රිය අනතුරුවලට 80%ක් භූ ගෝලීය සාධක බලපානවා

0
2

මේ වනවිට ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු ඇතිවීම වේගවත් වීම සමාජමය ගැටලුවක්. මාර්ග අනතුරුවලට රියැදුරන්ගේ නොසැලකිලිමත්කම, වාහනයේ යාන්ත්‍රික දෝශ, මාර්ගයේ ගැටලු මෙන්ම ඒ ඒ ප්‍රදේශවල භූ විෂමතාවය, කාලගුණය, දේශගුණය ආදී පරිසර තත්ත්වයන් හේතු වේ. මේ සම්බන්ධව විමසා බැලීමට කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා සමග කතා බහක නිරත විය.

මහාචාර්ය නිශාන් සකලසූරිය
භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති
කැලණිය විශ්වවිද්‍යාලය

ආපදාවක් කියන්නේ මොකක්ද ?

ආපදාවක් යනු එක්සත් ජාතික සංවිධානයේ නිර්වචනයට අනුව මිනිසාගේ ජීවිතයට, දේපළට, ශාරීරික හා මානසික සෞඛ්‍යයට, අවට පරිසරයට සිදුවන දරා ගත නොහැකි ව්‍යසනයක්. මෙම ව්‍යසනය ජාතික හා ජාත්‍යන්තර සහයෝගයකින් තොරව මානව ප්‍රජාවට ස්වශක්තියෙන්, පවතින සම්පත්වලින් යථාතත්ත්වයට පත් කරගත නොහැකි තත්ත්වයක්.

රිය අනතුරු ගැනෙන්නේ කුමන ආපදා ගනයටද?

ආපදා කළමනාකරණයේ දී ස්වාභාවික ආපදා සහ මානව නිර්මිත ආපදා වශයෙන් ප්‍රධාන ආපදා වර්ග දෙකක් හඳුනාගන්න පුළුවන්. රිය අනතුරුවලට ඉහත ආපදා වර්ග දෙකේම සම්බන්ධයක් තිබුණත් මිනිසාගේ මැදිහත් වීමෙන් කළමනාකරණය කරගත හැකි නිසා මානව නිර්මිත අපදාවක් විධියට හඳුන්වන්න පුළුවන්.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ දරුණු ගනයේ අනතුරු සිදුවුණා. මේ අනතුරුවලට භූගෝලීය සාධක බලපෑවා ද?

80% රිය අනතුරුවලට භූ ගෝලීය සාධක ඍජුවමත් වක්‍රවමත් බලපානවා. මෑතක දී සිදු වූ රම්බෝඩ ඇල්ල සහ ඇල්ල වැල්ලවාය 24 වන සැතපුම් කණුව අසල සිදු වූ බස් රථ අනතුරු ගමු.

මේ අනතුරු සිදු වුණේ වේගයෙන් දියඇලි කඩාගෙන හැළෙන ස්ථාන දෙකකට ආසන්නවයි. ඇල්ල ආශ්‍රිතව මාර්ගය වංගු සහිත මාර්ගයක්. එහි වංගු සහිත කඳු හා පල්ලම් සහ දකින්න පුළුවන්.

මෙවැනි මාර්ගවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අනුමගමනය නොකිරීම හා ප්‍රදේශයේ භූ විෂමතාවය ගැන අනවබෝධය අනතුරුවලට හේතුවයි. අනතුරු සිදුවීමට වංගු, අනාරක්ෂිත කඳු බෑවුම්, ශීඝ්‍ර බෑවුම්, මාර්ගවල පස හා පාෂාණ ව්‍යුහය, මාර්ගයේ ස්වභාවය, වර්ෂාව (අතරතුර හා අවසන් වී ටික වේලාවකට පසු) ,මීදුම , මාර්ගයට පස් හෝ වැලි කණ්ඩියක් පතිත වීම ආදී භූගෝලීය සාධක හේතු වෙනවා.

උෂ්ණත්වයත් රිය අනතුරුවලට බලපානවා. අධික උෂ්ණත්වයක් පවතින අවස්ථාවක මාර්ගයේ තාර උණු වීම නිසා බර වාහනයක් තිරිංග තද කළොත් තාර සමග වාහනයේ ටයර් තල්ලු වෙනවා. ශීත කාලගුණයක් නම් රෝද ලෙස්සනවා. වෙරළබඩ ප්‍රදේශයේ දකුණු වෙරළබඩ තීරය නිතර ජලයෙන් යටවෙනවා. එවැනි අවස්ථාවලත් රියැදුරන් අනාරක්ෂිත ලෙස රථ වාහන ධාවනය කරනවා. විශේෂයෙන්ම වියළි කලාපයේ අලි මාරුවන වේලාවන්, ස්ථාන සහ එවැනි අවස්ථාවක ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව රියැදුරන් නොදැනුවත්වීම, මේ සියල්ලම රිය අනතුරුවලට බලපානවා. ශ්‍රී ලංකාව සංකීර්ණ භූ විෂමතාවයක්, දේශගුණ, කාලගුණ තත්ත්වයක් පවතින රටක්. මෙම විවිධත්වය පිළිබඳව රියැදුරන්ගේ අනවබෝධය සහ එවැනි අවස්ථාවල මුහුණ දියයුතු ආකාරය පිළිබඳව පවතින නොදැනුවත්කම මේ අනතුරුවලට ප්‍රධානම හේතුවයි.

රිය අනතුර අවම කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද ?

රියැදුරන්ට භූගෝලීය අවබෝධය සහ දේශගුණික කලාප අතර ධාවනය කිරීම පිළිබඳව දැනුවත් භාවය මෙන්ම රියැදුරු බලපත්‍ර ලබාදීමේදී භූගෝලීය වෙනසට, දිවා රාත්‍රී වෙනසට, භූමියේ වෙනසට, දේශගුණික කාලගුණික වෙනස්වීම්වලට ක්‍රියා කිරීමට හා තීරණ ගැනීමට තිබෙන යෝග්‍යතාවයත් පරීක්ෂා කළ යුතුයි.

ප්‍රවාහන පද්ධතිය නිර්මාණය කරනවිට ඒ ප්‍රදේශවලට ආවේණික වුණු කඳු පල්ලම් ආශ්‍රිතව, අනතුරු බහුලව සිදුවුණු ස්ථානවලට, අනතුරු සිදුවිය හැකි යැයි උපකල්පනය කළ හැකි ස්ථානවලට ගැළපෙන වේග සීමා යෙදිය යුතුයි.

තැනිතාලා මාර්ගයකට 70kmh සාමාන්‍ය වේගය ගැළපුනත් උඩ පුස්සැල්ලාව, රම්බොඩ ඇල්ලේදී වාහනය ඒ වේගය දරා නොගැනීම නිසා අනතුරු සිදු වීමේ සම්භාවිතාවය වැඩියි.

අපේ රටේ ආර්ථික තත්ත්වයත් එක්ක අඩු මිල වාහන තමයි බොහෝ පිරිසක් භාවිත කරන්නේ, මේ වාහනවල දියුණු ආරක්ෂිත උපක්‍රම නෑ. ඇතැම් වාහනවල ඒ. බී.එස්. තිරිංග නෑ. එක තිරිංග පද්ධතියයි තියෙන්නේ. වාහනේ හැප්පුනොත් තවත් වාහනයක හැප්පිලා නවතින්නේ. එවැනි අවස්ථාවල හානිය වළක්වා ගැනීම සඳහා මාර්ගවලට ශක්තිමත් පැති බැමි අවශ්‍යයි. මාර්ගයේ කන්දක් තියෙනවනම් වාහනය කන්දේ හැප්පීම වළක්වා ගැනීමට පාරේ අයිනේ සිට අඩි හතරක් වගේ උසට පස් තට්ටුවක් හෝ වැටක් සැකසිය යුතුයි. වාහනයක් වංගුවකින් පිට පනිනවිට ආරක්ෂාවට ඇලුමිනියම්, යකඩ පටි යොදාගෙන වංගු ආවරණය කළ යුතුයි. මධ්‍යම කඳුකරයේ මාර්ගවල එක අන්තයක් විශාල බෑවුමකට ප්‍රපාතාකාරව සකසලා තියෙනවා. මේ වගේ තැනකකින් අඟල් හයක ටයරය පහළට වැටුණොත් මීටර ගණනක් පහළට රෝල් වෙනවා. රියැදුරන් මේ අවදානම ගැන නොදැනුවත් වීම අනතුරුවලට හේතුවක්. රියැදුරකු දිනකට ධාවනය කළ යුතු දුර ප්‍රමාණය සම්බන්ධව නීතිමය තත්ත්තවයක් ඇති කළ යුතුයි. උදේ බදුල්ලේ සිට කොළඹ එන රියැදුරාම තමයි හවසටත් කොළඹ සිට බදුල්ලට යන්නේ. දවල් රාත්‍රී දෙකේම ධාවනය කිරීම රියැදුරකුට වෙහෙස කරයි. එය ඔහුගේ ශක්තිය, කල්පනාව වගේම පරිකල්පනය අඩුවීමට හේතුවක්.

රියැදුරන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදුකළ යුතුයි. විශේෂයෙන්ම මගේ පර්යේෂණයකින්ම ඔප්පු කරලා තියෙනවා භූගෝලීය සාධක අයින් කළොත් වැඩියෙන්ම අනතුරුවලට බලපාන්නේ රියැදුරන්ගේ වැටුප. අද රුපියල් 3000ට අනුරාධපුරේ ඉඳලා කොළඹට එන යන රියැදුරන් ඉන්නවා. මේ මුදල නැතිව දවස ගෙවන්න බෑ. කුමන අපහසුතාවයක් තිබුණත් මේ මුදල සපයා ගැනීමට වාහනය ධාවනය කළ යුතුමයි. ප්‍රායෝගිකව ගත්තාම රටේ ආර්ථිකමය දුප්පත්කම හා මූල්‍යමය කළමනාකරණයේ දුර්වලතා අවම කරගැනීම රිය අනතුරු වළක්වා ගැනීමට හේතුවක්. බර වාහන හා පොදු ප්‍රවාහන සේවයට හදිසි අවස්ථාවකදී මාරුවෙන් මාරුවට වාහනය ධාවනයට රියැදුරාට අමතරව සුදුසුකම් ලත් සහයක රියැදුරකු ලෙස කටයුතු කළ හැකි ගෝලයකු බඳවාගත යුතු බවට නීතියක් ගෙන ආ යුතුයි. ඒ වගේම මාර්ගයේ ස්වභාවය පිළිබඳව සංඥා සංකේත ප්‍රදර්ශනය කරමින් දැනුවත් කිරීම, රියැදුරන් මත්ද්‍රව්‍ය මත්පැන් පානය කර ධාවනය කිරීම, වාහනයේ අධික ශබ්දයෙන් නොනවතින ගී වැල් දාගෙන ඒ ටෙම්පෝ එකෙන්ම රථ වාහන ධාවනය වැනි වැරදිවලට තදින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

භූගෝලීය දේශගුණික වෙනස්කම්වලට ගැළපෙන ලෙස රථ වාහන නීති අලුත් කිරීම, රියැදුරන්ගේ හා මගීන්ගේ විනය හා ආකල්ප ගොඩනැඟීම කළ යුතුයි. මගීන් වේගය රසවිඳිනවා. රියැදුරන් වේගය අඩු කරනකොට මගින්ට අවශ්‍යයි වේගයෙන් යන්න. වේගය රසවිඳින්න පුළුවන් මරණය ලැබෙන තෙක් පමණයි. මේ වගේ සරල කාරණා වගේම ගැඹුරු කාරණා සම්බන්ධව රියැදුරන් වගේම මගීනුත් දැනුවත් විය යුතුයි. එවිට රිය අනතුරු වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

රිය අනතුරු වළක්වා ගැනීමට ගතහැකි නව තාක්ෂණික ක්‍රියාමාර්ග මොනවාද?

රිය අනතුරු වළක්වා ගන්න G. P.S, AI තාක්ෂණය යොදා ගන්න පුළුවන්. G .P.S. ජංගම දුරකථනයට පවා පවතින සරල තාක්ෂණයක්. පොදු ප්‍රවාහන සේවයට, බර වාහන වගේම පාසල් ප්‍රවාහන සේවයට GPS තාක්ෂණය අනිවාර්ය කළ යුතුයි. ඉදිරියේ දී ඩිජිටල්කරණය යටතේ මේ තාක්ෂණය රථ වාහනවලට packeges වශයෙන් ලබාදිය යුතුයි. ඒ ඔස්සේ මාර්ගයේ තත්ත්වයන් පිළිබඳව රියැදුරන් දැනුවත් කිරීමටත් රියැදුරන්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමටත් ඩිපෝවලට සහ මාර්ගස්ථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබාදිය යුතුයි. දියුණු රටවල් රියැදුරන්ගේ රථවාහන ධාවනය නිරීක්ෂණය කරනවා. මාර්ග නීති කඩ කරනවා නම් “warning masseges˜” ලබාදෙනවා එයත් නොසලකා හරිනවා නම් ඔහුගේ පාස්පෝට් , බැංකු කාඩ්, වීසා සියල්ලම අක්‍රිය කරනවා. උසාවි නඩු තීන්දුවකින් හැර ඒවා නැවත ලබාගැනීමේ හැකියාවක් නෑ. මේ රටවල ඩිජිටල් තාක්ෂණය නොතකා කරනු ලබන රිය අනතුරු, අපරාධ නීතිය යටතට වැටෙනවා. අපේ රටේ රියැදුරු අකුසලතා ලකුණු සලකුණු කිරීමේ නීතිය තිබුණත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙම නීතිය GPS තාක්ෂණයත් සමග ක්‍රියාත්මක කිරීමට පුළුවන්නම් අනතුරු ආපදා අවම කර ගත හැකි.

වාහනයක් අනතුරට පත්වුණාම වෙනත් පුද්ගලයෙක් දැනුවත් කළොත් හැරෙන්න අනතුරක් වුණා කියල දැනුවත් වීමට ක්‍රමයක් නෑ. නමුත් ඩිජිටල්කරණය නිසා අනතුරක් උපකාර ඉල්ලන්න පහසුයි, වගේම රියැදුරකුට අනපේක්ෂිත අනතුරකට මුහුණදීමට සිදු වුවහොත් ඔහු දැනුවත් කිරීමට පෙර අදාළ ආයතනවලට දැනුවත් වෙන්න පුළුවන්. නව තාක්ෂණය නිවැරදිව යොදා ගතහොත් රථ වාහන අනතුරු ඉතා වේගයෙන් අවම කරගන්න පුළුවන්.

රිය අනතුරු සිදුවීම වළක්වා ගැනීමට රාජ්‍ය අංශයෙන් වියයුතු මැදිහත් වීම කවරාකාර ද?

නව රජයක් පත්වුණාට වැඩක් නෑ. නව ක්‍රියාමාර්ග නොගත්තොත් එවිට රජයක් පරණ වෙනවා. මේ රිය අනතුරු, මත්කුඩුවලටත් වඩා භයානකයි. රිය අනතුරුවලින් මියයන පිරිසෙන් 64% අවුරුදු 18-34 අතර තරුණ පිරිස.

මේ තත්ත්වය රටකට ඛේදවාචකයක්. මේ ගැටලුවට සැබෑ හේතු හොයාගැනීමට රජය විසින් රිය අනතුරු සම්බන්ධව සිදු කරන ලද පර්යේෂණ වාර්තා අධ්‍යයනය කළ යුතුයි.

ලංකාවේ වේග සීමාවන් ගණනාවකට යටත් කරපු වාහන එකම පාරක ගමන් කරන නිසා සෑම රියැදුරකුට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව ලබාදීම රජයේ වගකීමක්. ජාත්‍යන්තර නීතිය යටතේ අවම වශයෙන් පදිකයන්ට අඩි හතරක කොටසක් වෙන් කළ යුතුයි. නිදසුනක් විධියට කිරිනොච්චියයේ ප්‍රධාන මාර්ගයේ වෙනම කොටසක් ඉතාම පැහැදිලිව පදිකයන්ට සහ බයිසිකල්කරුවන්ට වෙන්කරලා තියෙනවා. සෑම ප්‍රධාන මාර්ගයකම මේ තත්ත්වය දකින්න නෑ. ලංකාවේ තියෙන්නේ මෝටර් රථවලට මූලිකත්වය දෙන රථ වාහන නීතියක් මිස මහජනතාවට මූලිකත්වය දෙන නීතියක් නෙවෙයි. ඒ වගේම තමයි ප්‍රධාන මාර්ගයේ දකුණට හා වමට අදාළ මං තීරු දෙකට වේග සීමා වෙන් කර දීලාත් නෑ.

මේ තත්ත්වයන් නැති කළ යුතුයි. රථවාහන මුහුණට මුහුණලා ධාවනය කිරීම විශාල ගැටලුවක්. මේ නිසා අනතුරු විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ අතරින් දිනකට අවම වශයෙන් හත්දෙනකු මියයනවා. ඒ වගේම දාහතරක් පමණ අංගවිකල තත්ත්වයට පත්වෙනවා. මේ විධියට බැලුවාම රිය අනතුරු යුද්ධයට වඩා බිහිසුණුයි. රජය මේ වෙනුවෙන් අවධානය යොමු කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත් කළ යුතුයි. එහෙම නොකළොත් තවදුරටත් රිය අනතුරුව වළක්වා ගැනීමට නොහැකියි. දියුණු රටවල රක්ෂණ ආයතන රථවාහන අනතුරු අවම කරගන්න රජය සමග මැදිහත් වෙනවා. අපේ රටේ එහෙමත් නැහැ. “හැප්පුනොත් තමයි කියන්නේ පරිස්සමට එළවන්න” කියලා. මේ තත්ත්වයන් රජයක් විසින් වෙනස් කළ යුතුයි. දියුණු රටවල සෑම පුරවැසියකුටම සමාන වටිනාකමක් දීලා තියෙනවා. හැබැයි අපේ රටේ දේශපාලනඥයෙක් රිය අනතුරකින් මැරෙන එකයි, සාමාන්‍ය මනුස්සයෙක් මැරෙන එකයි දෙකක්. වර්තමාන රජයෙනුත් අපි මේ තත්ත්වයම දකින්න කැමැති නෑ. රජය විසින් සෑම මනුස්සයකුටම සමාන වටිනාකමක් දියයුතුයි. මේකයි සංවර්ධනය වෙනවා කියන්නේ. ‘පෝසත් රටක් ලස්සන ජීවිතයක්’ හදනවා නම් රථවාහන අනතුරුවලින් මිනිසුන් අකාලයේ මැරෙන එකට විසඳුම් හොයන්න රජය ප්‍රමුඛතාවය දියයුතුයි. ඒ සඳහා රජය, රක්ෂණ සමාගම්, මූල්‍යමය ආයතන, කල්බදු සමාගම් එකට එකතු වෙලා ඩිජිටල්කරණ ක්‍රියාමාර්ගය යටතේ රථවාහන අනතුරු අවම කරගැනීමට සැලසුම් සකස් කළ යුතුයි. නැතුව පාසල් ළමුන් ගමන් කරන වේලාවේ ට්‍රක් රථ නතර කරන්න වගේ ප්‍රාථමික නීති ගෙනත් cause by cause මේ ගැටලුවට විසඳුම් හොයන්න බෑ. පොදු වැඩ පිළිවෙළක් අවශ්‍යයි.

රිය අනතුරු වළක්වා ගැනීමට ලෝකයේ විවිධ රටවල් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

දියුණු රටවල, තාක්ෂණික ක්‍රියාවලිය වගේම කැමරා පද්ධතිය දියුණුයි. මාර්ගවල කැමරා පද්ධති සවි කරලා තියෙනවා.

මේ නිසා රියැදුරන් ස්වංව පාලනය වෙනවා. ලංකාවේත් මේ තත්ත්වය ඇති කළ යුතුයි. වර්තමානයේ ලංකාවේ මාර්ග අනතුරුවලදී සාක්ෂි සපයාගන්නේ CCTV දර්ශන මගින්. මේ තත්ත්වය වැඩි දියුණු කරලා රජයේ නිරීක්ෂණය යටතේ රථ වාහන ධාවනය කරන ක්‍රමයක් ඇති කළ යුතුයි. ඒ වගේම රියැදුරාගේ විනය හා අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කළ යුතුයි.

රියැදුරකුට වාහන ධාවනය සම්බන්ධව ඩිප්ලෝමාවක් හෝ තිබිය යුතුයි. ඒ වගේම යහපත් රථ වාහන සංස්කෘතියක් ඇති කළ යුතුයි. ජපානය වගේ රටවල මේ විනය ඉහළින්ම දකින්න පුළුවන්. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවයේදී මහජනතාවගේ කතා කරන භාෂාවට, ලිංගිකත්වයට, වයස් භේදයට ගරු කරන වාහන සංස්කෘතියක් අවශ්‍යයි. ජපානයේ රථවාහන අනතුරක් නිසා යමෙක් මියගියවිට ඒ අනතුරට හේතු වූ පුද්ගලයා මියගිය පුද්ගලයාගේ යැපෙන්නන් ජීවිත කාලය පුරාවට රැක බලාගත යුතුයි. ඇමරිකාව වගේම බොහෝමයක් රටවල රථ වාහන අනතුරු ගන්නේ අපරාධමය නීතිය යටතේ. මේ සියල්ලෙන්ම තහවුරු කරන්නේ මිනිස් ජීවිතයකට පවතින වටිනාකම. මේ වටිනාකම තහවුරු කිරීමට සමාජමය පරිවර්තනයක්, සංස්කෘතිමය වෙනස්කම්. තාක්ෂණික පරිවර්තනක්, නිරීක්ෂණය කිරීමේ මිනිස් උපක්‍රම වගේම නීතිමය උපක්‍රම අවශ්‍යයි. මේ සමස්ථය වෙනස් කරගත්තොත් රථවාහන අනතුරු වළක්වා ගන්න පුළුවන්. ඊට ජාත්‍යන්තරයෙන් ආදර්ශයන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. රථ වාහන ගැටලුවක් වුණාම, මාර්ග අනතුරකදී රජය කරන්නේ මොරටුවේ ඉංජිනේරු අංශයට යෑම. ඒගොල්ලෝ කරන්නේ මේ සම්බන්ධව තාක්ෂණික පිළිතුරු ලබාදීම. නමුත් සමාජමය වශයෙන් පවතින රථ වාහන ගැටලු, මාර්ග අනතුරු වීමට හේතු, ඒ සඳහා විසඳුම් ගැඹුරින් අධ්‍යයනය කරන්නේ සමාජීය විද්‍යාඥයන්. රජය වගේම ජනමාධ්‍යවේදීන් කළ යුත්තේ මේ සම්බන්ධව පවතින අභ්‍යන්තර ගැටලු සමාජීය විද්‍යාඥයන් සමග සාකච්ඡා කර ගැඹුරු විග්‍රහයන් හරහා විසඳුම් සෙවීම. මාර්ග අනතුරු වළක්වා ගැනීමට මතුපිටින් සැලසුම් සකස් කිරීම වරදක්. මේ සම්බන්ධව ගැඹුරින් හොයලා බලලා සැබෑ ගැටලුවට විසඳුම් සපයන්න මේ පුවත්පත් සාකච්ඡාවත් හේතුවක් වේවි.

රසාංජලී වාසල
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here