වසර දෙකකට පසු චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය නොවැම්බර් 7දා

0
2

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය නොවැම්බර් මාසයේ 7 වැනිදා ආරම්භ වීමට නියමිතය. තවද සුපර් ලීග් පාපන්දු තරගාවලියක් සහ එෆ්ඒ කුසලාන පාපන්දු තරගාවලියක් ද මෙම වසරේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතා මාධ්‍ය හමුවකදී කියාසිටියේය.

පසුගිය වසර කිහිපය තුළදී කොරෝනා වසංගත තත්ත්වය සහ ජාත්‍යන්තර පාපන්දු තහනමකට ලක් වූ නිසාත් තවත් විවිධ ප්‍රශ්නකාරි තත්ත්වයන් උද්ගතවීම හේතු කොටගෙන දේශීය තරග සංවිධාන කිරීමට හැකියාව නොලැබුණු අතර යළි දේශීය පාපන්දු ක්‍රීඩාව වසර දෙකකට පසු ආරම්භ වීම විශේෂත්වයක් ලෙස හැඳින්විය හැකිය.

ජස්වර් උමර්

මෙරට පාපන්දු සමාජ 14ක් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියට සහභාගි වන අතර මෙහිදී ඒ කාණ්ඩයෙන් පසුගිය වසරේ අනුශූරතාව දිනූ ජාවා ලේන් ක්‍රීඩා සමාජය, සෙන්ඩර්ස් ක්‍රීඩා සමාජය, නිව්ස්ටාර් ක්‍රීඩා සමාජය, සෙරන්ඩිෆ් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, නිගම්බු යූත් හා ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය වන අතර බී කාණ්ඩයේ පසුගිය ශුරතාව දිනූ මාතර සිටි සමාජය, අනුරාධපුර පොලිස් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය, සුපර් සන් ක්‍රීඩා සමාජය, පෙලිකසන් ක්‍රීඩා සමාජය සහ යාපනය සාන්ත මේරි ක්‍රීඩා සමාජය එක්වී තිබේ.

සියලු කණ්ඩායම් පළමු වටයේදී ඔවුන්ගේ කාණ්ඩයේ එකිනෙකා සමග තරග වදින අතර පසුව කණ්ඩායම්වලින් ඉහළට එන කණ්ඩායම් හතර සුපිරි අට සඳහා සුදුසුකම් ලබයි. ඉතිරි කණ්ඩායම් හය පහත හෙළීමේ වටයට පිවිසෙන අතර එහිදී පහළම කණ්ඩායම් දෙක පළමු පෙළ ලීගය දක්වා පහළට වැටේ.

තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව දිනාගන්නා පළමු හා දෙවැනි ඉහළම කණ්ඩායම් දෙක සුපර් ලීග් තරගාවලියට උසස්වීමක් ලබනු ඇත. කණ්ඩායමකට වයස අවුරුදු 20 පසුවන ක්‍රීඩකයන් 5ක් අනිවාර්ය වන අතර දෙදෙනෙක් සැමවිටම තරගයට යොමු කළ යුතුයි. විදෙස් ක්‍රීඩකයන් හතරක් කණ්ඩායමට එක්කරගත හැකිය. ඒ අනුව දෙස් විදෙස් ක්‍රීඩකයන් 29කගේ එකතුවක් විය යුතුය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතාගේ සංකල්පයකට අනුව තරග කාලසටහන කුසපත් මගින් ඇදීම මාධ්‍යවේදීන් අතින් සිදුවිය.

සුසිල් ජයකොඩි

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here