ශ්‍රී ලංකාව බටහිර බලවේග සමග!

0
3

නවීන නියමුවන් රහිත ජපන් ගුවන් යානා දෙවර්ගයක් නාවික හමුදාවට

2025 අත්සන් කළ දෙවන ආරක්ෂක ගිවිසුම

බටහිර යුද යාන්ත්‍රණය තුළ ඉන්දියාවේ අනාගතය

ඉන්දියාව සමග ජපානය එකතුවී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ කොළඹ වරායේ ප්‍රධාන ආයෝජනයක් කිරීමට කළ උත්සාහය ව්‍යර්ථ විය. ඊට එරෙහිව මූලිකව සේවකයින් මෙහෙය වූයේ ජනතා විමුක්ති පෙරමුණයි. සේවක විරෝධතාව මත කොළඹ නැගෙනහිර ජැටියේ ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව කිරීමට ගිය ආයෝජනය අතහැර දැමීමට සිදුවිය. ඒ 2019-2020 කාලයේදීය. නමුත් ඉන්දියාව කොළඹ බටහිර ජැටිය අදානි හරහා ලබාගත්තේය. ජෝන් කීල්ස් සහ වරාය අධිකාරිය ද සම්බන්ධ එම ව්‍යාපෘතිය මේ වසරේ අප්‍රේල් ව්‍යාපාර කටයුතු ඇරඹීය. කොළඹ වරායේ එම ආයෝජනය සිදු වූයේ හම්බන්තොට චීනයට වසර 99 කට බදු දීම පසුබිමේය. කොළඹ වරාය නගරය ද චීනයට ය. ශ්‍රී ලංකාවේ තෙල් සැපයුමේ විදේශීය කොටස්කරුවන් අතර චීනය සහ ඉන්දියාව වන අතර චීනය හම්බන්තොට කේන්ද්‍ර කොට බල මධ්‍යස්ථානයක් ඉදිකරන අතර ඉන්දියාව ත්‍රිකුණාමලය තම මර්මස්ථානය කර ඇත. ඒ පිළිබඳව අමුතුවෙන් කීමට දෙයක් නැත. ජපානය ප්‍රධාන කොටස්කරුවා වූ කොළඹ ඩොක්යාඩ් සමාගමේ පාලන අයිතිය ද ඉන්දියාව පසුගියදා හිමිකර ගත්තේය. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 52.96 කටය. ලෝක සහ කලාපීය බලවතුන් ශ්‍රී ලංකාවේ ස්ථිර ලෙස ස්ථානගත වී ඇත.

ශ්‍රී ලංකාව ‘සමාන අදහස දරන රටක්’ ලෙස සලකමින් ජපානය විසින් තම ‘නිල ආරක්ෂක සහය’ [Official Security Assistance (OSA)] නමින් හඳුන්වන විශේෂිත වැඩසටහනට අප රට ඇතුළු කර තිබේ. අදාළ ගිවිසුම අත්සන් කිරීම පසුගිය සැප්තැම්බර් 29 වන දින ටෝකියෝ නුවරදී සිදුවිය. කොළඹ සිටින ජපාන තානාපති අකිඔ ඉසොමත සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් එම ගිවිසුමට අත්සන් කළේය.එම අවස්ථාවට ජපානයේ අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගි විය.

රුපියල් බිලියනයක (යෙන් මිලියන 500) පළමුවන ‘නිල ආරක්ෂක සහය’ ව්‍යාපෘතිය යටතේ ජපානයේ නිෂ්පාදිත නවීන නියමුවන් රහිත ගුවන් යානා දෙවර්ගයක් සමග ඊට සම්බන්ධ අනෙකුත් පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබෙනු ඇත.

එම ස්ථානගත කිරීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට මෙන්ම කලාපීය ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වනු ඇති බව ජපානයේ විශ්වාසයයි. එම ගිවිසුම්ගත වීමට හේතුව ජපාන විදේශ අමාත්‍යාංශය එදිනම නිකුත් කළ මාධ්‍ය නිවේදනයක අවධාරණය කර ඇත. ශ්‍රී ලංකාව උපායමාර්ගික ලෙස ඉන්දියානු සාගරය ආසියාව, පෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන වැදගත් ස්ථානයක පිහිටා ඇති බවත්, ‘පුළුල් හවුල්කාරිත්වය’ පිළිබඳව (Comprehensive Partnership Agreement) ගිවිසුම අනුව දෙරට ආරක්ෂක සහයෝගිතාව වර්ධනය කර ඇති බවය. එම ප්‍රකාශයට අනුව ‘නිල ආරක්ෂක සහය’ ව්‍යාපෘතිය ජපානය බලාපොරොත්තු වන ආරක්ෂක තත්ත්වය ඉන්දු – පැසිෆික් කලාපයේ ඇතිකිරීමට සහ එමගින් ලෝක සාමයට සහ ආරක්ෂාවට දායක වීම පරමාර්ථයයි.

දැනටමත් නියමුවන් රහිත ගුවන් යානා දියත් කිරීම පිළිබඳව නාවික හමුදාවට පළපුරුද්දක් ඇතත් ජපානය සම්බන්ධ වී කිරීමට යෝජිත මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාවට නව අත්දැකීමක් වෙනු ඇත. එම ගිවිසුම අනුව ආරක්ෂාව පිළිබඳව ද්විපාර්ශ්වික සහයෝගිතාවය නව අදියරකට පිවිස ඇත.

ජපානය විසින් 2023 අප්‍රේල් දී ස්ථාපිත කළ ‘නිල ආරක්ෂක සහය’ ව්‍යාපෘතිය පිළිබඳව විමසා බැලීමේදී රුසියාව විසින් 2022 පෙබරවාරි මාසයේදී යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් ඇති වූ තත්ත්වයට අවධානය යොමු කළ යුතුය. ජපානය විසින් 2022 දෙසැම්බර් මාසයේදී අනුමත කළ නව ජාතික ආරක්ෂක උපාය මාර්ගය පිළිබඳ ප්‍රතිපත්තියේ ද ‘නිල ආරක්ෂක සහය’ ව්‍යාපෘතිය අවධාරණය කර තිබේ. ජපාන ක්‍රියාදාමය ජාත්‍යන්තර බටහිර මාධ්‍ය වාර්තා අනුව ලෝක සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීම ඉලක්ක කර ක්‍රියාත්මක කර ඇත. ඒ චීනයට එරෙහි සමස්ත ඇමෙරිකානු-ජපාන ඉන්දු පැසිෆික් උපාය මාර්ගය අනුවය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 2025 වසරේ දී ‘ආරක්ෂක’ ගිවිසුමකට ඇතුළු වූ දෙවැනි අවස්ථාවයි. පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත අතර ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගිවිසුමක් විය. (අදටත් එම ගිවිසුම් කිසිවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. එය වෙනමම විමසා බැලිය යුතු තත්ත්වයකි.) ජපානය සහ ඉන්දියාව රටවල් හතරකින් සමන්විත ආසියාවේ නෙටෝවේ [North Atlantic Treaty Organization (NATO)] සාමාජිකයින්ය. එම කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන්නේ ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාවයි. ඔවුන්ගේ ඉලක්කය චීනය බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. නමුත් රුසියාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත තුළ එම සංවිධානය යම්කිසි අර්බුදකාරී තත්ත්වයකට මුහණ දී ඇත.

යුක්රේනය සම්බන්ධයෙන් ඉන්දියානු ස්ථාවරය ඇමෙරිකාවට බරපතල ගැටලුවක් වී ඇති බව රහසක් නොවේ. එම තත්ත්වය තීව්‍ර වීමට හේතුවක් වූයේ රුසියාව සහ ඉන්දියාව මෑතකදී චීනයේ ආරාධනයෙන් තීරණාත්මක ෂැන්හයි සමුළුවට සහභාගි වීමයි. ඉන්දීය කාශ්මීරයේ මෑතකදී සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය පසුබිමේ ඊට වගකිවයුතු යැයි ඉන්දියාව චෝදනා කරන පාකිස්තානය සමග ඇමෙරිකාව නව මිත්‍රත්වයක් ගොඩනැගීම ඉන්දියාවේ දැඩි අසතුටට හේතු වී ඇත. එවැනි තත්ත්වයක් තුළ න්‍යෂ්ටික බලවතකු ද වන උතුරු කොරියාව එම සමුළුවට සහභාගි විය. න්‍යෂ්ටික බලයෙන් සන්නද්ද ඒකාබද්ධ චීන-රුසියා-ඉන්දියා-උතුරු කොරියා ‘පෙරමුණ’ කෙතරම් බලවත් දැයි බටහිර දනී.

ශ්‍රී ලංකාව චීනයේ පැවැත්වූ සමුළුවට සහභාගි නොවීය. පසුගිය වසරේ රුසියාවේ පැවැත්වූ BRICS සමුළුවට ද ශ්‍රී ලංකාව සහභාගි නොවීය. පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම පක්ෂ අඩු වැඩි වශයෙන් ජාතික ආර්ථිකය බංකොලොත් කිරීමට වගකිව යුතුය. එම තත්ත්වයෙන් ගොඩ ඒමට අනුගමනය කළ ක්‍රියාමාර්ගය තුළ ශ්‍රී ලංකාව බටහිර ව්‍යාපෘතිය තුළ හිරවී ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමුඅ) මැදිහත්වීම හරහාය. බටහිර කූටෝපායන් සම්බන්ධයෙන් අමුතුවෙන් කිවයුතු නැත.

කෙසේවෙතත් ආන්දෝලනාත්මක සහ ගැටලුකාරී තත්ත්වය තුළ දෙපාර්ශ්වයම තම තමන්ගේ උපාය මාර්ග ඉදිරියට ගෙන යන බව පැහැදිලිය. ශ්‍රී ලංකාව ජපාන ‘නිල ආරක්ෂක සහය’ ව්‍යාපෘතියට සම්බන්ධ කර ගැනීම එය සනාථ කරයි.

මෙම ජපන් ආරක්ෂක ව්‍යාපෘතියට දැනට සම්බන්ධ වී ඇති රටවල් වන්නේ තායිලන්තය, ටොන්ගා, නැගෙනහිර තිමෝරය, ඉන්දුනීසියාව, මැලේසියාව, පැපුවා නිව්ගිනි සහ පිලිපීනය ය. ඒ 2025 වසර සඳහා ආධාර ලබාදීමට තෝරා ගනු ලැබූ රටවල්ය. ඊට පෙර බංග්ලාදේශය (ඇමෙරිකාව මැදිහත්වීමෙන් 2024 දී ආණ්ඩුව වෙනස් කළේය.), ෆීජි සහ මොන්ගෝලියාව ද වේ. මේ අතර දෙවරක් ආධාර ලැබූ රටවල් ද ඇත. ඊට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළිය පසුපස ද ඇමෙරිකාව සිටිය බවට පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ මෙන්ම දේශපාලන විචාරකයින් ද චෝදනා කර ඇත.

ශ්‍රී ලංකාව දැනුවත්ව හෝ නොදැනුවත්ම ‘බටහිර’ කණ්ඩායමට එකතු වී ඇත. නමුත් ශ්‍රී ලංකාව ඇමෙරිකාව සමග ආරක්ෂක ගිවිසුමකට-අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුමකට – (Acquisition and Cross Servicing Agreement) ඇතුළු විය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමුවන ධුර කාලයේදීය (2005-2010). ඒ සම්බන්ධයෙන් පසුව කතා කරමු.

යහපාලන සමයේදී ශ්‍රී ලංකාව සහ ජපානය පුළුල් හවුල්කාරිත්වයකට (Comprehensive Partnership Agreement) ගිවිසුම් ගතවිය. ඒ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ටෝකියෝ නුවර 2015 ඔක්තෝබර් මාසයේ කළ සංචාරයේදීය. පසුගියදා අත්සන් කළ ‘නිල ආරක්ෂක සහය’ ව්‍යාපෘතිය 2015 ගිවිසුම වර්ධනය කිරීමක් ලෙස හැඳින්වුවත් වරදක් නැත.

දෙවන ලෝක යුද්ධයේදී (1939 සැප්තැම්බර් සිට 1945 අගෝස්තු) ජර්මනිය නායකත්වය දුන් සතුරු පිලට ජපානය අයත් විය. ඇමෙරිකාව නායකත්වය දුන් ජයග්‍රාහී මිත්‍ර පාක්ෂික කණ්ඩායම සතුරු කණ්ඩායමට කොන්දේසි පැනවිය. ජපානය ද එම දැඩි කොන්දේසිවලට යටත් විය. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට වසර දෙකකට පෙර ජපානය විසින් චීනය ආක්‍රමණය කළේය. ජපන්-චීන යුද්ධය අවසන් වූයේ ජපන් හමුදා 1945 අගෝස්තු මාසයේදී කොන්දේසි විරහිතව යටත් වීමත් සමගය.

දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 80 කට පසුවත් ඇමෙරිකානු හමුදා ජපානයෙන් ඉවත් වී නැත. කිසිදා ඉවත් වන්නේ ද නැත. ඒ බව තේරුම් ගැනීම අපහසු නැත. නමුත් පසුගිය දශක කිහිපය තුළ ඇමෙරිකාවේ දේශපාලන ආරක්ෂක අවශ්‍යතා මත ජපානයට පැනවූ කොන්දේසි ක්‍රම ක්‍රමයෙන් ඉවත් කළ අතර අද ජපානය ඇමෙරිකානු යුද යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඕනෑම තත්ත්වයක් යටතේ ජපානය ඇමෙරිකාව සමගය. රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේදී ජපානය ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපීය ප්‍රජාව සමගය. නමුත් යුදෙව් රාජ්‍යයට එරෙහිව පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ යුරෝපය අතර විරසකයක් ඇති විය. මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ පෘතුගාලය ඇතුළු රටවල් ගණනාවක් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීම අනුවණ ක්‍රියාවක් බවට ඇමෙරිකාව ප්‍රකාශ කළේය. එවැනි පසුබිමක පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් ජපානය වැළකී සිටිය බව අමතක කළ නොහැක.

‘නිල ආරක්ෂක සහය’ යාන්ත්‍රණය ඇමෙරිකානු නායකත්වය මත ක්‍රියාත්මක සමස්ත දේශපාලනික-යුද-සමාජීය ක්‍රියාදාමයේ කොටසකි. එවැනි ජාත්‍යන්තර ආරක්ෂක වැඩපිළිවෙළක් අනිවාර්යෙන්ම ඇමෙරිකානු අනුමැතියට යටත්ය.

එක්තරා ආකාරයකට වර්ධනය වෙමින් පවතින ඉන්දීය -ඇමෙරිකානු විරසකය තුළ පාකිස්තානය උද්ගත වී ඇති තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිත දිනාගැනීමට පාකිස්තානය සමත් වී තිබේ. පාකිස්තානු හමුදා ප්‍රධානි ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මේ වසරේ අප්‍රේල් අග ඉන්දීය කාශ්මීරයේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව තෙවරක් වොෂින්ටනයට යෑම ලෝකයේ අවධානය දිනා ගෙන ඇත. නමුත් ඔහුගේ තුන්වන සංචාරය දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇති කර තිබේ. ඒ පාකිස්තාන භූමියේ ඇති විරල පාංශු මූලද්‍රව්‍ය සාම්පල ඇමෙරිකානු ජනාධිපතිවරයාට පෙන්වන ඡායාරූපයක් ධවල මන්දිරය නිකුත් කිරීම නිසාය. පාකිස්තාන පාර්ලිමේන්තුවේදී හමුදා නායකයා වෙළෙන්දෙකු ලෙස හැසිරීම විවේචනය විය.

අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුමකට අවධානය යොමු කරමු. මහින්ද රාජපක්ෂ රජය එම ගිවිසුමට අත්සන් කිරීමට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවන්ගෙන් වත් විමසීමටවත් රාජපක්ෂවරු සදාචාරශීලි නොවූහ. එවකට කැබිනට් අමාත්‍යවරු වූ ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ සහ වාසුදේව නානායක්කාර එම ගිවිසුමට එරෙහි විය. නමුත් ඒ වනවිට එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඇමෙරිකානු තානාපති රොබට් ඕ බ්ලේක් එම ගිවිසුම ක්‍රියාත්මක කර තිබිණි. එම ගිවිසුම් ගතවීම 2007 මාර්තු මාසයේදී සිදුවිය. එම වසර ඉන්දියාව 80 දශකයේදී ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරයට එරෙහි යුද්ධයේ අතිශය තීරණාත්මක වසරයි.

ත්‍රස්තවාදීන්ගේ ඉතිරිව තිබූ පාවෙන අවි ගබඩා හතර විනාශ කිරීමට ඇමෙරිකාව අවශ්‍ය සියලුම රහස්‍ය තොරතුරු සැපයුව වසරයි. ඇමෙරිකානු චන්ද්‍රිකා මගින් නාවික හමුදාවට ලබාදුන් නිශ්චිත තොරතුරු මත එම පාවෙන අවි ගබඩා හතරම විනාශ කිරීමට එවකට වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ නාවික හමුදාවට හැකිවිය.

ඇමෙරිකාව කළ එම තීරණාත්මක මැදිහත්වීමට 2007 දී ශ්‍රී ලංකාව සමග අත්සන් කළ අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුමක ඉවහල් විය. ඊට පෙර හතරවන ඊළාම් යුද්ධයේදී (2006 අගෝස්තු -2009 මැයි) පාවෙන අවි ගබඩා විනාශ කිරීමට අවශ්‍ය තොරතුරු යුද හමුදා බුද්ධි අංශය විසින් ත්‍රස්තවාදීන්ගේ රහස් පණිවිඩවලට සවන්දීමෙන්/නාවික හමුදාවට එම පණිවිඩවලට සවන්දීමට අවස්ථාවක් ලබා දීමෙන් සිදුවිය. (දැනට අධිකරණ නියෝගයක් මත යුද්ධය අවසන් වීමෙන් පසුව සිදු වූ බවට ප්‍රකාශ කර ඇති පැහැර ගැනීමකට සැකපිට සිරභාරයට පත්කර ඇති එවකට කපිතාන් සරත් මොහොට්ටි නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂක ලෙස ත්‍රස්තවාදීන්ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමට කළ දායකත්වය ඉතිහාස ගතවී ඇත.)

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here