ඔස්ට්‍රේලියානුවන්ට කඩුලු 6ක ජයක්

0
2

නවසීලන්ත නවක පිතිකරු ටිම් රොබින්සන් නොදැවී ලබාගත් ලකුණු 106 හේතුවෙන් නවසීලන්ත ඉනිම ලකුණු 181ක් තරම් දුරකට ඇදී ගියද, ඔස්ට්‍රේලියානු කණ්ඩායම් නායක මිචෙල් මාෂ් ගේ විශිෂ්ට පිතිකරණය හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි – 20 තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

(01 දා) බේ ඕවල් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබාගැනීමට සමත්වුවද, පිළිතුරු ඉනිම දියත් කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 16යි පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 185ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ටිම් රොබින්සන් නොදැවී ලකුණු 106ක් වාර්තා කිරීමට සමත්වූ අතර, ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත්ව තිබිණි. ඊට අමතරව ඩැරල් මිචෙල් ලකුණු 34ක් සහ බෙවොන් ජේකොබ්ස් ලකුණු 20ක් ලැබීය.

පන්දු යැවීමේදී බෙන් ඩුවොර්ෂස් ලකුණු 40කට කඩුලු 2ක්, ජොස් හේසල්වුඩ්, මැතිව් ෂෝර්ට් අතරේ 1 කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී මිචෙල් මාෂ් පන්දු 43කට මුහුණ දෙමින් ලකුණු 85ක් ලබාගැනීමට සමත්වූ අතර, එම ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය. ඊට අමතරව ට්‍රැවිස් හෙඩ් ලකුණු 31ක්, මැතිව් ෂෝර්ට් ලකුණු 29ක් සහ ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 21ක් ලැබීය.

පන්දු යැවීමේදී මැට් හෙන්ද්‍රි ලකුණු 43කට කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

පන්දු 43කින් ලකුණු 85ක් රැස්කළ මිචෙල් මාෂ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here