම තරුණිය ෂයිනාබ් කියාය. ලංකාවේ සිටින ධෛර්යවන්තම සහ අහිංසකම පුද්ගලයා ඇය කියාය.

මේ දැරියගේ මෙන්ම ඇගේ පියාගේ දැක්ම කුමක්ද? ඔවුන් තමන්ට සිදු වූ අසාධාරණයට යුක්තිය සොයා යන්නේ කෙලෙසද?

ෂයිනාබ් තමන්ගේ කතාව කියන්නේ සියල්ලන්ට ආදර්ශයක් කරගත හැකි කතාවක් ලෙසය. ජාතිවාදයේ බිහිසුණුකමට ඇය මුහුණදෙන්නේ තමන් හරියට ජීවත් වීමෙනි. ධෛර්යය, විශ්වාසය, බලාපොරොත්තුව සිඳ නොගැනීමෙනි. මේ සියල්ලන් තමන්ට සිදු වූ අත්දැකීම අමතක නොකරයි. එහෙත්, ඒ කතාව බෙදීම්වලට අදාළ කතාවක් නොව, එකමුතුකමේ කතාවක් ලෙස දකී. තමන්ව අමාරුවේ දැමූ මිනිසුන් ගැන කේන්තියක් වෙනුවට තමා වෙනුවෙන් පෙනී සිටි මිනිසුන් ගැන ආදරයෙන් කතා කරයි. තමන් අමාරුවේ දැමූ මිනිසුන් නිසා මේ සමාජය නරක සමාජයක් ලෙස දකිනවා වෙනුවට, තමා වෙනුවෙන් සහ සත්‍යය වෙනුවෙන් පෙනී සිටි නිසා මේ සමාජය යහපත් සමාජයක් ලෙස දකී.

එතැනින් නොනැවතී සමාජය වෙනස් කරන්නට බලාපොරොත්තු වෙයි. යහපත් ජීවිතයක් ගත කරමින් තමන්ට කළ චෝදනාවලට උත්තර දෙන්නට බලාපොරොත්තු වෙයි.

යුක්තිය යනු කුමක්ද? තමන්ට සිදු වූ අපරාධයේ තරම මත මෙන්ම තමන්ට ඒ අපරාධයට මුහුණ දෙන්නට හැකි වූ ආකාරය මත විවිධ පුද්ගලයන් යුක්තිය විවිධාකාරයෙන් ඉල්ලා සිටිනවා විය හැක. සාෆි යුක්තිය ඉල්ලා සිටින්නේ සමාජයේ මානුෂික පැත්ත ශක්තිමත් කරමින්ය.

සාෆි කියන්නේ තමන්ට උදව් කළ, තමා වෙනුවෙන් පෙනී සිටි මිනිසුන්ගේ විශ්වාසය රකිමින් තමන් යහපත් ජීවිතයක් ගත කරන බවය.

සාෆි එසේ කියන විට, අපටත් වගකීමක් ඇත. මේ සමාජයට වගකීමක් ඇත. සේගු සියාබ්දීන් මොහොමඩ් සාෆිද, ඔහුගේ බිරිඳ ඉමාරාද, ඔහුගේ දියණිය ෂෙයිනාබ්ද, ඔහුගේ පුතාද ඇතුළු සියලුදෙනා මේ සමාජය කෙරෙහි තැබූ විශ්වාසය රැකීම අපගේ වගකීමයි. කිසිදා ජාතිවාදී නොවීම, යළි එවැනි අඳුරු තැන්වලට නොයෑම අපගේ වගකීමයි.

මෙතැන් සිට එන්නේ වෛද්‍ය සාෆි කළ අදහස් දැක්වීමය.

අවංකවම මේ අවස්ථාව මුලින් පොත ලියන්න ආපු වෙලාවේ මම සුරංග සහෝදරයාට කිව්වා ආයේ පොත් ලියන්න ඕන නෑ කියලා. මේක ගැන කිහිප වතාවක් කියවිලා ලියවිලා පොත් පබ්ලිෂ් කරලා තියෙනවා, ඒක හින්ද මේක ඕන නෑ කියලා. මොකද ඕනවට වැඩිය එකක් ගැන කතා කරන්න ගියොත් ඒකෙ වටිනාකමක් නැතිවෙයි කියලා. නමුත් එතුමා මට ඉදිරිපත් කරපු අරමුණ දිහා දැක්කම එතුමා කියපු කතාව අනිවාර්යයෙන් මම පොත ලියන්න උදව් කරන්න ඕනේ කියලා හිතුවා.

මම පොඩි කාලේ ඉඳන්ම හැදුනෙ විජිතපුර රජ මහා විහාරය අසල කලා වැව කියන පුංචි ලස්සන ගමක. එදා සිට අද වෙනකන් අපි සියලුම ජාතියන් එක්ක ඉතාම සමීපව ජීවත් වෙන අය විදිහට ජාතිවාදය කියන එකට තරයේම හෙළා දකිමින් ජීවත් වෙච්ච මනුස්සයෙක් මම. මම දකින්නේ ජාතිවාදය කියන එක කැන්සර් එකක් වගේ. ඒක තුරන් කරන්නෙ නැතුව රටක් විදිහට අපිට ඉදිරියට යන්න බෑ කියන මතයෙන් ජීවත් වෙච්ච මනුස්සයෙක් මම.

මම පුංචි ගමක ඉඳන් ඇවිල්ලා වෛද්‍යවරයෙක් විදිහට සේවයට ඇවිල්ලා ඒ සේවය තුළින් දුප්පත් ලෙඩ්ඩුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම විතරක් මගේ අරමුණක් කරගෙන මගේ රාජකාරිය ඉතා ඉහළින්ම සේවය කරගෙන ඉද්දි තමයි 2019දී ඉතාම මේ දුක්ඛිත කතාව පටන් ගත්තෙ. 2019 මැයි 23 වැනිදා තවුහිද් ජමාත් මුස්ලිම් වෛද්‍යවරයෙක් සිංහල මව්වරුන් 4000ක් සිසේරියන් සැත්කමකින් පසුව වඳ කළා කියලා තමයි එදා නිව්ස් එක ආවේ.

මම හදවතින්ම රෙස්පෙක්ට් කරන්න කැමතියි ඒ මොහොතේ පාර්ලිමේන්තුව හිටපු අයගෙන් වර්තමාන ජනාධිපතිතුමා අනුර සහෝදරයා පළවෙනියෙන්ම මේ ප්‍රවෘත්ති සම්බන්ධව ඉතාම ගැඹුරින් හඬ නැගුවා. මේක වෙන්ඩ බෑ මේකේ යථාර්ථය කියන්න කියලා එදාම එයා කිසිම බලාපොරොත්තුවක් නැතුව රට වෙනුවෙන් හිතන නායකයෙක් විදියට එදා එයා කතා කළා. කොහොම හරි මම හිතන්නේ මාව භාර දුන්නා සී අයි ඩී එකේ හතරවෙනි තට්ටුවට. ජී ආර් බී කියන බ්‍රාන්ච් එකකට භාර දුන්නා. එතකොටත් අධ්‍යක්ෂකතුමා විදිහට හිටියේ ශානි අබේසේකර.

මම හිතනවා ඒ ශානි අබේසේකර කියන චරිතය ඔතන හිටියෙ නැත්නම් එතුමා එයාගේ තනතුරෙ ඉඳලා නැත්තං මං වගේ අහිංසක මනුස්සයෙක් අද වෙනකම්ම ඇතුලෙ ඉන්න වෙනවා කියන එක කිසිම සැකයක් නෑ. මං දන්නවා මාත් එක්ක වැඩ කරපු විශේෂඥ වෛද්‍යවරයෙක් කෙනෙක් වියත් මදර් කියන ටීම් එකේ ඉඳගෙන මට කිව්වා සාෆි ඔයාව අත්අඩංගුවට ගත්තේ අවුරුදු විස්සක් විසි පහක්වත් ඇතුළෙ තියාගන්න තමයි, ඔයා කරපු පින් හින්දා ඔයාට එළියට එන්න වුණා කියලා.

මිනිසුන්ගේ ජීවිත ගණනක් පූජා කරලා අපේ රට වැරදි මඟකට අරන් යන්න ගිය අවස්ථාව නිසා, යම්කිසි විදිහකට අවුරුදු පහක් තිස්සේ මම විමර්ශනවලට යනවා එනව. මෙතුමා අන්තිම දවසේ නඩු තීන්දුව කියපු දවසේ මට ත්‍රස්තවාදියෙකුට වඩා එහා ගිහිල්ලා බී රිපෝට් එකකින් මට කොන්දේසි ටිකක් දුන්නා. රට යන්න බෑ. හැම ඉරිදා දවසකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ල අත්සන් කරන්න ඕනේ. පිටරට ජීවත් වෙන්න බෑ. මම කල්මුණේ ගිහිල්ලා ජීවත් වුණා. ළමයින් එක්ක එතන ඉඳන් හැම ඉරිදා දවසකම කොළඹට කිලෝමීටර් 400 ගාණක් එන්න ඕනෙ.

පොදු ප්‍රවාහනයෙන් එන්න බෑ මෙයා තමයි අර වඳ කරපු දොස්තර සාෆි කියනවා. හරිම දුෂ්කර අවස්ථාවක්. මගේ ගිණුම් ටික ඔක්කොම හිර කරලා. පඩියක් නැහැ. ඔහොම ඉඳලා තමයි අවුරුදු පහක් ගියේ.

මං කෙටියෙන් පුළුවන් තරම් කිව්වා. මගේ හිතේ ගොඩක් තියෙනවා. ඔයාලට ඕන නම් බලාගන්න පුළුවන් ශානි සර්ලා මට ලියපු බී රිපෝට් එක. එක පුද්ගලයෙකුට විරුද්ධව දිග බී රිපෝට් එකක් ලිව්වා. මං හිතන්නේ ලංකාවේ රෙකෝඩ් එකක් කියලා තියෙනවා. මේ තරම් බී රිපෝට් එකක්. මේගොල්ලන් කරන්න ගියපු කුමන්ත්‍රණ ඒකේ තියෙනවා.

රන්දෝණි කෘතිය එළිදැක්වීමේ උළෙලේදී වෛද්‍ය සාෆි සහ ඔහුගේ දියණිය සභාව ඇමතූ අයුරු.

මෙයාලා මිනිස්සු මරණ එක ගැන හිතුවෙ නැහැ. තමන්ගේ බලය වෙනුවෙන් හිතුවා. මම දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. මම කිසිම දේශපාලන පක්ෂයකට අයිතිත් නැහැ. හැබැයි රටට හොඳක් වෙනව නම් හොඳට හිතන් ඉන්න පුද්ගලයෙක්.

අපි හැමෝම දැකපු හීනයක්, දැන් හරි ගිහිල්ලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. අපි ජාතිවාදයෙන් තොර රටක් බලාපොරොත්තු වුණා. බිමල් අමාත්‍යවරයා හැම වෙලාවෙම පාර්ලිමේන්තුවේ කියන්නේ, ඒ ගැන තමයි. එතුමා පලස්තීන – ඊශ්‍රායල යුද්ධයට විරුද්ධව නුවර උද්ඝෝෂණයකදී තමයි මට මුලින්ම හම්බවුණේ. එතුමාට මතක ඇති කියලා මම විශ්වාස කරනවා. අපි සියලු දෙනා මනුෂ්‍යත්වය රැකගෙන ශ්‍රී ලාංකිකයෝ කියලා මේ රට ගොඩදාගන්න ජීවත් වුණේ නැත්නම් අපි බලාපොරොත්තු වෙන සුන්දර අනාගතය අපේ ඊළඟ පරම්පරාවට දෙන්න බැරි වෙයි කියලා මම විශ්වාස කරනවා.

වාසනාවකට කියලා මම හිතනවා 2024 සැප්තැම්බර් මාසේ මට අම්මා ඉන්න ඉඩ දුන්නේ නැහැ ශ්‍රී ලංකාවේ මොකද ජනාධිපතිවරණ මැතිවරණයක් එනවා ඔයා මෙහේ ඉන්න එපා ඔයාව මෙයාලා මරන්නත් ඉඩ තියෙනවා. බලය වෙනුවෙන් තුන් සිය ගණනක් මරපු අයට ඔයා කවුද කියලා මට යන්න කියලා කිව්වා. මායි මගේ බිරිඳයි ඇමරිකාවට ගිහිල්ලා හිටියා.

ඒත් ඒකට හිත ඉඩ දෙන්නෑ. වෙනසක් ඇතිවෙන්න යනවා, ඒකට අපේ සහයෝගය දෙන්න ඕනෑ, 24 වැනිදා ෆ්ලයිට් එක තිබුණේ, මම 19 වෙනිදා ඇවිල්ලා, මේ වෙනස වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කළා. අපි ආඩම්බර වෙනවා හම්බෙන හැම නිලධාරියෙක්ම හම්බෙන හැම නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙච්ච හැම එක්කෙනාම කියපු කතාව තමයි, ඔයාගේ නඩුවේ ඩොක්ටර් කිසිම දෙයක් නෑ. මේ නඩුවට අදාළව ඔයාට විරුද්ධව චෝදනාවක් ගොනු කරන්න බෑ. කවදහරි ඔයා නිදහස් වෙනවා මේක අමූලික බොරුවක්. පොලිසියේ ඉන්න නිලධාරිනුත් කිව්වාට වැඩේ වුණේ නැහැ.

හැබැයි 2024 සැප්තැම්බර් වෙනස් වීමත් එක්ක ඊළඟට එන නඩු වාරයෙන්ම මෙතුමා කියපු වාර්තාව කියෙව්වා. ඒ වාර්තාව කියද්දි ඕගොල්ලොන්ට තේරිලා ඇති වෛද්‍යවරයෙක් විදියට මම ජීවත් වෙච්ච විදිහට මට දාපු සීමා. මට දීපු පීඩාව. මගෙ පවුලට වෙච්ච හානිය. ඒ කම්පනය කවදාවත් නැවත හරවන්න බෑ.

මං අදත් ආඩම්බරයෙන් කියනවා අපි බලාපොරොත්තු වෙන වෙනස දැන් වෙලා තියෙන්නේ. මාව අන්තිම දවසේ සී අයි ඩී එකෙන් උසාවියට එවන දවස මම ශානි සර් ගාවට ගිහිල්ලා කතා කරලා කිව්වා මේකෙ 45ක් 50ක් විතර කූඩු තුනක මාව තියන් හිටියා, අපිට තිබුණේ පාවිච්චි කරන්න වැසිකිළි දෙකයි. ශානි සර් ළඟට ගිහිල්ල මමම කිව්වා, සර් මට අවස්ථාවක් ලබා දෙන්න ඕනේ, මේ හිරවෙලා ඉන්න මේ මිනිස්සුන්ට නිදහසේ ටොයිලට් යන්න මට පුළුවන්කමක් තිබුණොත් මේ වැසිකිළිය හදන්න අවස්ථාව දෙන්න කියලා කිව්වා. එතුමාගේ නිහතමානිත්වය නැත්නම්, එතුමා එදා කිව්වා ඕක හොඳ දෙයක් තමයි නමුත්, ඔයා පොලිස්පතිතුමාට කවද හරි නිදහස් වෙච්ච දවසක ලියන්න, එදාටත් මම මේ පුටුවේ වාඩිවෙලා හිටියොත් ඔයාට මම ඕක කරන්න ඉඩ දෙනවා කියලා කිව්වා.

ඒක විතරක් නෙමෙයි චූටි උපදෙසක් මට දුන්නා. එයා කිව්වා ඩොක්ටර් අපිට ඔයාගේ කතාව කියවද්දි තේරුණා ඔබතුමා කැපවීමෙන් වැඩ කරලා තියෙනවා, ජාතියක් මුල් කරගෙන වැඩ කරලා නෑ. හැබැයි ඔබතුමාට හිතේ චුට්ටක්වත් මේ බෞද්ධ ජනයත් එක්ක ඔයාට මේ කරදර කරපු ජනතාව එක්ක දුකක් තරහක් තියෙනවද කියලා ඇහුවා. එහෙම ඔබතුමා හිතේ තිබිලා ලෙඩෙක් දිහා බලනකොට ඒ වෛරය හිතට ආවොත්, ඊළඟ ආත්මයේ ඔයා බෞද්ධාගම විදිහට ආවොත් ඔයා පොළොවෙන් යට තමයි ඉපදෙන්නේ කියලා මට කිව්වා. මම කිව්වා සර් මම ඔයාට පොරොන්දු වෙලා යනවා, කවදාහරි ජීවිතයේ ඔයා මාව ආයෙ මුණ ගැහුණොත් ඔයා මේ කියපු වචනයට අනිත් පැත්තෙන් සියලුම මනුෂ්‍යත්වය වෙනුවෙන් ආගමට එහා ගිහිල්ලා මනුෂ්‍යත්වය රැකගන්න පුළුවන්කමක් තියෙන මනුස්සයෙක් විදිහට මම ජීවත් වෙලා පෙන්නනවා. මේ රට එකට එක්කහු කරන්න මං කැපවෙනවා කියලා මම පොරොන්දු වුණා.

මම හිතනවා මට ඒක ඉෂ්ට කරන්න වෙනවා. මට දේශපාලනය ඕන නැහැ. අවුරුදු තුන හමාරකට වැඩි කාලයක් මට පඩිදුන්නේ නෑ. ඔක්කොම හිර කරලා තිබුණා. පස්සෙ පඩිය දුන්නා. දෙවියන්ගේ පිහිටෙන්ම ඕගොල්ලෝ බෞද්ධ දර්ශනය පිළිගන්නා මිනිස්සු, දිට්ඨ ධම්මවේදනීය කර්මය කියන එක ඇස් දෙකෙන් අපිට බලන්න පුළුවන් වුණා.

දැනටත් අපි ඕටී ගත්තාට ඒ සල්ලි අපි භාවිතා කරන්නේ නැහැ. වෛද්‍යවරු විදිහට අපි රාජකාරී කරද්දී ඕටී අපිට හම්බවෙනවා. මමයි බිරිඳයි ඒක වෙනමම දුප්පත් අයට බෙදල දෙනවා. අපි ඒ සල්ලි ගන්නේ නැහැ. එතකොට රාජකාරියේ ඉන්නෙ නැතුව මේ හම්බ වුණ පඩියෙන් ආධාර කරන්න අදහසක් ආවා. අපි ජීවිතය පුරා ඉතිරි කරපු ටික බෙදලා දුන්නා. කෝටියක් වටින බෙහෙතක්, කම්පැනියට කතා කරලා විසිහත් ලක්ෂයට අපි අරන් දුන්නා. මේවා ප්‍රසිද්ධ වීමක් කියලා කවදාක්වත් හිතන්නේ නැහැ. මම දන්නවා මට ප්‍රසිද්ධ වෙන්න දෙයකුත් නැහැ. මං තරම් වෙන නරක පැත්තට ප්‍රසිද්ධ වෙච්ච මනුස්සයකුත් මේ ලංකාවේ නෑ. ඒ වගේම මම තරම් මේ හොඳ හදවත් තියෙන මිනිස්සුන්ගෙන් ආදරයෙන් බඳවා ගත්තාමත් චරිතයකුත් ලංකාවේ නෑ කියන එක මම භුක්ති විඳිනවා.

කොහේ හරි ගියොත් අදටත් අපූරු සිද්ධියක් තමයි, මිනිස්සු ඇවිල්ල හදවතින් අපිත් එක්ක කතා කරන එක. ඒ වගේ සුන්දර මිනිස්සු ඉන්න රටක්. මගෙන් කිහිප දෙනෙක් අහලා තියෙනවා ඇයි ඔයා මේ රට දාලා යන්නේ නැත්තේ කියලා? මම මොකටද යන්න ඕනේ?

මගේ ඉතිහාසයෙ කිසිම දෙයක් නෑ කියල දැන දැන අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයය තුළදී, තමන් කතා කරන්නේ බොරු බව දැන දැන, ෆයිල් ඇද ඇද අරගෙන වැඩ කළා.

දිට්ඨධම්ම වේදනීය කර්මය ඔයාලා විශ්වාස කරන විදිහට මමත් විශ්වාස කරනවා. ඕක භුක්ති විඳින්න අපිට පුළුවන් වුණා. මට හයියක් තියෙනවා. එකම දෙයයි මම මගේ දුවටත් කියලා දීලා තියෙන්නේ. කවද හරි මේ රටට ප්‍රයෝජනයක් වෙනව විදිහට ඔයා සේවය කරන්න.

සාෆිගේ දියණිය කෘතිය කියවන අයුරු

අහවල් වර්ගයේ, අහවල් ජාතියේ කෙනෙක් විදියට කවදාවත් හිතන්න එපා. එහෙම හිතුවොත් වරදිනවා කියලා මම දුවටත් කියනවා. ඒ වගේම අනාගතය භාරගන්න ඉන්න හැමෝටම මම ඒක කියනවා.

මං හිතන්නේ අපි දේශපාලනය කතා කරනව නෙමෙයි, මුස්ලිම් මනුස්සයෙක් විදියට මම ඒ දවස්වල ඊට කලින් තිබුණ පීඩාව අපි දන්නවා. ඒ නිසා අවංකවම මේ රජයට මම ස්තූතිවන්ත වෙනවා. අපි ගොඩක් නිදහසින් ජීවත් වෙනවා. මේ රජයට මම හදවතින්ම සුබ පතනවා.

අපිට නිදහසේ ජීවත් වෙන්න පරිසරයක් හදලා දීලා තියෙනවා. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙච්ච සිහින ටික ඉදිරි අනාගතයේදී අපේ ළමයින්ට, අපේ ඊළඟ පරම්පරාවට මේ රට දාලා යන්ඩ නෙමෙයි පිටරටින් ගෙන්නගෙන අපි අපේ සේවය ලබාගන්න කාලයක් එන්න ඕනේ.

මගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට කියන්න කැමැතියි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වීඕජීලා දෙන්නෙක් ඉඳගෙන ඒ කාලේ මම වැඩ කරද්දි 1200 කිට්ටු වෙන්න අපි මාසෙකට ඩිලිවරිස් කළා.

හැබැයි අවාසනාවකට දැන් කුරුණෑගල ශික්ෂණ රෝහල් අපේ හාමුදුරුවනේ, යුනිට් හතරක් බවට පත්වෙලා තියෙනවා. වීඕජීලා තුන්දෙනෙක් ඉන්නවා. වයඹ මෙඩිකල් ෆැකල්ටි එකේ වීඕජිලා පස් දෙනෙක් ඉන්නවා. ඒ අනුව වීඕජීලා අටදෙනෙක් ඉන්නවා.

හැබැයි අද කුරුණෑගල ශික්ෂණ රෝහලේ දරුවන් බිහි කිරීමේ ප්‍රමාණය මාසයකට 550ට වැටිලා. 45% 50%ත් අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය හරිගස්වාගන්න ඕනෑ. මේ රටේ තරුණ පරම්පරාව අඩුවෙලා තියෙනවා.

අවුරුදු පහළොවක් විස්සක් විතර වෙනකොට ලංකාව ගැන කැක්කුමක් තියෙන පුද්ගලයෙක් විදිහට පුරවැසියෙක් විදිහට මම කියනවා මේ තරුණ පරම්පරාවෙන් ලක්ෂ පහක් විතර අඩුවෙන්න ඉඩ තියෙනවා. ඒ පුරප්පාඩුව අපි කොහෙන්ද නිවැරදි කරගන්නේ?

ඒ හින්දා මම නෙවෙයි වඳ කළේ. මෙච්චර කල් තිබ්බ සිස්ටම් එක තමයි වඳ කළේ. පොලිස් නිලධාරියෙක් කියනවා මට, මම සීඅයිඩී එකේ කූඩුව ඇතුලේ ඉඳගෙන නින්ද යන්නේ නැහැ, මාත් එක්ක ඇවිල්ල කතා කළා. ඔහුගේ බිරිඳ ගුරුතුමියක් කිව්වා ළමයි කී දෙනෙක් ඉන්නවද, එක්කෙනයි ඉන්නේ කියලා කිව්වා. ළමයි ඇයි හැදුවේ නැත්තේ ඇහුවම කිව්වා, කොහොමද සර් හදන්නෙ? මේ ප්‍රශ්නත් එක්ක එක ළමයෙක්වත් හදාගත්තෙ හරි අමාරුවෙන් කියලා කිව්වා.

දොස්තර සාෆි කියල දීල නෙවෙයි මෙයාලගේ නොහැකියාව, මෙයාලා කරපු වරද වහන්ඩ තමයි මේ ජාතිවාදය අතට ගත්තේ. මගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට කියන්න කැමතියි මම නෙමෙයි වඳ කළේ. මෙච්චර කල් තිබ්බ සිස්ටම් එක තමයි වඳ කළේ. වත්මන් ආණ්ඩුවට මම භාර දෙනවා ශ්‍රී ලංකාවේ ජාතිවාදය ඉහළින්ම බැට කාපු පුද්ගලයෙක් විදිහට අනාගතය භාර දෙනවා. ආපහු මේ ආර්ථිකය හදලා ආපහු මේ කුරුණෑගල රෝහල 1100ක්වත් ඩිලිවරි දෙන්න පුළුවන් පරම්පරාවක් හදන්න.

තරිඳු උඩුවරගෙදර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here