මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්වැටිය ඇබ්බැහිවීම වැළැක්වීම හා පුනරුත්ථාපනයට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග

0
4

ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ නූතන ස්නායු විද්‍යාව

සෑම වසරකම, අප රට මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර මගින් පුද්ගලයන්, පවුල් සහ සමාජය වෙත එන විනාශකාරී බලපෑම් පිළිබඳව අවධානය යොමු කරයි. වෛද්‍ය මැදිහත්වීම්, නීතිය ක්‍රියාත්මක කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමේ සහ පුනරුත්ථාපනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළද, පුද්ගලයන් තුළ සතිමත් බව, වීර්ය, ඉවසීම, ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය වැනි ගැඹුරු මූලයන් ආමන්ත්‍රණය නොකිරීම මඟින් රට තුළ අප බලාපොරොත්තු වන වෙනසක් ඇති කළ නොහැක.

මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම තවදුරටත් සමාජ ගැටලුවක් පමණක් නොවන අතර එය වසංගතයක් බවට පත්වෙමින් තිබේ. එමෙන්ම මෙය අපේ ජාතියේ සෞඛ්‍යයට, ස්ථාවරත්වයට සහ අනාගතයට විශාල තර්ජනයකි. ශ්‍රී ලංකාවේ, මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්පානයෙන් පුද්ගලයන්ට, පවුල්වලට සහ සමාජයට සිදුවන විනාශකාරී ප්‍රතිවිපාක දශක හතරක පමණ කාලයක සිට ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී.

ලලිත් ද සිල්වා

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර වෙත යොමුවීමට හේතු

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය ඉහළ යමින් පවතින අතර එයට සමාජීය, මානසික සහ ආර්ථික සාධකවල සංකීර්ණත්වය හේතු වේ.

● පහසු ප්‍රවේශය – නීති තිබියදීත්, සෑම අස්සක් මුල්ලක් නෑරම මත්පැන් ලබාගත හැකි ස්ථාන පවතින අතර නීති විරෝධී මත්ද්‍රව්‍යද, ප්‍රජාවන් හරහා ගලායෑම දිගටම සිදුවේ.

● සම වයසේ මිතුරන් සහ සමාජ පීඩනය – තරුණයන් බොහෝ විට මත්ද්‍රව්‍ය අත්හදා බැලීම් කරන මිතුරන් හෝ සමාජ කාණ්ඩ විසින් බලපෑමට ලක් වේ.

● ළමා කාලයේ සිට පවතින නිධන්ගත ආතතිය – බොහෝ ශ්‍රී ලාංකිකයන්ට, ළමා කාලය තුළ අත්විඳින ලද ආතතිය වැඩිහිටි වියට හා මහලු වියට පත්වූ පසුවත් පවතින අතර එය මොළයේ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය පිරිහීමට දායක වේ. එමගින් පුද්ගලයන් තුළ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කර ගැනීමට ඇති හැකියාව අඩු වේ.

● මානසික සෞඛ්‍ය පිරිහීම – කාංසාව, විශාදය සහ නොවිසඳුණු කම්පන, පුද්ගලයන් මත්ද්‍රව්‍ය සහ මද්‍යසාර වෙත යොමු කිරීමේ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරයි.

● පවුල් කඩාකප්පල් වීම – දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ දෙදෙනාම විදේශයන්හි සේවය කරන විට, දරුවන්ට බොහෝ විට ගැඹුරු චිත්තවේගීය හිස්බවක් ඇතිවන අතර එය මත්ද්‍රව්‍ය භාවිතයට ඇති අවදානම වැඩි කරයි.

● ප්‍රායෝගික අධ්‍යාපනයක් නොමැතිකම – පාසල්, දහම් පාසල් සහ පිරිවෙන් තුළින් බොහෝ විට දරුවන්ට ආතතිය කළමනාකරණය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරු කිරීමට ප්‍රායෝගික ක්‍රම ඉගැන්වීමට වඩා පෙළ පොත් මූලික කරගත් සිද්ධාන්ත කෙරෙහි අවධානය යොමු කරයි.

● සංස්කෘතික හා සමාජීය බලපෑම් – සමාජ මාධ්‍ය සහ සමාජීය සම්මතයන් මත්ද්‍රව්‍ය භාවිතය සහ මත්ද්‍රව්‍ය සමඟ අත්හදා බැලීම සාමාන්‍යකරණය කරයි.

● ආර්ථික පීඩනය – දරිද්‍රතාවය, විරැකියාව සහ මූල්‍ය අනාරක්ෂිතභාවය මිනිසුන් මත්ද්‍රව්‍ය වෙත ඇදී යෑම ඉහළ නංවයි.

රටට සහ ජනතාවට අත්විඳීමට සිදුවන ප්‍රතිවිපාක

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ ප්‍රතිවිපාක දීර්ඝකාලීන ඒවා වේ.

● සෞඛ්‍ය වියදම් – අක්මා රෝග, පිළිකා, මානසික රෝග සහ අකල් මරණ සෞඛ්‍ය සේවා පද්ධතියට දැවැන්ත පීඩනයක් ඇති කරයි.

● පවුල් බිඳ වැටීම – ඇබ්බැහි වීමෙන් පීඩාවට පත් වූ නිවාසවල ගෘහස්ථ හිංසනය, ළමයින් නොසලකා හැරීම සහ මූල්‍ය අස්ථාවරත්වය වැනි තත්ත්ව හටගනී.

● රැකියා ස්ථානයට වන බලපෑම – ඵලදායිතාව, කාර්යක්ෂමතාවය, තෘප්තිය අඩුවීම සහ සේවා ස්ථානවල සිදුවන අනතුරු ආයතනයේ සහ රටේ ආර්ථිකයට බහුලව හානි කරයි.

● තරුණ ජවය අහිමි වීම – මත්ද්‍රව්‍යවලට මුල් අවධියේදී නිරාවරණය වීම හේතුවෙන් බොහෝ ශ්‍රී ලාංකික තරුණයන්ට තම කුසලතා සංවර්ධනය කරගැනීමට නොහැකිවන අතර එමඟින් ඔවුන්ගේ අනාගතය විනාශ කර දමයි.

● ජාතික සංවර්ධනය – මත්පැන් සහ දුම්කොළ බදු වලින් රජය උපයන සෑම රුපියලකටම වඩා සෞඛ්‍ය සේවා වියදම්, ඵලදායිතාව අඩුවීම, නීතිය ක්‍රියාත්මක කිරීම සහ දිගුකාලීන සමාජ හානිය හරහා කිහිප ගුණයකින් වැඩි ප්‍රමාණයක් අහිමි වන අතර එය ජාතියට සිදුවන සුවිශාල පාඩුවකි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය: මෙම තත්ත්වය සුව කිරීම සඳහා විශ්වීය රාමුවක්

ඇබ්බැහි වීම වැළැක්වීම, පුනරුත්ථාපනයට සහාය වීම සහ නැවත ඇබ්බැහිවීම ඇතිවීම අවම කිරීම සඳහා රජය, නියාමකයන්, දෙමාපියන්, අධ්‍යාපනඥයන් සහ තරුණයන් බලාත්මක කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාරවලින් ඔබ්බට යා යුතුය. ඒ සඳහා කුඩාකල සිටම දෛනික ජීවිතයට ඒකාබද්ධ කළ හැකි, සතිමත් බව හා ගුණධර්ම මත පදනම් වූ ප්‍රවේශයක් අවශ්‍ය වේ.

වසර 2,500කට පෙර බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, අධ්‍යාත්මික ඉගැන්වීමක් පමණක් නොව, සතුට, ඔරොත්තු දීමේ හැකියාව සහ යහපැවැත්ම සඳහා වඩාත් ඵලදායී ජීවන රාමුවකි. එය දරුවන්ට සහ තරුණයින්ට මුල් අවධියේදී හඳුන්වා දුන්නොත් එමඟින් මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ දුම්පානයට යොමුවීමේ සම්භාවිතාව විශාල වශයෙන් අඩු කරන ශක්තිමත් මනෝභාවයක් ගොඩනැගිය හැකිය.

ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ නූතන ස්නායු විද්‍යාව

ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව ජීවත්වීමේදී පුද්ගලයන් තුළ සිදුවන හිතකර වෙනස්කම් නූතන ස්නායු විද්‍යාව සහ මනෝවිද්‍යාව මගින් ද සනාථ කරයි.

● භාවනාව – සතිමත් දියුණු කිරීම මොළය නැවත සකස් කිරීමට (Neuroplasticity & Rewiring the brain) උපකාරී වේ. එමඟින් නිවැරදි සිහි කල්පනාව, හොඳ නරක තේරුම් ගැනීම සහ ආවේග පාලනය ශක්තිමත් කිරීම වැනි මනසේ වෙනස්වීම් සිදු වන බව ඔප්පු වී ඇත.

● ධනාත්මක චින්තනය – සිත තුළ ඇතිවන ඍනාත්මක සිතුවිලි මැඬ පැවැත්වීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සහ බොහෝ විට මත්ද්‍රව්‍ය අනිසි භාවිතයට තුඩුදෙන මානසික පීඩනය වැළැක්වීම.

● සදාචාරාත්මක ජීවිතය – නිවැරදි කතාව සහ නිවැරදි ක්‍රියාව එදිනෙදා ජිවිතයට පුරුදු කිරීම මගින් විනාශකාරී හැසිරීම් සඳහා ඇති අවස්ථා අඩු කරයි.

● අඛණ්ඩ උත්සාහය – ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පෙන්වා දෙන අංග අට ළමා වියේ සිට ජීවිතයට එක් කර ගැනීමට නිරන්තරයෙන් උත්සහ කිරීම මගින් එය පුරුද්දක් බවට වේ.

පුනරුත්ථාපන වැඩසටහන්වලදී ඉහත පිළිවෙත් භාවිත කිරීම මගින් ඒවා ඇබ්බැහි වීමට හේතුවන මූලයට ආමන්ත්‍රණය කරමින් ධනාත්මක මනෝභාවය නැවත සකස් කිරීම, මානසික සමතුලිතතාවය ඇති කිරීම සහ සෞඛ්‍ය සම්පන්න පුරුදු පෝෂණය කරයි.

ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදු දහමේ අන්තර්ගත වූවක් නමුත්, එය බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටම පොදු වූ විශ්වීය දහමකි. එය ආගමික චාරිත්‍රයක් නොව ජනතාවට කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව, සතුට, නිවීම සහ ඔරොත්තු දීමේ හැකියාව දියුණු කිරීමට මඟ පෙන්වන මාර්ග සිතියමකි. බෞද්ධයන් සඳහා, එය ගැඹුරු අධ්‍යාත්මික පුහුණුවක් පමණක් නොව මෙලොවදීම සෑම අතින්ම තෘප්තිමත් ජීවිතයක් ලබා දෙයි. බෞද්ධ නොවන අයට ද , එය තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මග පෙන්වන මනෝවිද්‍යාත්මක හා සදාචාරාත්මක රාමුවක් ලෙස ක්‍රියා කරයි.

අවාසනාවකට මෙන්, ඉරිදා දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු සියලූම පාසල්වල පවා කුඩාකල සිටම මෙම වටිනා මාර්ගය ප්‍රයෝගිකව භාවිතා කරන ආකාරය උගන්වනවා වෙනුවට සිදු කරන්නේ එහි සිද්ධාන්ත කටපාඩම් කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමයි.

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය, මද්‍යසාර සහ දුම්පානයේ මෙම විනාශකාරී තත්ත්වය ජය ගැනීමට නම්, කළ යුත්තේ:

● දරුවන්ට කුඩා කළ සිටම සතිය, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ප්‍රයෝගික පුහුණුව ලබාදීම.

● මනෝවිද්‍යාව සහ සතිමත් බව පුහුණු කිරීම ඇතුළත් පුනරුත්ථාපනයක් ලබාදීම.

● පවුල් තුළ එක් පරම්පරාවකින් අනෙක් පරම්පරාවට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම චක්‍රය ලෙස ගමන් කරයි. එය බිඳ දැමීම මගින් පවුල තුළ සතුට, සමගිය ඇති කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

● විනෝදාස්වාදය සහ ආතතියෙන් මිදීම සඳහා මත්ද්‍රව්‍ය වෙත යොමු වනවා වෙනුවට යහපත් පුරුදු ඇති කර ගැනීම ප්‍රවර්ධනය කිරීම.

මෙම ලෝක මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ දිනයේදී, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, රෝහල් සහ නීතිවලින් පමණක් නොව, ප්‍රධාන වශයෙන් සතිමත්බව පුහුණු වීම, හොද නරක හඳුනා ගැනීමට ඇති හැකියව වර්ධනය කිරීම සහ යහපත් මනෝභාවයන් ඇති කර ගැනීම වැනි ඉහත විස්තර කරන ලද පිළිවෙත් අනුගමනය කිරීම මගින් මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියට දායකවන ජාතියක් ගොඩනැගීමට අපි කැප වෙමු. මන්ද, නූතන ස්නායු විද්‍යාව සමඟ සමපාත වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රී ලාංකිකයන් වන අපට, අපගේ ජනතාව ආරක්ෂා කරන, අපගේ පවුල්වලට සැනසීම ළඟා කරන සහ අපගේ සමාජය ශක්තිමත් කරන කාලානුරූපී විසඳුමක් ලබාදෙයි.

ලේඛකයා:

ලලිත් ද සිල්වා ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් වැළැක්වීම, පුද්ගලික සංවර්ධනය සහ සමාජ පරිවර්තනය පිළිබඳ මඟ පෙන්වන නායකයකු සහ කථිකයෙකි. එසේම, ඔහු බෞද්ධ දර්ශනය සහ නවීන විද්‍යාව ඇසුරෙන් සාරධර්මවලින් හෙබි සමාජයක් ගොඩ නැගීමට උත්සහ ගන්නා ඕස්ටේ්‍රලියාවේ පදිංචි විශේෂඥ ඉංජිනේරුවරයෙකි. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා ද වේ. ඔබට මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් [email protected] යන විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධ වීමට හැක.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here